
අපි මේ ගැහැව්වේ 20/20 ආරම්භක මැච් එකක්. අපිට ඕනෑ කරන්නේ ටෙස්ට් තරගයක් (මහා මැතිවරණයක්) ශ්‍රේෂ්ඨාධිකරණය තමා තුන්වැනි විනිසුරු. එතැන තීන්දුව තමා අන්තිම තීන්දුව. නමුත් ෂරීෆ්ලා හැමදාමත් තරග වංචාවන්ට ප්‍රසිද්ධයි. ලෝකයේ අන්තරාදායකම රටේ බලවත්ම විපක්ෂයේ නායකයා හැටියට ප්‍රසිද්ධ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් තමන්ට තේරෙන ක්‍රිකට් භාෂාවෙන් මේ විස්තර කර ඇත්තේ ඊයේ පෙරේදා තමන්ගේ රටේ සිදුවූ අගමැති පෙරළිය ගැනය. 1947 නිදහස ලැබුවායින් පසු වසර 70කට ආසන්න කාලයක් තිස්සේ පාකිස්තානයේ මුල්පුටුවට ආ නායකයන් හට උරුම වූ කරුමයක් පිළිබඳවය. එරට අගමැති ධුරයට පත්ව සිටි නවාස් ෂරීෆ් ඉතිහාසයේ තුන්වැනි වතාවටත් සිය ධුරයෙන් පන්නා දැමීම සම්බන්ධවය.
නවාස් ෂරීෆ් එරට උපරිමාධිකරණය විසින් මෙවර ගෙදර යැවූයේ සිය ධුර කාලය අවසන් වන්නට ඔන්න මෙන්න තබාය. ඒ අනුව සිය ධුර කාලය යහතින් හමාර කළ එරට ඉතිහාස ගත ප්‍රථම රාජ්‍ය නායකයා වන්නට ඔහු තුළ තිබූ සිහිනය බිඳ වැටුණේය. ඒ වෙනුවට වැඩිම කාලයක් අගමැති පුටුවේ සිටි නමුත්, පාකිස්තානයට හුරුපුරුදු ලෙස ධුර කාලය සම්පූර්ණ කරන්නට අසමත් වූ රටේ 13 වැනි අගමැතිවරයා ලෙස ගෙදර යන්නට ඔහුට සිදුවිය.
පාකිස්තානය අමුතුම රාජ්‍යයකි. එරට රාජ්‍ය බලයේ නියම තීරකයා වන්නේ හමුදාවයි. එහි ප්‍රධානියායි. රටේ නායකයන් විය යුත්තේ කවුද යන්න ගැන අවසන් තීන්දුව එන්නේ බොහෝවිට හමුදාවෙනි. නවාස් ෂරීෆ්ට මෙවරත් යහතින් ඔළුව බේරාගෙන ගෙදර යන්නට හැකි වුවද එරට ඉතිහාසයේ බොහෝ නායකයන්හට සිදුවූයේ ඝාතනයට ලක්වන්නටත්, සිරගත වන්නටත්ය. හමුදා කුමන්ත්‍රණ නැති දවසක් නැති තරම්ය. වසර පහක කාලයක් එක දිගට බලයේ ඉන්නට මෙතෙක් කිසිදු මහජන නියෝජිතයකුට වාසනාව උදාවූයේ නැත. අගමැති පොරය ඒ තරම්ම බලවත්ය.
