2017 ජුලි 29 වන සෙනසුරාදා

දරු පවුලක් පස්සෙන් පන්නන වල් අලි ශාපය

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

මනුෂ්‍ය ජීවිතයේ දී අනපේක්ෂිතව සිදුවන අභාග්‍ය ඉරණම්වලට මිනිසාට මුහුණ දීමට සිදුවෙයි. මනුෂ්‍ය ලෝකයේ තත්‍ය ස්වරූපය එය වුවත් පුහුදුන් අපි ඒ සංවේදී සිදුවීම්වලදී වඩාත් කම්පා වන්නෙමු. සංවේදී වන්නෙමු. එකම හේතුවකින්, එකම පවුලේ තුන් හතර දෙනකුට වරින් වර හදිසි මරණ වලින් ජීවිතයෙන් සමුගන්නට සිදු වීමත්, ඒ පවුලේම දෙතුන් දෙනකු ඒ හේතුවෙන්ම අබ්බගාතයන් බවට පත්වීමට සිදුවීමත් මොනතරම් අභාග්‍ය සම්පන්න සිදුවීම්ද?

අප මේ සටහන් තබන්නට යන්නේ මිනිස් ජීවිතයේදී මෙවැනි අනපේක්ෂිත අභාග්‍ය සම්පන්න සිදුවීම්වලට මුහුණ පා ජීවිත කීපයක් අහිමි වූ පවුලක් පිළිබඳවය. මේ පවුලේ ජීවිත කීපයක් මේ ආකාරයෙන් අහිමි විය. තවත් පිරිසක් අබ්බගාත වී ඇත්තේ වල් අලි පහරදීම් හේතුවෙනි. පියා, පුතෙකු, මිනිපිරයක මෙන්ම සුරතලයට ඇති කල බළලෙකු ද වල් අලීන්ගේ පහරදීම් නිසා මරුදැක තිබේ. ඒ පවුලේම තවත් කීප දෙනෙක් වල් අලි පහරදීම් නිසා තාමත් රෝහල් ගතව සිටිති.

මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ ඒ පවුලේ ජීවතුන් අතර සිටින ඥාතීන් සොයා අපි පසුගියදාක ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාගල, කරවිලගම ගම්මානයට ගියෙමු.

මෙගම පදිංචිව සිටි ඩී.එම්.ටිකිරිබණ්ඩා දිසානායක මහතා වල් අලි පහරදීමකින් මියගොස් ඇත්තේ 1978 වර්ෂයේ සැප්තැම්බර් මස විසි වැනිදාය. දූ දරුවන් දාහතර දෙනකුගේ පියකු වූ ඔහු මිය යන විට පනස් දෙවැනි වියේ පසු විය. ටිකිරිබංඩා දිසානායක මහතා වල්අලි පහරදීමට ලක්වූ අවස්ථාවේ ඔහුත් සමඟ සිටි ඔහුගේ වැඩිමල් පුතා වන පලාගල පහළගම පදංචි ඩී.එම්.ජයරත්න මහතා අප සමඟ කී කථාවයි මේ. 

සිද්ධිය වූ දවසේ අප්පච්චියි, මායි හවස වැවට නාන්ඩ ගියා. ඒ කාලේ රේඩියෝ එකේ මොනරතැන්න නාට්‍ය යනවා. අප්පච්චි ඒ නාට්‍ය අහන්න හරි කැමතියි. එදා නාට්‍ය යන දවස අප්පච්චියි, මායි ඉක්මනට වැවෙන් නාලා වැව් පිටිය මැදින් වැටී තිබූ කෙටි පාරකින් ගෙදර එන්න ආවා. එතකොට වෙලාව රෑ හතට විතර ඇති.

වැව් පිටියේ කුඩා කැලෑ රොදක හිටිය වල් අලියෙක් එක පාරටම පැනලා අපි පස්සේ පන්නන්න පටන් ගත්තා. අප්පච්චි ගෙදර පැත්තට දිව්වා. මම කැලෑවක් අස්සෙ හැංගුණා. අපේ වත්ත සීමාවට එද්දී අප්පච්චිට අලියා ගහලා. අප්පච්චිගෙ සිරුර පොඩි කරලා. අප්පච්චි ඒ ස්ථානයේම මිය ගිහින් තිබුණා. වල් අලියෙක් ගහලා අපේ ගමේ සිදු වූ පළමු මරණය තමයි අප්පච්චිගෙ මරණය.

මියගිය ටිකිරිබංඩා දිසානායක මහතාගේ දෙවැනි පුතා වූයේ ඩී.එම්. විමලතිස්ස මහතාය. වල් අලි පහර දීමකින් ඔහු මියගොස් ඇත්තේ 2011 වර්ෂයේ ජනවාරි මස විසි නමවැනිදාය. එවිට ඔහුගේ වයස ද අවුරුදු පනස් දෙකකි. සිය පියා මෙන්ම ඔහු ද වල් අලි පහර දීමට ගොදුරු වී ඇත්තේ වැව් පිටියකදීය.  

මියගිය ටිකිරිබංඩා දිසානායක මහතාගේ තවත් පුතකු වන්නේ ඩී.එම්. සිරිමාන්න මහතාය. 2011 වර්ෂයේ සැප්තැම්බර් මස විසි පස් වැනිදා සිය නිවස ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් ඔහු මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයසද අවුරුදු පනස් තුනකි.

මියගිය සිරිමාන්න මහතාගේ දියණියක වන කරවිලගම පදිංචි ඩී.එම්. කාංචනා මධුමාලි (අවුරුදු 25) මහත්මිය පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවකි. වැඩිමල් දියණිය නිරූපමා ලක්ෂාණිය. ඇයට වයස අවුරුදු පහකි. බාල දියණිය පැහැසරා ගිමිහානිය. වයස අවුරුදු එකහමාරකි.

මගේ අප්පච්චි මියගියේ රිය අනතුරකින්. ඊට පස්සේ මගේ සැමියා යතුරැ පැදියෙන් යද්දි අනතුරකට පත් වුණා. එයාගේ හිසට බරපතළ තුවාල සිදු වුණා. අද කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයට පත්වෙලා ඉන්නවා. ජීවත් වෙන්න මාර්ගයක් නැති නිසා මම කැකිරාවේ ඇඟලුම් කම්හලක රැකියාවකට යනවා. උදේට ගිහින් හවසට ගෙදර එනවා. දරු පැටව් දෙන්නා දවල් දවසට රැකබලා ගන්නේ මගේ අම්මා.

අපේ වත්තට පසුගිය (ජුනි මස) පහළොස්වැනිදා රෑ වල් අලි ආවා. අපේ බාප්පලාගේ ගෙදර සුරතලයට ඇති කරන බළලෙක් හිටියා. අපේ වත්තට ඇතුළුවන කඩුල්ල ළඟදි අර බළලාට අලි ගහලා ඌව මරා පාගලා දමා තිබ්බා. ඊට පස්සේ දවසක රෑක මං හීනෙන් දැක්කා අපේ ගෙදරට ගොඩක් සෙනග එකතු වෙලා කෑම උයනවා. පහුවදා උදේ මං ඒ හීනය ගැන අම්මටත් කීවා

මැයි මස දහනව වැනිදා උදා කරමින් හිරු කරවිලගම ගම්මානයටත් එබිකම් කරන්නට විය. ලහි ලහියේ කෑම ටික පිස ගත් කාංචනා මධුමාලි ඒවා දරුවන්ට හා මවට වෙන් කොට තමාගේ බත් පැකට් එකද ඔතා වැඩට යාමට සූදානම් වූවාය. අද වැඩට යනවද- නැද්ද මිදුලට බැසත් ඇය කල්පනා කළාය. ඇය ඉඳිකඩුල්ල ළඟට ගොස් ආපසු හැරුණාය. අනේ... අම්මේ මට බයයි. අම්මේ මගේ කෙළි පැටික්කියන් දෙන්නා හොඳට බලාගන්ඩ ඕන ඕන් කියමින් ඇය ඉදිකඩුල්ල පැන්නාය.

“මගේ ලොකු දුව මොන්ටිසෝරි යන්නේ පලාගල පෙර පාසලට. අම්මා තමයි දුවව මොන්ටිසෝරි අරන් යන්නේ. එදත් අම්මා දුවලා දෙන්නාම ලෑස්ති කරගෙන උදේ හතහමාරට විතර පලාගලට යන්න ගිහින් තියෙනවා. අතරමගදි වල් අලියෙක් මුණගැහිලා අම්මටයි මගේ දරු පැටව් දෙන්නටයි ගහලා. මගේ ලොකු දුව පෙර පාසල් ඇඳුමින්ම ඒ ස්ථානයේදීම මිය ගිහින්. පොඩි දුවටයි අම්මටයි ගොඩක් තුවාල වෙලා.

වල් අලි පහර දීමකට ලක්ව මියගිය ඒ පුංචි සමනලියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු මැයි මස විසි එක්වැනිදා මළහිරැ බැස යන මොහොතේ කරවිලගම පොදු සුසාන භූමියේදී සුදු වූයේ ගම්මානයම හඬවාය.

මගේ ලොකු මිනිබිරිය මොන්ටිසෝරි ඇරලවන්න එදා (19) උදේ පලාගලට යන්න පයින්ම ගියා. ලොකු දුව පොත් බෑගය කරේ දමාගෙන පාර දිගටත් සෙල්ලම් කරමින් ගියා. මම පොඩි දූව වඩාගෙන පිටිපස්සෙන් ගියා. අලි වැට සීමාවේ අලියෙක් ඉන්නවා දැක්කා. අලියා දැක්ක ගමන් ලොකු දුව කෑගසාගෙන ආපහු හැරිලා මගේ ළඟට දුවගෙන ඇවිත් මාව බදාගත්තා. මම දරැවො දෙන්නම තුරැල් කරගත්තා. වෙන කරන්න දෙයක් මට නෑ. ඒ එක්කම පිම්මේ දුවගෙන ආපු අලියා අපි තුන් දෙනාව හොඬවැලෙන් උස්සලා විසිකළා. දරැවෝ දෙන්නා ඈතට වීසිවෙලා යනවා මම දැක්කා. මට මතක එච්චරයි. ලොකු දුව මියගියා කියලා දැන ගත්තෙත් දවස් කීපයකට පස්සෙ

අලියට පෑගිලා මගේ පාදයක් සම්පූර්ණයෙන්ම කුඩුවෙලා. අපට නම් මොනා වුණත් කමක් නෑ. ඒත් මගේ රත්තරන් කෙලි පැංචි අපට අහිමි වුණ එක තමයි වාවා ගන්ඩ බැරි

මගේ සැමියා රිය අනතුරින් මියගියාට පස්සේ කාංචනා දුවයි, එයාගේ දරුවෝ දෙන්නයි මගේ ගෙදර ඉන්නේ. දුව ගාමන්ට් එකක රස්සාවට යන නිසා ඒ දැරියන් බලා ගත්තේ මම. ඇස් දෙක වාගේ රැකගත්තත් වල් අලියගෙන් මම කොහොමද දරුවන් රැකගන්නේ යි ඇය ඇසුවාය. 

ටිකිරිබංඩා දිසානායක මහතාගේ දියණියක වන කරවිලගම පදිංචි ඩී.එම්.ගීතාංජලි හේමමාලි (අවුරැදු 43) මහත්මියගේ සැමියාද වල් අලි පහරදීමකට ලක්ව දිගු කලක් ඔත්පොලව සිට පසුගිය වසරේ (2016) මියගොස් තිබේ. 

අපට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මං ගෙයක් දොරක් හදාගන්න කියලා රට ගියා. ඒ අතරතුර අපේ ගේ වල් අලි කඩලා තිබුණා. රට ඉඳලා එනකොට ඉන්න හිටින්න තිබුණ ගෙදරත් මට නැති වෙලා. මහත්තයාට අලියෙක් ගැහුවෙත් හවස කඩේට යනකොට. මහනුවර රෝහලේ අවුරුද්දක් විතර ප්‍රතිකර ගත්තා. අපේ පවුලේ ළඟම ඥාතීන් හතර පස්දෙනෙකු වල් අලි පහරදීම්වලින් මියගියා. අද අපට කිසිම සැනසීමක් නෑ. ඉන්න හරිහැටි ගෙයක් දොරක් නෑ.යි ගීතාංජලී හේමමාලි දිසානායක මහත්මිය කීවාය.

නිරූපමා ලක්ෂාණි පුංචි දියණිය වල් අලි පහරදීමකින් මියගිය පසු ඇගේ දේහය තැන්පත් කර තැබීමට පවා සුදුසු නිවහනක් ඔවුන් සතු නොවීය. ජීවිත ජීවත් කරවන්න මහපොළව සමඟ ජුකී මැෂින් අතර පොර බදන මේ අහිංසක මිනිසුන්ට නිවාස ඉදිකර ගැනීම සිහිනයක්ම පමණි. 

මියගිය පෙරපාසල් දැරියගේ මරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක්ද, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇගේ ආච්චි අම්මා බාහිරින් ලබා ගන්නා ඖෂධ ඇත්නම් වෛද්‍ය නිර්දේශ මත ඒ වියදම් ගෙවීමට හැකි බව ද වන ජීවි සහකාර අධ්‍යන්ෂ (වයඹ) ඒ.එම්.සුමනසේන මහතා කියයි. ඊට අමතරව කරවිලගම වටා විදුලි වැටක් ඉදිකරවන බවද හේ කීය.

කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර