
දිනය ඉකුත් සෙනසුරාදාය. නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික භටයින් පිරිසක් රැගත් P – 435 වේග ප්‍රහාරක සංචිතයට අයත් ඩෝරා යාත්‍රාවක් ත්‍රිකුණාමලය වෙරළ තීරයට ඔබ්බෙන් ඈත මුහුදේ රාත්‍රියේ යාත්‍රා කරමින් තිබුණි. අහසත් මුහුදත් ගැටෙන ක්ෂතිජ මායිම හෝ නොපෙනෙන අන්ධකාරය අතරින් රැළි ගහන මහ මුහුදේ නුපුරුදු දසුනක් දර්ශනය වෙමින් තිබුණේ මුර යාත්‍රාවේ රේඩාර් තිරය ඔස්සේය. මේ වනවිටත් එම මුරයාත්රාවේ රාජකාරි වේලාව ඉකුත් වෙමින් තිබූ බැවින් ඉදිරි රාජකාරි කටයුතු සඳහා එම ස්ථානයට ළඟාවෙමින් තිබුණේ P-115 වෙරළාරක්ෂක මුරයාත්රාවය.
රාජකාරියෙන් නික්මෙන්නට සූදානමින් සිටි වේග ප්‍රහාරක යාත්‍රාවේ නිලධාරීන් තමන්ට හඳුනාගන්නට ලැබුණු නුපුරුදු දර්ශනය එහි පැමිණි මුරයාත්රාවේ සෙබළුන්ට දන්වා සිටියහ. ඊට මත්තෙන් පෙර කී P – 435 යාත්‍රාවේ නිලධාරීන් ක්‍රියාත්මක වී සමුද්‍රීය ඒකාබද්ධ මෙහෙයුම් මැදිරිය ද දැනුවත් කර තිබිණි. ඒකාබද්ධ නාවික මෙහෙයුම් මැදිරිය උපදෙස් පරිදි IPC-115 මුරයාත්රාව මෙහෙයුම දියත් කර තිබුණේය.
එහිදී ක්‍රියාත්මක වූ නාවික සෙබළුන් සහිත වෙරළබඩ යාත්‍රාව නිරීක්ෂණය කොට හඳුනාගත්තේ අලි දෙදෙනකු රළපහරට හසුව දියඹ දෙසට ගසාගෙන යමින් සිටින බවය. ඒ වනවිටත් ත්‍රිකුණාමලය වෙරළ තීරයට මුහුදු සැතපුම් දෙකහමාරක් පමණ දුරින් රවුන්ඩ් දූපත හා කෙවුලියා තුඩුව අතර මුහුදු ප්‍රදේශයේ අලි දෙන්නා සැඩපහරට හසුව සිටියහ. තත්ත්වය හඳුනාගත් නිලධාරීන් වහා ඉදිරිපත් වී අලි දෙදෙනා බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළහ. ඒ වනවිටත් ධීවර රැකියාවේ නිරතවෙමින් සිටි ධීවරයෝ දෙදෙනෙක් තම බෝට්ටුවෙන් අලි දෙන්නා අසලට ළඟාවී සිටියහ. ඔවුන්ගේ පරමාර්ථය වී තිබුණේද අලි දෙදෙනා නැවත ගොඩබිම දෙසට පලවා හැරීමය. එහෙත් මුහුදු රළ හා පොරබදන අලි දෙදෙනා ධීවරයින් දෙදෙනාට පහරදෙන්නට උත්සාහ ගන්නා බව නාවික නිලධාරින්ට නිරීක්ෂණය විය.