නවාස් ෂරීෆ් ඩොලර් බිලියන එකහමාරක පමණ මහා ධනස්කන්ධයක් හිමි එරට ලස්සෙට කොඩි දැමූ උපන් ව්‍යාපාරිකයෙකි. ලාහෝරයේ යමක් කමක් ඇති උසස් මධ්‍යම පාන්තික ෂරීෆ් පවුලේ වැඩිමලා ඔහුය. කුඩා කළ සිටම ඔහු හුරුපුරුදු වූයේ ව්‍යාපාර ගනුදෙනුවලටය. ලාහෝරයේ රජයේ පාසලෙන් ඉහළට ඉගෙන ගත්තේද ව්‍යාපාර පරිපාලනය ගැනය. පසුව ඔහු පන්ජාබ් සරසවියෙන් නීතිය ඉගෙන ගත්තේය. සූර ව්‍යාපාරිකයකු වූ ඔහු 1970 දී අලුත් ව්‍යාපාරයකට අත තැබුවේය. ඒ දේශපාලන ව්‍යාපාරයටය. හොඳ නැකතක් බලා ඇරුඹූ ගමනක් ලෙස එවකට රටේ ප්‍රධාන චරිතයව සිටි රට හෙල්ලූ ඒකාධිපති සියා උල්හක්ගේ ඔඩොක්කු කුක්කෙකු ලෙස සුවච කීකරුව කටයුතු කළ ෂරීෆ් 1981 වනවිට මේ ඒකාධිපතියාගේ ආණ්ඩුවේ බලවත් පදවියක් වූ පන්ජාබයේ මුදල් ඇමැති ධුරයට පත්වුණේය.
ඒ වනවිට පරාජයට ලක්ව කැඩී බිඳී ගොස් තිබූ දක්ෂිණාංශික පක්ෂ සන්ධානය තුළින් තරග කළ ෂරීෆ් පන්ජාබයේ මහඇමැතිවරයා ලෙස 1985 දී පත්වූයේය. මේ කියන සාම්ප්‍රදායික මතධාරී දක්ෂිනාංශික හවුල 1990 දී ඔහු රටේ අගමැතිවරයා බවට ප්‍රථම වතාවට පත් කළේය. එතැන් සිට එරට අගමැතිවරුන්ට උරුම වූ කරුමය ඔහු පසුපස පන්නා එන්නට විය.
එදාත් මුලින්ම කියැවුණේ ඉම්රාන් ඛාන් කී කතාවමය. ෂරීෆ්ට වාසිසහගත අන්දමට ඡන්ද මගඩියක යෙදෙන්නට ඔහුගෙන් කුට්ටියක් ගත් පාකිස්තාන බුද්ධි ඒජන්සිය හෙවත් අයි එස් අයි ක්‍රියාකළ බවටය. කෙසේ හෝ ඒ මුල්වතාවේද බලයට පවත් අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් එවකට සිටි ජනාධිපති ගුලාම් දූෂණ චෝදනා මත ෂරීෆ් ගෙදර යැවුවේය. ෂරීෆ්, තමන්ගේ නිවැරුදි බව කියන්නට උපරිමාධිකරණය දක්වාම ගියේය. නමුත් ඒ වනවිට හමුදාව රටේ බලය තීන්දු කර තිබුණි. හමුදා නායක වහීඩ් බලය අතට ගත්තේය.

නවාස් ෂරීෆ් දෙවැනි වතාවට බලය අල්ලා ගත්තේ 1997 දීය. ඒ ධුර කාලයේත් වැඩි කාලයක්ම හමුදාව සමඟ අරගලයටත් උසාවි ගාණේ රස්තියාදුවටත් ඔහුට සිදුවිය. අන්තිමේදී හමුදාවේ නායකත්වයට තමන්ට හිතවත් යැයි සිතූ ෆර්වේස් මුෂාරෆ් පත්කර ගන්නට ඔහු කටයුතු කර තිබුණි. නමුත් හමුදාව යනු හමුදාවමය. කාෂ්මීර භූමියේ හටගත් කාර්ජිල් යුද්ධය ඉන්දියාව සමග ඇවිල ගිය මොහොතේ ෂරීෆ් සාමයට බරව කටයුතු කළේය. ඒත් හමුදාවට ඕනෑ වුණේ යුද්ධයයි. හිතුවක්කාර, ඒකාධිපති හමුදාපතිවරයකු බවට බලවත් වෙමින් සිටි තමාගේ කලින් හිතවතා මුෂාරෆ් ධුරයෙන් පහ කරන්නට ෂරීෆ් තීන්දු කරන්නේ 99 ඔක්තෝබරයේදීය. නමුත් ඒ වෙනුවට ගෙදර යන්නට සිදුවන්නේ ෂරීෆ්ටමය. පාකිස්තාන නායකයන්ට උරුම කිසිදා සිය ධුර කාලය අවසාන කළ නොහැකි සාපය එවරත් ඔහුගේ හිස මත කඩා වැටෙන්නේ මුෂාරෆ් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමත් සමඟය. නවාස් ෂරීෆ් හට සිදුවන්නේ පණකෙන්ද බේරාගන රටින් පිටුවාහල් වන්නටය. ඔහුට පිහිටට එන්නේ සවුදි අරාබියයි. ෂරීෆ්ට පසුකාලීනව වළ කැපෙන්නට හේතුවූ එක් කරුණක් ලෙස ඉදිරිපත් වන සෞදි ගැති භාවය ඇරඹෙන්නේ එදා සිටය.
