
ගංවතුර බැසයාමත් සමඟ බෝවන රෝග ෂීඝ්‍රයෙන් පැතිර යාම සාමාන්‍යයෙන් සිදුවෙයි. මේ වනවිටත් ඩෙංගු අධි වසංගතයක් ලෙස පැතිර යාමටද හේතුසාධකයක් වී ඇත්තේ පසුගියදා ඇද හැලුණු වර්ෂාවයි. දිවයින පුරා පැතිර සිටින ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයයද ඉක්මවා ඇති අවස්ථාවක ඩෙංගු මරණ තුන්සියයකට අධික ප්‍රමාණයක් සිදුවී ඇති අවස්ථාවක මිනිසුන්ට තවත් පීඩාකාරී උණ රෝගයක් වන මී උණද මේ වනවිටත් හිස ඔසවමින් සිටී. මී උණ හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් සිවුදෙනකු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පාලිත විජේසේකර මහතා පැවසූයේ පසුගිය සතියේය. මිය පුද්ගලයන්ට අමතරව රෝගය වැළඳුණු පුද්ගලයන් එකසිය එක්දෙනකු සිටින බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මේ වනවිටත් රෝගය පැතිරී ඇති අතර යක්කලමුල්ල ප්‍රදේශයේ රෝගීන් දහතුන් දෙනෙකුද, කරන්දෙණිය ප්‍රදේශයෙන් රෝගීන් දහහතරක්ද, ඇල්පිටිය ප්‍රදේශයේ රෝගීන් එකොළහක්ද, උඩුගම ප්‍රදේශයෙන් එකළහක්ද, තවලම ප්‍රදේශයෙන් රෝගීන් දහතුන්දෙනෙක්ද ආදී වශයෙන් රෝගීන් වාර්තා වීම සිදුවී ඇත. මෙලෙස වැඩි වශයෙන් රෝගයට ගොදුරු වී ඇත්තේ ගොවිතැන් කටයුතුවල නියැලෙන පුද්ගලයන්ය.
මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) යනුවෙන් හැඳින්වෙන්නේ මීයන්, ගවයන් හා මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. ගොවිපළ සතුන්, සුනඛයන් හා කැලෑබද ක්ෂීරපායි සතුන්ගෙන් පැතිරිය හැකි රෝගයක් වන මෙය හටගන්නේ Leptospira interrogans නම් බැක්ටීරියා වෙනි. බැක්ටීරියාව පරිසරයට එක්වෙන්නේ රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමඟය. පසුගිය කාලය තුළදී ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා මෙවැනි රෝග තත්ත්වයක් පැතිර යාහැකි බවට අපි නිරතුරුවම ජනතාව දැනුවත් කළා. ඒත් කීපදෙනෙකුට දැන් මෙම රෝගය වැළඳී තිබෙනවා. හතරදෙනෙක් මිය ගිහිල්ලත් තියෙනවා. රෝගය තවදුරටත් පැතිරීයාම පාලනය කරන්නට අපි මේ වනවිටත් කටයුතු කරනවා.
මේ දිනවල ගාල්ල ප්‍රදේශයෙන් පැතිරයන මී උණ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අපට ලැබුණේ එම පිළිතුරයි. මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයෙන්ද අප විමසීමක් කළෙමු.
වසංගත රෝග විද්‍යා අංශයේ පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ වසර පුරාවට මෙම උණ රෝගය වාර්තාවේ. එය වසංගතයක් ලෙස වැතිර යාම ගංවතුර වැනි තත්ත්වයකදී සිදුවිය හැකි අතර පසුගියදා ගාල්ල ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය නිසා ප්‍රදේශයෙනි මී උණ තත්ත්වය උග්‍රවී ඇත.
සාමාන්‍යයෙන් මී උණ රෝගකාරක බැක්ටීරියාව ශරීරගතවී දින 5 සිට 14 අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවිය හැකිය. මෙම කාලපරාසය දින 2 සිට 30 දක්වා වෙනස් වියහැක මී උණෙහි රෝග ලක්ෂණ ලෙස වෙව්ලා හැදෙන තද උණ, සිරුරෙහි ඇතිවන අධික වේදනාව (මස් පිඩු ආශ්‍රිතව) ඇස් රතුපැහැවීමත් දැවිල්ලත් හටගැනීම හඳුනාගතහැකිය. මෙම රෝග ලක්ෂණවලට අමතරව ඔක්කාරය, වමනය, කෑම අරුචිය, දැඩි හිසරදය, අප්‍රාණික බව, මුත්‍රා තද පැහැයක් ගැනීම, මුත්‍රා සමඟ ලේ යාම, මුත්‍රා පිටවීම අඩුවීම, සමේ පලුවැනි ස්වභාවයන් හටගැනීම හා ඇතැම් විට කැස්ස හටගත හැකියි. ඇතැම් අවස්ථාවන්වලදී රෝගීයා මෙම රෝග ලක්ෂණ නොපෙන්වන අතර මෙවැනි රෝගියෙක් ඩෙංගු, ඉන්ෆ්ලූවන්සා වැනි රෝගවලට සමාන වන අවස්ථාද ඇත.