ඔවුන්ගෙන් ලද තොරතුරු සමඟ ක්‍රියාත්මක වූ නිලධාරීන් ධීවරයින් දෙදෙනාගේද සහාය මත නාවික නිලධාරීන් දෙදෙනකු අලි දෙන්නා ආසන්නයට යාත්‍රා කළේ ධීවර බෝට්ටුවේ ආධාරයෙනි. වේග ප්‍රහාරක යාත්‍රාවෙන් අලින් අසලට කිට්ටු කළ නොහැකි වූයේ එම ස්ථානයේ ගැඹුර අඩුවීමත් ඒ නිසා යාත්‍රාවේ පතුල ගැටී අනතුරකට ලක්වීමේ අවදානම තිබූ නිසාත්ය. මේ වනවිටත් අදාළ තොරතුරු සමුද්‍රීය ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියට දන්වා තිබිණි. ඔවුන්ගේ සහාය සඳහා තවත් නාවික යාත්‍රා 2ක් ගෙන්වා ගන්නට කටයුතු යෙදුණේ ඒ අනුවය. P-114 සහ IPC – 116 යාත්‍රාව සමඟ P-483 වේග ප්‍රහාරක යාත්‍රාද සම්බන්ධ විය. මේ අනුව මෙහෙයුම සඳහා නාවික හමුදාවේ යාත්‍රා 4ක් සහ ධීවර යාත්‍රාවක් ද එක්වී තිබිණි. ඔවුන් අතරට අවසාන වශයෙන් එක්වූයේ නාවික හමුදාවේ කිමිදුම් අංශ සාමාජිකයන් පිරිසකි.
යාත්‍රා මඟින් තරමක් මුහුද කළඹා අලින් අසලට ළංවූ බැවින් එයින් නැගුණු රළපහර ඔස්සේ අලි දෙන්නා මඳක් ගොඩබිම දෙසට තල්ලු කරන්නට සමත් වූවත් විශාල කඹ දෙකක් මඟින් අලි දෙන්නා මැදිකර අදින්නට ගත් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූයේය. පසුව දායක වූ කිමිදුම් සාමාජිකයෙකු කඹය අලි දෙන්නා යටින් යොදවා ඉන් මිදෙන්නට නොදී ක්‍රමයෙන් ගොඩබිමට මුහුදු සැතපුමක් පමණ ආසන්නයට ගෙනයන්නට ගත් උත්සාහය සාර්ථක විය. මේ අනුව දැඩි පරිශ්‍රමයක් යෙදූ නාවික හමුදා කණ්ඩායමට කිසිදු උපද්‍රවයකින් තොරව අලි දෙන්නා මුහුද මැද සිට ගොඩබිමට රැගෙන යන්නට හැකිවිය. පසුව කෙබුලියා තුඩුව (ෆවුල් තුඩුව) ප්‍රදේශයට නිදහසේ අලින් දෙන්නා මුදාහැරිණි. නාවික නිලධාරීන් මුහුදේ සිටියදී ඔවුන් දෙසට යළි හැරුණු අලින් දෙන්නා හොඬවැල් උස්සා කෘතගුණ දැක්වීමට මෙන් ආචාර කළ බව කියති. එම අවස්ථාව දුටු නිලධාරීන්ගේ සිත් ඉතා සංවේදී වූ බවත් එම සිදුවීම කිසි දිනෙක හිත්වලින් බැහැර නොයන බවත් මෙහෙයුමට එක්වූ නිලධාරීහු කියා සිටිති.
අලි දෙදෙනා මුදවා ගැනීම සඳහා පෙරවරු 6.15 සිට 10.20 දක්වා පැය 4ක පමණ කාලයක් නිලධාරීන් වෙහෙස වී තිබුණි. මේ ආකාරයටම එම නාවික විධානයේ නිලධාරීන් පිරිසක් පසුගිය 11වැනිදා කෝක්කුතුඩුවායි වෙරළට මුහුදු සැතපුම් අටක් පමණ ඈතින් දියඹේ ගසාගෙන යමින් සිටි අලියෙකු ද බේරාගැනීමට ද කටයුතු කර තිබුණි.
කතාව - සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ අනුග්‍රහය - ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය