
දඹුල්ල මාතලේ මාර්ගයේ කි.මී.10ක් ගමන් කළ විට අප පැමිණෙන්නේ පන්නම්පිටිය හන්දියටයි. එහි සිට තවත් කි.මී. 4ක් අතුරු මාර්ගවල පියමං කිරීමෙන් මැණික්දෙන පුරාවිද්‍යා භූමියට ළඟාවිය හැකිය. කලක පටන්ම පුරාවිද්‍යාවට මෙන්ම අතීත උරුමයට හා සොබාදහමට හිතැති පිරිස් මෙහි පැමිණියේ මේ වනගත සුන්දරත්වය හා පැරැණි නටබුන් දැකබලාගෙන සිත් පහන් කර ගැනීමටය.
එහෙත් පසුගිය දිනෙක මෙම ඉසව්වට පැමිණි හතරදෙනකු ගැන ප්‍රදේශවාසීන් උනන්දු නොවුණේ ගැමියන් මෙන්ම සංචාරකයන් මෙහි නිතර යනඑන නිසා විය යුතුය. ඒත් ඒ සිතුවිල්ල වැරදිය. මොවුන් පැමිණ තිබුණේ මැණික්දෙන නිදන් වස්තු ඇතැයි යන බොරු ආරංචියටය. ඒ ගැන සැක සිතූ අයකු දුන් ඔත්තුවට අනුව වහාම දඹුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ ස්ථානයට පැමිණියහ. ඒ වනවිටත් නිධානය ඇතැයි පවසන ස්ථානය හාරමින් සිටිය දී ඔවුන් අතට මාංචු වැටිණි. නිධානයක් ගෙන කෝටිපතියන් වීමේ සිහිනයට විලංගු වැටිණි. වඩාත් කනගාටුවට කරුණනම් පියෙක් තම පුතා ද හවුල්කරගෙන මෙම නීතිවිරෝධී අපරාධයට පැමිණීමයි. මෙම සැකකාර පියා සහ පුතා මැණික්දෙන ගමේ පදිංචිකරුවෝ වෙති. ඒ අතර නුදුරින් නාවුල කිහිපදෙනෙකු ද අත්අඩංගුවට පත් වූ සැකකරුවෝ අතර වෙති. තවත් කීපදෙනකු වැටලීම අතරතුරදී පැන ගොස් ඇත. ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔවුන් නිදන් හැරීමට පැමිණි මොටර් රථයක්, යතුරුපැදි දෙකක්, කඩුවක්, අලවංගුවක් සහ පූජා භාණ්ඩ රැසක් ද පොලීසියට හමුවිය. පසුව දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීට පෙර මෑතකදී අවස්ථා කීපයකදීම මේ ස්ථානය නිදන් සොරුන්ගේ විනාශයට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ උපපොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීමට එක්වූහ.
කනගාටුවට කරුණ නම් මෙවැනි නිදන් සොයා කරන කැණීම්වලදී ෙසල්ලිපිය පුරාවිද්‍යා ස්ථානවලට විශාල හානියක් සිදුවීමය. එය නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකිවීමයි. අනෙක් අතට වැරදි ආරංචි පැතිරීම නිසා ලංකාවේ බොහෝ පුරාවිද්‍යා ස්ථාන මෙවැනි හානිවලට ලක්වේ.
මැණික්දෙන සම්පූර්ණයෙන් කැණීම් කර සංරණය කර ඇති පුරාවිද්‍යා ස්ථානයකි. මේ නිසා එහි කිසිදු වටිනා පුරාවස්තුවක් තිබීමට නොහැකිය. ඒවා තිබුණේ නම් කැණීම් අතරතුර ලබාගෙන කෞතුකාගාරයකට යොමු කරන නිසාය.
මෙහි කැණීම් සිදුවූයේ 1960 දශකයේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස‍් ගොඩකුඹුරේගේ අධීක්ෂණයෙනි. කැලයට යටවී තිබූ මෙහි දාගැබ සහ නටබුන් ගොඩනැගිලි ඒ වනවිටත් නිදන් හොරැන් විසින් හාරා තිබූ බව ආචාර්ය ගොඩකුඹුරේ සඳහන් කරයි. එපමණක් නොවේ. අවුරුදු සියවසකට පෙර නිදන් හොරැ මෙම දාගැබ හාරා ඇති බවට සාධක ද ඔහුට හමුවිය. මේ ඒ බව ඔහු සිය වාර්තාවේ සඳහන් කර ඇති අයුරුයි.
ගඩොලින් බඳින ලද දාගැබේ නිදන් ගර්භයේ පැති දෙකක ගඩොල් හොඳින් ඇතත් අනික් පැති දෙකේ ගඩොල් බැමි නැතිවී ගොස්ය. නිදන් ගර්භයේ කැඩී තිබුණු පැත්තේ ගල් පස් අතර තිබී 1832 වර්ෂයේ බ්‍රිතාන්‍ය කාසියක් හමුවිය. ගර්භය කැඩී ඇති අයුරින් එය හොරු කඩා ඇති බව පැහැදිලි වන අතර ඉහත කී කාසිය සුන‍්බුන් අතර තිබීම නිසා එය හොරු බින්දේ යටත් පිරිසෙයින් අවුරුදු 100කටවත් පෙර යැයි සිතේ. (Archaeological survey in 1963- 64)
මැණික්දෙන දඹුල්ල අවට පිහිටි වටිනා මෙන්ම ඉතා සුන්දර පුරාවිද‍්‍යා ස්ථානයකි. මැණික්දෙන කඳු පාමුල පිහිටි එය පුරාණ පබ්බත විහාරයකි. පබ්බත විහාරයයි සැලකුණ ද මේවා පර්වත මත ඉදිකළ ඒවා නොවේ. බොහෝ විට සමතලා භූමිභාගවලය ඉදිකර තිබෙන්නේ. මැණික්දෙනද ඇතුළුව දඹුල්ල අවට පබ්බත විහාර කිහිපයක්ම පැතිර තිබේ. සීගිරියේ පිදුරංගල, රාමකැලේ, කළුදියපොකුණ, දඹුල්ල මල්අස්න, කිරලැස්ස ආදිය ඒවාය.
මැණික්දෙන පබ්බත විහාරය වටාම යන සේ ගඩොලින් කළ ප්‍රාකාරයකි. ඇතුළු මළුව වටා යන ප්‍රාකාරය උසින් මීටර 2.85ක් වන අතර පළලින් සෙ.මී. 80කි. දිගින් මීටර 150ක් ද පළලින් මීටර 143ක් ද වේ. ප්‍රාකාරය මැදින් ආරාමයට පිවිසෙන දොරටුවයි. චතුරස්‍රාකාරව දිවෙන දිය අගලක් ද එයට සමාන්තරව පිහිටා තිබේ. අද නම් එහි ජලය නොරඳයි.
මෙම නටබුන් ආරාමය නේවාසික ගොඩනැගිලි රැසකින් සමන්විතය. ඒවා ප්‍රාකාරයෙන් පිටත ඉදිකර තිබුණි. මෙම ගොඩනැගිලි අතර භික්ෂු ජීවිතයකට අවශ්‍ය භෝජන ශාලා, කැසිකිළි හා වැසිකිළි ආදිය ද විය.
විහාරයට පිවිසෙන ප්‍රවේශය අසලම මෙහි ඓතිහාසිකත්වය නිශ්චය කිරීමට හේතු සපයන සෙල්ලිපියක් හමුවේ. බොහෝ දුරට ගෙවීගොස් ඇති ඉන් කියවෙන්නේ මුලු ගම්මු නම් විහාරයක් ගැනය. මහාචාරය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ මහාවංශයේ 75’ පරිච්ඡේදයේ සඳහන් මූලනාම විහාරය මෙය විය හැකි බවය. තවත් ටැම් ලිපියක බුත්ගම් වෙහෙර යනුවෙන්ද සඳහන්ය. එකම විහාරය කාල වකවානු දෙකක (10 සියවස හා 11 – 12 සියවස්) නම් දෙකකින් හඳුන්වා ඇති බව ඉන් පෙනේ.

මෙහි නටබුන් අතර කැපී පෙනෙන අංගය වන්නේ වේදිකාවක් මත ඉදිකළ දාගැබයි. පේසාවළලු තුනක් මක ඉදිකර ඇති එම දාගැබට පිවිසීමට පියගැට සකසා තිබේ. මේ දාගැබ කිහිපපාරක්ම නිදන් හොරුන්ට ගොදුරු වූ ස්ථානයකි. පැත්තක් අඩි 112ක් වූ සමචතුරස්‍රාකාර මළුවක ඉදිකර ඇති දාගැබ වටා ශෛලමය මල් ආසන පහකි. එහි ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ද දැකගත හැකිය. දාගැබට නුදුරින් පිහිටා ඇත්තේ අද පදනමට සීමා වී ඇති පිළිම ගෙයකි. එහි පාදම කළුගල්ය. ගෙවීගිය මුරගල් හා කැඩීගිය ගල් කුලුනු කිහිපයක් එහි පිහිටා තිබේ. පිළිම ගෙයි තිබූ අත්තිවාරම් හමුවී නැත.
උපෝසථඝරය හෙවත් පෝය ගේ පිළිමගෙයට තරමක් දුරින් පිහිටා තිබේ. මෙහි පිහිටි දැවැන්ත ගල් කුලුනු අනුව පෝය ගෙය දෙමහල් විය හැකි බව පෙනේ.
සභා ශාලාව නම් ගොඩනැගිල්ල සහ බෝධිඝරය ද මෙහි පිහිටි තවත් ගොඩනැගිලි දෙකකි.
නටබුන් භූමිය නිමා වන්නේ මැණික්දෙණිය කන්ද හා යාවෙන වනාන්තරයකිනි. එහි මංපෙත් සකසා වනයේ ශාක අධ්‍යයනයට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
මෙවැනි වටිනා අතීත ස්මාරක අනාගතය උදෙසා රුකගනු වෙනුවට ඒවා නිදන් හාරා විනාශ කිරීම ඉතා ශෝචනීයය. මැණික්දෙන සිද්ධිය වඩාත් කනගාටුදායක වන්නේ එහි නිදන් හෑරීමට මුල්වී ඇත්තේ ගමේම කිහිපදෙනකු නිසාය.
කුසුම්සිරි
සේයාරූ | සමන්ත ප්‍රදීප් විල්තෙර