
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගිය 11 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වුණි. වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙයට රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ. එයට සහභාගී වූ ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තදබල ලෙස ඉල්ලා සිටියේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත අමු අමුවේ උල්ලංඝනය කෙරෙන ඉල්ලීම් පහකි. ඒ අතරින් එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ජලගැලුම් නිම්න වනෝද්‍යානයේ දැනට නීති විරෝධීව සිදුකෙරෙන වගා භූමිය මායිම් කණු යොදා වෙන්කර දෙන ලෙසයි.
ජල ගැලුම් නිම්නයට යාබදව පිහිටි සෝමාවතිය ජාතික උද්‍යානයේ වගා කිරීම්වලට බාධාවක්ව පවතින විදුලි වැට ඉවත් කිරීමද, එහි නිධිගතව ඇති වැලි ඉවත් කිරීමට අවසර ලබාදීමද මේ ඉල්ලීම් අතර වේ.
වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය කියා සිටින්නේ මෙම තීරණ ක්‍රියාත්මක වුවහොත් එය වනජීවී කලාපවල ඉදිරි පැවැත්මට විශාල තර්ජනයක් වන බවය.
මේ පිළිබඳව අපට අදහස් දැක්වූ පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර ද එම අදහස අනුමත කරමින් මෙසේ පැවසුවේය.
මෙතෙක් නීති විරෝධී ලෙස සිදුවුණු වගාවන්ට නීත්‍යානුකූල මුහුණුවරක් දීමටයි, මේ උත්සාහ කරන්නේ. අනවසරයෙන් භාවිත කරන ඉඩම් බෙදාදීමේ හැකියාව ගැන මෙහිදී සාකච්ඡාවෙලා තිබෙනවා. මේක ලොකු ගැටලුවක්. වැඩිපුරම අලි ගැවසුණු කලාපයක් තමයි වගා කිරීමට ඉල්ලන්නේ. මහවැලිය ගැලුවම එකතු වන රොන්මඩවලින් මේ ප්‍රදේශය සාරවත්. දේශපාලනඥයන් කිහිප දෙනෙක් දිස්ත්‍රික් ලේකම්වරයාට බලපෑම් කරනවා ඉඩම් නිදහස් කර ගැනීමට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජල ගැලුම් නිම්න වනෝද්‍යානය විශාලත්වයෙන් හෙක්ටයාර් 17350කි. එය 1984 අගෝස්තු 7දා ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශ කළේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සමගාමීවය. ඒ සමඟම වස්ගමුව සහ සෝමාවතිය ජාතික උද්‍යානද ප්‍රකාශයට පත්විය. මහවැලි ගංගාවේ ජල පෝෂක ප්‍රදේශයක් සහ එහි පිටාර තැන්නක් ලෙස ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ වටිනාකම එහිදී සලකා බැලිණි.
එහෙත් පසුගිය කාලයේ මෙම වන උයන දිගින් දිගටම හානියට පත්විය. බලධාරීන් සහ මැති ඇමැතිවරුද ඒ දෙස නෑසූ කන්ව බලාගෙන සිටියහ.
මෙහි පිහිටි රොන්මඩින් සරුසාර වූ විල්ලු ට්‍රැක්ටර්වලින් සීසා මහා පරිමාණයෙන් වී වගා කිරීම සිදුවේ. දේශපාලන හස්තයද අතට ගත් සංවිධානාත්මක කණ්ඩායම් ජාතික උද්‍යානයේ ඕනෑගම, අලිමුල්ල. වෙහෙරගොඩයාය ආදී ප්‍රදේශවල අක්කර තුන් දහසක් පමණ නීතිවිරෝධී ලෙස වී ගොවිතැනට යොදාගෙන තිබේ. එමෙන්ම දිවුලාන විලට අයත් අක්කර 300ක භූමි ප්‍රදේශයක් මානික්කම්පිටියට යාබදව අස්වද්දා තිබේ.

ජල ගැලුම් නිම්න වන උද්‍යානය සුරුකීමේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික තාරක වැලිඅමුණ පවසන්නේ ගවයන් සිය ගණනින් යුත් නීති විරෝධී ගවගාල් රාශියක්ද මෙහි තිබෙන බවයි. මේ නිසා තෘණබිම්වල ආහාර හිඟවීම නිසා වන අලි ගම්වදින බවද ඔහු සඳහන් කරයි. තවත් විශාල භූමි ප්‍රදේශයක දැව ලබාගැනීමට ගස්කොළන් කපා දැමීමද දැකගත හැකිය. දැව වැද්දෝ කළුවර, බුරුත, මී, කුඹුක්, තිඹිරි, හල්මිල්ල වැනි ගස් කපා වන සංහාරය කරති. විල්ලු 33කින් සමන්විත අමිල පරිසර පද්ධතියක් මෙලෙස විනාශවන්නේ රටේ මුල්පුටුව හොබවන ජනාධිපතිවරයා පරිසර ඇමැති ලෙස සිටියදීය.