රටින් පිටුවාහල්ව සිටි අවදියේ කටාරය හා සෞදින් තුළ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අතරතුරම ෂරීෆ් නැවත බලයට ඒමේ අරගලයද දියත්කර තිබුණි.
පාකිස්තානයේ අගමැති පොරය කාලයක් තිස්සේම පවුල් දේශපාලන අරගලයක් බවට පත්ව තිබේ. බූතෝ පවුලත් ඔවුන්ට ඈඳුණු සර්දාරිවරුන් හා ෂාරිෆ් පවුල අතරය. මේ පවුල් අරගලයේ ප්‍රතිඵලයක් හැටියට නවාස් හට නැවත බලයට එන්නට හැකිවන්නේ 2013දීය. සමාජ කේන්ද්‍රීය පාලනයක් ගෙන යන නවාස් ෂරීෆ් සිය පාලන කාලය තුළදී රටේ පොදු ආර්ථිකය ස්ථාවර කරන්නට කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිපාදනත් චීනය වෙතින් ලබාගන්නා ප්‍රකෝටි ගණන් වූ ආයෝජනත් සමගිනි. නමුත් මේ හේතුව නිසාම රාජ්‍ය ණය අධික ලෙස ඉහළයාම පිළිබඳ චෝදනාවන්ටද මුහුණපෑමට ෂරීෆ්ට සිදුවෙයි. රටේ හමුදාව ෂරීෆ්ගේ ඉන්දියානු ළැදි ඇෆ්ගන් හිතවාදී දේශපාලන ගනුදෙනු රටාව හේතුවෙන් සිටින්නේ ඔහු හා විරසකවය. ඒ අතර අමෙරිකාව ජාත්‍යන්තර තලයේ ඔහුගේ එදිරිවාදියකු වී සිටින්නේ ෂරීෆ් චීනය සමග දක්වන වැඩි ඇඟෑලුම්කම් හේතුවෙනි.
කෙසේ වුවද ආර්ථික සංවර්ධනය අංක එක ලෙස සිතා කටයුතු කළ නවාස් ෂරිෆ්ට අන්තිමේදී පසුගියදා උපරිමාධිකරණ නියෝගයක් අනුව අගමැති පුටුව හැරදා ගෙදර යන්නට වන්නේද අක්‍රමවත් ආර්ථික ආයෝජන හේතුවෙනි.
2016 වසර අගභාගයේදී ලෝකය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත්වූ පැනමා පේපර්ස් හෙළිදරව්ව මගින් ලෝකයේ බොහෝ රට රාජ්‍යවල ලොකු ලොක්කන් ව්‍යාජ සමාගම්වලට මුවාවී පිටරට ආයෝජනය කර තිබූ කළු සල්ලි මලු එළියට ආවේය. ඒ හේතුවෙන් මුලින්ම ගෙදර යන්නට සිදුවූයේ අයිස්ලන්තයේ අගමැතිවරයාටය. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ගේ පවුලේ නමද ගෑවී තිබුණි. මොල්ටාව තුළ තාමත් මේ නිසා හටගත් කලබැගෑනිය අහවර වී නැත. එසේම ලෝකයේ රට රාජ්‍ය බොහෝමයක මේ නිසා හැලහැප්පිලි සිදුවිය. යුරෝපා සංගමය තවමත් තම රටවලට අයවිය යුතු බදු ගණනය කරමින් සිටියි. ඉතින් මේ කියන පැනමා පේපර්ස් කලබැගෑනියේ ආසන්නතම පෙරළිය වූයේ පාකිස්ථාන අගමැති නවාස් ෂරිෆ්හට අගමැති පුටුව අහිමි වීමය. පැනමා පේපර්ස් ඔහුගේ පවුලේ නමද හෙළිදරව් කර තිබුණි.
ෂරිෆ්ගේ දරුවන්ට අයත්ව ඇති යුරෝ මිලියන 7ක් වටිනා සැකසහිත ලන්ඩන් දේපල පිළිබඳ රටතුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. රටේ සල්ලි යටිමඩිගසා විදෙස් දේපල ලබාගත් චෝදනා ඔහුට එල්ල වූයේය. සුපිරි ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් ෂරිෆ් පවුලට එරෙහි ප්‍රබල ඉනිමක් ආරම්භ කළේ ලක්ෂ ගණන් විරෝධතාකරුවන් පාරට බස්සවමිනි. දුෂිත ෂාරිෆ් ගෙරද යනු කියමින් පාරට බැස්ස මේ විරෝධතා රැල්ල අන්තිමේදී ෂාරිෆ්ව උපරිමාධිකරණයේ නඩු නිමිත්තක් බවට පත්කර තිබුණි. වසර 10ක් දේශපාලනයේ යෙදීමද තහනම් කරමින් දුෂිත චෝදනා මත අගමැති පුටුව හැරදමා යන්නට නවාස් ෂරිෆ්ට සිදුවූයේ ඒ අනුවය.
හෘද සැත්කම් දෙකකටද භාජනය වී සිටියද ෂරිෆ් සිය බලය ලෙහෙසියෙන් අත්හැර යාමට සූදානම්ව නැත. ඔහු රට තුළ හැලහැප්පීම් ඇතිවන්නට පෙර සිය සහෝදරයා වූ පන්ජාබයේ මහ ඇමැති ධුරයද දැරු ෂබාෂ් ෂරිෆ්ව සිය අනුප්‍රාන්තිකයා ලෙස නම් කළේය. මැතිවරණයකින් ඔහු සිය බලය තහවුරු කරගන්නා තුරු අන්තර්වාර පාලනයේ ඇමැති ධූරය සිය හිතේෂිවන්තයකු වන ෂහිඩ් ඛාන් අබ්බාසි වෙත ලබාදීමට කටයුතු කළේය. පාර්ලිමේන්තු ආසන 342න් 188ක්ම ඡන්දයෙන් දිනා ඇති හෙයින් ෂරිෆ්ට මේ හපන්කම කරන්නට හැකියාව ලැබී තිබුණි. මේ නිසාම ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදීන් වන ඉම්රාන් ඛාන් මෙන්ම බිලාවල් බුතෝහටද හිතූ තරම් ලෙහෙසියෙන් ෂාරිෆ් පවුලෙන් බලය ඩැහැ ගන්නට නොහැකි වී තිබේ.
පාකිස්ථාන ව්‍යවස්ථාවට සියලු මහජන මන්ත්‍රීවරු සත්‍යවාදි සහ අවංක විය යුතුය යන වගන්තිය එක්කළේ නවාස් ෂරිෆ්ගේ පරමාදර්ශී නායකයා වන සියා උල් හක්ය. දැන් ඒ වගන්තියම ෂාරිෆ්ට පාරාවළල්ලක්ව තිබේ. පාකිස්ථාන දේශපාලන ගොහොරුව දෙස සමීපව බැලීමේදී නම් එකී වගන්තියට අනුව නවාස් ෂරිෆ් පමණක් නොව විපක්ෂයද ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවම ගෙදර යැවිය යුතුය.
නැතිනම්, මහඋළු ගෙදරටය!
සුගත් පී. කුලතුංග ආරච්චි