දයාවංශ ජයකොඩි මහතා මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම පොත් ප්‍රකාශකයා වේ. ඔහුගේ ප්‍රකාශන දිවියට දැන් වසර 55කි. ඔහු ආසියා පැසිපික් ප්‍රකාශකයන්ගේ සංගමය පිහිටුවීමටද මුල් විය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති වශයෙන්ද ඔහු කලක් කටයුතු කළේය. අපගේ ප්‍රකාශන ක්ෂේත්රයේ ගැටලු ජයකොඩි මහතා දකින්නේ මේ ආකාරයෙනි.

ඔබ ප්රකාශනයට පිවිසි මුල් අවදියේදී අත්දැකීම් ගැන පැවසුවහොත්?
එදා පොත් ප්රකාශනය විනෝදජනකයි. ගැටලුවක් තිබුණේ නැහැ. කඩදාසි රීම් එකක් ඒ කාලේ රු. 13යි. දැන් රීම් එකක් රු 3250යි. ඒ කාලේ ශත 90ටත් පොත් විකුණුවා. පිටු 450ක ලොකු පොතක් රු.4.50යි. 1971දී කුමාර කරුණාරත්නගේ සිතට සිතක් පොතේ මිල රු. 4.50යි. ඒ පොත කෙටි කාලයක් ඇතුළත පිටපත් 13000ක් විකිණුවා.
ගෙන එන බව කියන අලුත් බදු පනතින් පොත්වලට නව බද්දක් අයකරන බවට ආරංචියක් පැතිරෙනවා.
එහෙම එකක් අපට දැනුම් දීලා නැහැ. යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළඹිලා තිබෙනවා. පොත්වලට බදු පැනවීම නොකරන බවට. මෙයට පෙර නොදැනුවත්ට පොත්වල බදු ගහලා අපි ඒ ගැන සාකච්ඡා කළ විට ඒ බදු ඉවත් කළා. දැන් කඩදාසිවලට නම් අලුත් බද්දක් දාලා තිබෙනවා. තවත් අලුත් බදු දාන්න ගියොත් නම් පොත් ප්රකාශනය විනාශ වෙලා යාවී.
පොත් මුද්‍රණයේදී කඩදාසිවලට විශේෂ බදු සහන ලබා දෙන්නෙ නැද්ද?
නැහැ. හුඟ දෙනෙක් පොත් ගහනවා කියලා අඩුමිලට කඩදාසි අරන් වෙනත් බිස්නස් පටන් ගත්තා. එතකොට බිල්පොත් ගහන්නත් පටන් ගන්නවා.
ආණ්ඩුව බලයට පත් වුණේ සාහිත්‍යයට සහ සංස්කෘතියට නව පණක් දෙන බවට පොරොන්දු වෙමින්. ඒ පොරොන්දු ඉටුවන බවක් ප්‍රකාශන ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන ඔබට දැනෙනවද?
ඔය තත්ත්වෙ හැමදාම තිබුණ දෙයක්. කවුරුත් පොරොන්දු දෙනවා තමයි. කිසිම ප්‍රකාශකයකුට ලේඛකයෝ හදන්න බැහැ. ප්‍රකාශකයෝ හැදෙන්නෙ ලේඛකයන්ගෙන්. ලේඛකයෝ පයින් යන විට ප්‍රකාශකයෝ කාර්වල යනවා.
ඒ නිසාම ප්රකාශකයාගේ වගකීමක් නේද ලේඛකයා පොහොසත් කිරීම?
ඇත්තටම අපේ වගකීමක් තමයි. නමුත් කර්තෘවරයාට 10%ක කර්තෘභාගයයි ලැබෙන්නේ. අප නම් ලේඛකයාට නියම විදිහට කර්තෘභාගය ගෙවනවා.
බොහෝ ලේඛකයන්ගේ මුල් පොත් ඔබ ප්‍රකාශ කර තිබෙන බව ආරංචියි?
ඔව්. එවැනි ලේඛකයන් රාශියක් ඉන්නවා. ඔවුන් පසුව රටේ ඉතා ජනප්‍රිය නව කතාකරුවන් වුණා. සෝමවීර සේනානායක, එඩ්වඩ් මල්ලවආරච්චි, කුමාර කරුණාරත්න, ජයකොඩි සෙනෙවිරත්න කිහිප දෙනෙක් පමණයි.
ලංකාවෙ විද්‍යුත් මාධ්‍ය වැඩිවීම පොත් අලෙවිය අඩුවීමට බලපා තිබෙනවද?
අමෙරිකාවෙ රූපවාහිනී චැනල් 1000කට වැඩියි. චිත්‍රපට කොපමණ පිටවනවාද? ඉන්දියාවේත් එහෙමයි. ඒත් පොත් කොච්චර අලෙවි වෙනවාද? ලංකාවේ නම් මොනවා වෙලාද දන්නේ නැහැ. පොත් විකිණෙන්නෙ අඩුවෙන්. පුස්තකාල මත තමයි රැඳෙන්න වෙලා තියෙන්නේ. පොතක් මිලදී ගෙන කියවන පාඨකයෝ ඉතා සුළු පිරිසක් තමයි ඉන්නේ.
සමහර ප්‍රකාශකයන්ට හරසුන් පොත් පළ කරන බවට චෝදනා එල්ල වෙනවා.
ඒක වැරදියි.
පොත් ප්රකාශනයට කඩදාසිවලට රාජ්‍ය සහන අවශ්‍ය නැති බව සමහරු පවසනවා?
ප්‍රායෝගිකව පොත් පළ කිරීමට පමණක් කඩදාසිවල මිල අඩු කිරීම දුෂ්කරයි. පොදුවේ කඩදාසිවල මිල අඩු කළොත් හැරෙන්නට.
පොත්වල මිල අධික බවටත් චෝදනා එල්ල වෙනවා?
අපි පොතක් රු 4.50ට විකණපු කාලේ (1970 දශකයේ) සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් කඩදාසිවල මිල එකපාරටම දෙගුණයක් කළා. ඒ නිසා 4.50 පොත රු. 7.00ක් වුණා. එඩ්වඩ් මල්ලවආරච්චිගෙ ආශිර්වාද පොත් රු. 7.00ට තමයි මිල නියම කළේ. මම හිතුවා දැන් පොත් ගහලා ඉවරයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ.
අදත් කඩදාසි මිල වැඩි නිසා පොත්වලට ඉහළ මිලක් නියම කිරීමට සිදුවෙනවා. නවකතාවක් රු. 700/-ට 800/-ටත් තිබෙනවා. ඒ ඒ කාලෙට පවත්නා ආර්ථික ස්වභාවය අනුව පොත් මිල තීරණය වෙනවා. එදා සත 60ට තිබුණ බත් පාර්සලය අද රු. 250/-යිනේ.
මේ දිනවල වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ පොත්වලටද?
විශේෂයෙන් හොඳ උගත් හාමුරුවරු ලියන බෞද්ධ පොත් පාඨකයන් අතර ජනප්‍රියයි. නමුත් අපි බුද්ධාගම විකුණන එකත් එච්චර හොඳ වැඩක් නෙවෙයි. පරිවර්තනවලට ඉල්ලුම වැඩි නසා පරිවර්තන වැහිවැහැලා. හොඳ නවකතාවලටත් ඉල්ලුමක් තිබෙනවා. ඒ අතර හරසුන් පරිවර්තන බහුලයි. නමුත් පාඨකයා බුද්ධිමත්. පාඨකයා රවටන්න බැහැ. සමහර පාඨකයන් පොතෙන් බාගයක් කියවලා තමයි පොත ගන්නේ.
අද කියවීම අඩු වී ඇති බවක් ඔබ දකිනවාද?
කියවීම අඩුවෙලා නැහැ. පොත් මිලදී ගැනීමයි අඩුවී තිබෙන්නේ. කෑම බීමට ගියහම මිනිසුන්ගේ අතේ මුදල් ඉතුරු වෙන්නේ නැහැ. මිහිසුන්ට සල්ලි නැහැ පොත් ගන්න. කොළඹ පොත් ප්‍රදර්ශනයටත් 100ක් ආවොත් පොත් ගන්නේ දහදෙනයි. පොතක් මිලදී ගත් පාඨකයා නිසා තමයි අපට මේ වගේ තැනකට එන්න හැකි වී ඇත්තේ. රටේ ඉන්න හැම කෙනෙක්ම අවුරුද්දකට එක පොතක් මිලදී ගත්තත් පොතකින් පිටපත් 6000ක් පළ කිරීමට පුළුවන්. නමුත් වැඩේ එහෙම නොකරන එකනේ.
කුසුම්සිරි