මනම්පිටිය වැලි නමින් රටේ බොහෝ පෙදෙස්වලට ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේදී මහවැලි ගංගාවෙන් ගොඩදාන වැලි සැපයෙන බව ඔබ දන්නවාද? මහා පරිමාණයෙන් එලෙස ගොඩ දමන වැලි නීත්‍යානුකූල කිරීමේ ඉල්ලීමක්ද පසුගියදා ප්‍රදේශයේ දේශපාලනඥයෝ ඉදිරිපත් කළහ. හෝර්ටන් තැනිතලාවෙන් උපත ලබා මධ්‍ය කඳුකරය හරහා ගලා එන මහවැලි ගංගාව මනම්පිටිය ප්‍රදේශයේදී පළලින් වැඩිවෙයි. එය ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ පහත් තැනිතලාව හරහා ගලන්නේ ඉතා සෙමිනි. මෙහි ඇතැම් තැන්වල පිහිටි දූපත් ඉතා සුන්දර දර්ශනයක් මවයි. වර්ෂා කාලයේදී මහවැලි උතුරා මේ පහත් බිම් ජලයෙන් යටවෙයි. ස්ථීර වගුරැබිම් හා විල්ලු පරිසර පද්ධතිවලින් සමන්විත මෙම උද්‍යානය ජෛව විවිධත්වයෙන්ද ඉහළය. ඉතා හොඳ ගංගාධාර වනාන්තර පද්ධතියකින්ද සමන්විතය. ජලාශ්‍රිත පක්ෂීන් මෙන්ම පර්යටනික පක්ෂීහුද මෙහි තුරු අතර සරති.
අඩි 66-197 දක්වා උස් මට්ටමක විහිදෙන මෙම තැනිතලාව අලි ඇතුන්ට කදිම වාසභූමියකි. ඒ අතරින් විල් අලියා සුවිශේෂීය. වර්ෂ 2011 දී කළ ගණනය කිරීම් අනුව අලි 50-100 අතර ප්‍රමාණයක රංචුවක් මෙහි ජීවත් වෙති. හඳුන් දිවියා, නරියා, වල්ඌරා, ගෝනා, තිත් මුවා සහ කුළු හරකාටද මෙය ගොදුරු බිමකි. ඉතා දුලබ ශ්‍රී ලංකානු කොටියාද උණහපුලුවාද මින් වාර්තා වේ.
මහවැලි ගංගාවේ ජල වැදගත්කම රැක ගැනීමට වන උද්‍යානයක් කළ ජල ගැලුම් නිම්නය අද වන වැද්දන්ගේ රක්ෂිතයක් වීම ඉතා කනගාටුදායකය.
මෙහි ජීවත්වන විල් අලියා නම් උප විශේෂයේ පාදවල ක්ෂෙත්‍රඵලය වැඩිය. මෙහි සිට ත්‍රිකුණාමලය දක්වා මහවැලිය ගලා බසින්නේ විල්ලු හෙවත් වගුරැමය බිම් අතරිනි. එම විල්ලුවල එරීම වැළැක්වීම සඳහා වසර දස දහස් ගණනක අලියාගේ දෙපා පළලින් වැඩි ලෙස පරිණාමය වී ඇත. මෙහි සිටින විල් අලි වස්ගමුව හා සෝමවතිය වනෝද්‍යාන දක්වාත් ත්‍රිකෝණමඩු රක්ෂිතය දක්වාත් ගමන් කරති.
පොළොන්නරුවේ සිට කි.මී. 16ක් දුරින් ආරම්භ වන ජල ගැලුම් නිම්න වනෝද්‍යානය පාලනය වන්නේ පොළොන්නරුව වනජීවී කාර්යාලයෙනි. එහෙත් වනජීවී නිලධාරීන්ටද දේශපාලන බලපුළුවන්කාරකම හමුවේ ඇස් කන් පියාගෙන ජොබ් එක පමණක් කිරීමට සිදුව තිබේ.
කුසුම්සිරි විජයවර්ධන