සාමාන්‍යයෙන් කුඹුරුවල, වගාබිම්වල හා ජලය රැඳීඇති ස්ථානවල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැකි අතර එවැනි විෂබීජ සහිත ස්ථානයන්ට සිරුරේ කැපුම් තුවාල හෝ සීරීම් සහිතව බසින අවස්ථාවකදී බැක්ටීරියාව ශරීර ගතවිය හැකිය. ගලා නොයන දියකඩිතිවලින් දිය නෑමේදී ද මෙවැනි රෝග හටගත හැකි අතර එවැනි අවස්ථාවන්හිදී ඇස්වල හා නාසයෙත් ඇති සියුම් පටක හරහා බැක්ටීරියාව ශරීර ගතවේ. මීට අමතරව මීයන් මුත්‍රා කරන ලද ජලය පානීය ජලය මිශ්‍රවීම නිසා ඒවා පානය කිරීමෙන් හෝ මුවසේදීමේදී මී උණ වැළඳීමේ හැකියාව ඇත. බැක්ටීරියාවෙහි දරුණු බව කොතරම්ද කිවහොත් එක් බැක්ටීරියාවක් ශරීර ගතවීමෙන් පවා රෝගය වැළඳීමේ හැකියාව තිබේ. මී උණ රෝගයෙහි වඩාත් භයානකම අවස්ථාව වන්නේ ඒ මඟින් ශරීරයේ අනෙකුත් අවයවයන් හට සිදුකරනා හානියයි. මී උණ සඳහා නිසිකලට ප්‍රතිකාර නොගතහොත් වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයවවලට ඉන් විශාල බලපෑමක් සිදුකෙරේ. මෙය රෝගයකු මාරාන්තික තත්ත්වයට පත්කිරීම සඳහා හේතුවන අතර අධික රුධිර වහනයෙන්ද රෝගීන්ට මාරාන්තික ප්‍රතිඵල සිදුවිය හැකිය. රෝගය වැළඳුණු පුද්ගලයන් අතරින් ඉතා සීමිත ප්‍රතිශතයක් මිය යා හැකි අතර කලට වේලාවට නිසි ප්‍රතිකාර ලබාදීම හරහා රෝගය නිට්ටාවටම සුවකිරීමේ හැකියාද ලැබේ.
ගාල්ල ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය අනුව වාර්තා වූ රෝගීන් අතරින් වැඩි පිරිසක් සුව අතට හැරෙමින් සිටිති. මෙම රෝගයෙහි මාරාන්තික තත්ත්වයක් පවතින හෙයින් රෝගය පවතින ප්‍රදේශයන්හි ජනතාව මේ වනවිට රෝගය සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතුකරන අතර වාර්තා නොවූ රෝගීන් කිහිපදෙනකුම සිටින බවටද අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම දැනුම්වත් කිරීම් සිදුකරනවා. රෝගය බෝවීමේ අවදානම ඇති පිරිස්වලට රෝගය වළක්වා ගත හැකි ක්‍රම සම්බන්ධයෙන් අපි කියාදෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශවල අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
මෙලෙස අදහස් දැක්වූයේ ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පාලිත විජේසේකර මහතායි. මී උණ රෝග වළක්වා ගතයුතු රෝග අවස්ථාවක් වන අතර කුඹුර අවට ඇති පරිසරය පිරිසිදුව තබාගැනීම, වගා බිම් සැකසීමේදී අත්පා ආවරණ පැළඳීම (මෙහිදී දණහිස දක්වා ආවරණය වන පාවහන් පැළඳීම හා අත්වැසුම් භාවිතය සිදුකළ හැකිය), ජලය රැඳුණු ස්ථානවල ජලය බැසයාමට සැලැස්වීම, කුඹුරුවල සහ ජලය රැඳුණු ස්ථානවලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත්පා මුහුණකට සේදීමෙන් වැළකීම ආදී ක්‍රියාමාර්ග රැසක්ම ඒ සඳහා ගත හැක. විශේෂයෙන්ම සමේ තුවාල හෝ සීරීම් වැනි දේ ඇත්නම් ජලට එකතු වී ඇති ස්ථානවලට බැසීම නොකළ යුත්තක් වන අතර ගංවතුර වැනි තත්ත්වයකදී වතුරට හෝ මඩට බැසීමෙන් පාදවලට කිසිදු හානියක් නැත්නම් ජලය නොයන පරිදි තුවාල හොඳින් ආවරණය කිරීම හෝ කළ යුතුය. මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන්ද මී උණ රෝගය වැළඳිය හැකි නිසා උතුරුවා නිවාගත් ජලය පානය කිරීම වඩාත් උචිතය. මීට අමතරව නිවාස මීයන්ගෙන් තොරව පිරිසිදුව තබාගත යුතු අතර නෑමට හා බීමට ජලය ලබාගන්නා ආරක්ෂිත ළිං මීයන්ගෙන් සහ අනෙකුත් සතුන්ගේ මුත්‍රාවලින් අපවිත්‍ර නොවන ආකාරයට ළිං බැම්මක් සාදා ආරක්ෂා කරගත යුතුය.
ගාල්ල ප්‍රදේශයේ ඇති තවත් ප්‍රදේශ කිහිපයකම මේ වනවිට මී උණ රෝගීන් හමුවී ඇති අතර විශේෂයෙන්ම ගොවිතැන් කටයුතුවල නියැළෙන පුද්ගලයන් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් වහාම පිළිගත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුයැයි අවවාද කෙරේ. මෙම රෝගය හටගැනීම වැළැක්වීම සඳහා ගොවිමහතුන් ඇතුළු ඒ ආශ්‍රිත වැඩකටවුතුවල නියැළෙන පුද්ගලයින් හට වැඩ ආරම්භකිරීමට පෙර ඩොක්සිසයික්ලින් නැමැති ඖෂධය ලබාගත හැකිඅතර තම ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මඟින් එම ඖෂධය ලබාගත හැකිය. මෙම ඖෂධයෙන් රෝග ආසාදනයට එරෙහිව යම් ආරක්ෂාවක් ලැබෙන බව සොයාගත්ත ද එමගින් රෝගයට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන බව තහවුරු කරගෙන නැත. කෙසේ වෙතත් මෙම ඖෂධ භාවිත කරන්නේ නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යය.
හේමමාලා කුමාරි රාජකරුණා