

යම් පුද්ගලයකු තම විනෝදාංශය රැකියාව බවට පත්කරගෙන කටයුතු කළහොත් ඔහුට සිය ජීවිත කාලය පුරාවටම සතුටින් රැකියාවේ යෙදිය හැකිය. රැකියාවට එහා ගිය මහා සත්කාරයන්හි යෙදෙනා පුද්ගලයෝද අප අතර ඕනෑ තරම් සිටිති.
රෝහලක් යනු සැබැවින්ම ජීවිත අසපුවකි. එවැනි ජීවිත අසපුවක ප්‍රියමනාප පරිසර වටාපිටාවක් නඩත්තු කරන්නට යමකු නිතැතින්ම වෙහෙසිය යුතුය. එවැනි කාර්ය බහුල ජීවිත අසපුවක් සිත් ඇදගන්නා සුළු ස්ථානයක් බවට පත් කළ අපේ කාලයේ මිනිසකු සොයා දේශයේ අපි කළුබෝවිල මහ රෝහලට පියමැන්නේ ඒ අපූරු මිනිසා හමුවීමේ අටියෙනි.
සිනාමුසු මුහුණින් යුතුව අප පිළිගත් ඔහු අන්කවරෙකුවත් නොව කළුබෝවිල රෝහලේ පල්දෝරු අංශයේ ප්‍රධාන යන්ත්‍ර ක්‍රියාකරු චන්දන ආරියවංශය. රෝහලෙහි මළ අපද්‍රව්‍ය, අපිරිසිදු වතුර සියල්ලම රැස්වන දුගඳ හමන පල්දෝරු අංශය සුවඳවත් කළ ඒ ධෛර්යවන්ත පුද්ගලයා අප සමඟ කථාබහට එක් විය.
“මම මෙතනට එනකොට මෙතන තිබුණේ එතරම් හොඳ පරිසරයක් නෙවෙයි. මේකේ තිබුණ දුගඳ එක්ක රැකියාව කරන්නත් අමාරුයි. ඒ වගේම රෝහලට එන අයටත් මේක බරපතළ ගැටලුවක් වෙලා තිබුණා කියලා මම දැක්කා.”
රෝහලේ දිනකට සියලු වැසිකිළි, කැසිකිළි වලින් ඉවතලන අපද්‍රව්‍ය, අපිරිසුදු ජලය ඇතුලු අනෙකුත් කසළ රැස්වන්නේ පල්දෝරු අංශයේ ඇති විශාල ටැංකිය (ගලිය) ඇතුලටය. දිනකට රෝහලේ වැසිකිළි කැසිකිළි ද්‍රව්‍ය ගැලුම් 35000ක් පමණ පල්දෝරු අංශයේ ඇති විශාල ටැංකිය තුළට රැස් වේ.
ඉවසිය නොහැකි දුගන්ධය නිසාවෙන්ම මෙහි සේවය කිරීමට බොහෝ පිරිස් අකමැති වුණා. එසේම තවත් පිරිස් රැකියාව හැරදමා යාමට පවා පෙළඹුණේ අප්‍රසන්න ගන්ධය නිසාමය. වසර ගණනක්ම මෙම සේවාවෙහි පළපුරුද්ද ඇති චන්දන මහතා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණරත්න මහතාගේ උපදෙස් මත නව වැඩපිළිවෙළක් දියත් කළේය. මේ වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ රෝහලේ දිනකට රැස්වන අපද්‍රව්‍ය අඩි 20ක් පමණ ගැඹුරු ටැංකියක් තුළට රැස්කිරීමටය. මෙලෙස දිනතට රැස්වන අපද්‍රව්‍ය ටැංකියේ අඩි 06ක් පමණ පිරෙනා විට විශේෂ ස්වංක්‍රීය යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රධාන අපවහන පද්ධතිය හරහා මුහුදට මුදා හැරේ. මෙම ස්වයංක්‍රීය යන්ත්‍රයද චන්දන මහතාගේ උපදෙස් මත පෞද්ගලික සමාගමක් මඟින් නිපදවා දීමට රෝහල් අධ්යක්ෂ කටයුතු කර ඇත.
යම් හෙයකින් මළ අපවහන පද්ධතිය යම් හිරවීම්ක් සිදුවුවහොත් ඒ බව ස්වංක්‍රීය යන්ත්‍රය රතුපාට බල්බයක් පත්තුවෙමින් නාදවීමක් කරයි. තවත් අවස්ථාවලදී චන්දන මහතා පල්දෝරු ටැංකිය විවෘතකර අවහිරතාවය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාකරයි.
මෙම පල්දෝරු පද්ධතිය ඇති භූමිය එදා තිබී ඇත්තේ ඝන කැලෑවක් හැටියටය. එයද නිසිලෙස නඩත්තුකර අලංකාරවත් පරිසරයක් බවට පත්කර ඇත්තේද චන්දන මහතාය.
ඔහු සිය කාර්යභාර්ය ගැන දේශයට මෙලෙස අදහස් දැක්විය.
“කැපවීම උනන්දුව තියනවනම් බොහෝ දේවල් කරන්න පුළුවන්. මම එක්ක මෙතන තව දෙන්නෙක් සේවය කරනවා. ඉතින් ඒ අයගේ සහයෝගයත් මට නිරතුරුවම ලැබෙනවා. ඒ වගේම තමයි රෝහල් අධ්‍යක්ෂක තුමා මෙන්ම කාර්ය මණ්ඩලයත් මට විශාල සහයෝගීතාවයක් ලබාදුන්නා. පසුගිය වසරේ පලදායිතා සම්මානයේ 3තැන ලැබුණේ අපේ රෝහලට. ඒ වගේම තමයි මට අංශයේ කරන මේ සේවාව නිසා සෞඛ්‍ය ජනරාල් වරයාගෙන් සම්මානයක් පවා ලැබිලා තියනවා. ඇත්තටම සතුටුයි.”
කළුබෝවිල මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණරත්න
“චන්දන මහත්මයා ඇත්ටම දක්ෂයෙක්. බොහෝ කැපකිරීම් කරලා තමන්ගේ ඉලක්කය වෙත යන කෙනෙක්. ඔහු රෝහලේ දියුණුවට යම් යම් අදහස් ගේනවා. මම ඒවා හොයලා බලලා හොඳයිනම් ඵලදායිතාවයක් තියෙනවනම් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රෝහලේ මළ අපවහන පද්ධතිය නව තාක්ෂණයකට අනුව නිර්මාණය කිරීම හා ටැංකිය (ගලිය) නිර්මාණය කිරීම මෙන්ම මේ පරිසරය මේ තරම් ප්‍රියජනක මට්ටමකට ගෙනාවේ චන්දන මහත්මයා විසින්.”
“මෙම ප්‍රධාන ටැංකිය අසල (ගලිය) පිහිටා තිබෙන්නේ ළය චිකිත්සාගාරයයි. එදා ඝන කැලෑවකින් ඒක වටවෙලා තිබුණේ. ඒක එළිපෙහෙලි කරලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තමයි. මෙය ආරම්භ කළේ මෙම ස්ථානයේ.” හෙතෙම පැවසීය.
♦ හසිත් අංජන
සේයාරූ I සමන්ත විල්තෙර