
හිස ඔසවන්නට බැරි තරමටම ජනතාව මත බදු බර පැටවී ඇති මෙවන් අවස්ථාවක නව බදු පැනවීමක් සම්බන්ධයෙන් අපට වාර්තා වූයේ පසුගිය සතියේය. බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම බදු පැනවීමේ ප්‍රකාශය නිකුත්කර තිබිණි. බස්නාහිර පළාතේ වැඩකට නොගෙන පාළුවට හැර තිබෙන හිස් ඉඩම්වල හිමිකරුවන්ගෙන් ඉඩමේ වටිනාකමින් සියයට දෙකක බද්දක් හෝ දඩයක් අය කිරීමට මේ අනුව පියවර ගැනේ. එසේම මෙලෙස බදු වැඩිකිරීමත් සිදු කරන්නේ ඩෙංගු උවදුර මැඩලීමේ තවත් එක් පියවරක් ලෙස බවද මහ ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙවර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගියේ කිසිවකුට හෝ කටඋත්තර පවා නැතිවන ආකාරයටය. මේ වනවිටත් දෙසීයකට අධික පිරිසක් ඩෙංගු නිසා මියගොස් සිටිති. රෝහල් වෙත ඩෙංගු රෝගීන් ඇතුළත් කරගැනීම පවා සීමාකොට ඇත්තේ එතරම් විශාල පිරිසකට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට ඉඩකඩ නොමැති නිසාය. මෙලෙස සුබසේවක වැඩපිළිවෙළ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරන්නට රජයේ අවධානය යොමු වූ අතර මහජනතාව ද තම නිවෙස් හා ඒ අවට ප්රදේශයන්ගේ පිරිසිදු භාවය පිළිබඳව වැඩිපුර සිතන්නට වූහ.
“අපේ ගෙවල්, වත්ත ඒ හැමදෙයක්ම අපි සුද්ද පවිත්‍ර කරලා තියාගන්නවා. කාණුත් සුද්ධ කරනවා. ඒත් මදුරුවන්ගේ අඩුවක් නෑ. මේ ලේන්එක කෙළවරේම ඉඩමක් තිබෙනවා ඒ ඉඩම අයිති මහත්තයා ලංකාවේ නෑ. ඉස්සර නම් ඔය ඉඩම සුද්ද කරනවා. ඒත් දැන්නම් කාලෙකින් සුද්ද කරලා නෑ. අපි හිතන්නේ ඒකෙන් තමයි ඔය විදිහට මදුරුවෝ බෝවෙන්නේ කියලා.”
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු දේශයට අදහස් දැක්වූවේ එලෙසය. පාළුවට ගිය ඉඩම්වල ඩෙංගු මදුරුවන් බෝවීමද අද වනවිට විශාල ගැටලුවක් බවට පත්ව ඇති අතර මෙවැනි ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ දැකගැනීමට හැකියාව ඇත. මේ ආකාරයට පාළුවට ගිය ඇතැම් ඉඩම්වල කැළිකසළ තැන්පත්කර ඇති ආකාරය ද දක්නට ලැබෙන අතර පාළුවට ගිය ඉඩම්වල කැළිකසළ දැමීම මිනිසුන් පුරුද්දක් කරගෙන ඇති බවද මෙහිදී කොළඹ නගර සභාවේ ප්‍රකාශකයෙක් අප සමඟ පැවසීය.
කෙසේ වෙතත් කුණු ප්රශ්නය හා ඩෙංගු උවදුර තදින්ම දැනෙන මෙවන් අවස්ථාවක බස්නාහිර පළාත් මහඇමැතිවරයා පාළු ඉඩම්වලින් බදු අයකර ගැනීම සඳහා සිදුකළ ප්‍රකාශය කාලෝචිත යැයි ඇතැමුන්ගේ හැඟීමයි. එහෙත් තවත් පිරිසක් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ එය තමන් මත පටවන්න යන අනවශ්‍ය බද්දක් බවයි. කෙසේ හෝ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බදු පැනවීමට අයිතියක් බස්නාහිර පළාත් සභා මහ ඇමැතිවරයාට හෝ කිසිදු පළාත් සභාවකට නොමැති බවය. මෙම බද්ද පනවන්නේ කුමන ආකාරයෙන්ද? මේ සම්බන්ධයෙන් අපි බස්නාහිර පළාත් මහඇමැති ඉසුර දේවප්‍රිය මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු.
“පළාත් පාලන බලප්‍රදේශ තුළ පිහිටියා වූ යම් ඉඩමක් කිසිදු ආකාරයකින් ඉදිකිරීම් සිදුකර නොමැති හෝ කර ඇති ඉදිකිරීම් ඉඩමේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය හැකි මට්ටමක නොමැති අවස්ථාවකදී හෝ අදාළ ඉඩම විධිමත් ලෙස පවත්වා ගැනීම හෝ නිත්‍ය වගාවක් රහිත පවත්වා ගැනීමත් නොවන්නේ නම් එවැනි ඉඩමකින් ඉඩමේ ප්‍රාග්ධන වටිනාකමින් සියයට දෙකක් නොඉක්මවන පරිදි සංවර්ධනය නොකළ ඉඩම් බද්දක් වශයෙන් පනවනවා. (මෙහිදී ඉඩම සුද්ද කිරීම පමණක් වුවද ප්‍රමාණවත්). ඒ සඳහා පළාත් පාලන ආයතනය වෙත මහනගර සභා ආඥාපනතට නම් (248) වගන්තිය යටතේද, නගර සභා ආඥාපනතේ 165 (ඇ) වගන්තිය යටතේද ප්‍රාදේශීය සභාවක් නම් ප්‍රාදේශීය සභා අංක 153 වගන්තිය යටතේ බලතල ලැබී තිබෙනවා. මෙම බලය තියෙන්නේ පළාත් සභාවලට නෙමෙයි. පළාත් පාලන ආයතනවලටයි.
මෙම බද්ද පනවා ඇති තත්ත්වයක අදාළ බදු මුදල් නොගෙවන්නේ නම් එම ඉඩම තහනමට ලක්කිරීමට පවා කටයුතු කිරීමට පළාත් පාලන ආයතනවලට බලය තිබෙනවා. අදාළ ඉඩම විධිමත් ලෙස පවත්වා ගැනීම හෝ නිත්‍ය වගාවක් රහිතව පවත්වා ගැනීමක් නොවන්නේ නම් එවැනි ඉඩමකින් ඉඩමේ ප්‍රාග්ධන වටිනාකමින් සියයට දෙකක් නොඉක්මවන පරිදි සංවර්ධනය නොකළ ඉඩම් බද්දක් වශයෙන් පනවනවා. ඉඩම වගාකළ යුතුම නෑ. සුද්ද කිරීම ප්‍රමාණවත්. මෙම බද්ද පනවා ඇති තත්ත්වයක අදාළ බදු මුදල් සභාවට ගැනීමටද ඒ තුළ ඉඩම් තහනමට ලක්කිරීමට පවා කටයුතු කිරීමට පළාත් පාලන ආයතනවලට බලය තියෙනවා. ඇත්තටම මේක පැහැදිලිවම අවධානය යොමුවිය යුතු කාරණාවක්.
පළාත් පාලන ආයතන බලප්‍රදේශ තුළ පිහිටා තිබෙන අවධානයෙන් තොරව පවත්වාගෙන යමින් කැළි - කසළ එක්වන පරිදි මැසි මදුරු, කෘමි සතුන් බෝවන පරිදි පවත්වාගෙන යන ඉඩම් සම්බන්ධයෙන් සංවර්ධන නොකළ ඉඩම් මත බද්ද පැනවීමට ක්‍රියාකර ඇත.
“ඒ වගේම මෙම නීතිය ඊයේ පෙරේදා ඩෙංගුවලටම ගෙනාව නීතියක් නෙමෙයි. මෙය පළාත් සභා, නගර සභා, මහනගර සභා පනත සම්මත කරන ලද අවස්ථාවේදීම ඇතුළත් කරන ලද වගන්තියක්. දැනටමත් ඇතැම් පළාත් පාලන ආයතන මෙය සිදුකරගෙන යනවා. පාළු ඉඩම්වලින් බදු අයකිරීම පිළිබඳව මෑතකදී ගත් තීරණයට ආසන්නම වූ හේතුව වන්නේ කොට්ටාව ප්‍රදේශයේ මළගෙදරකට ගොස් සිටි අවස්ථාවකදී ලැබූ අත්දැකීම, වයස අවුරුදු 30ක පමණ කාන්තාවක් තමයි ඩෙංගු රෝගය වැළඳීම නිසා මෙහි මියගොස් සිටියේ. ඒ ගෙදරට ඉස්සරහා තිබුණේ හිස් ඉඩමක්. ඉතින් අර මියගිය කාන්තාවගේ ඥාතියෙක් මා සමඟ කිව්වා මේ ගෙදරට ඉස්සරහා ගෙදර තියෙන වත්ත සුද්ද කරන්නේ නෑ. අපි ඒ ඉඩම අයිති පුද්ගලයන් එක්ක රණ්ඩු වුණා. පොලීසියටත් එක්කන් ගියා කියලා. දැන් ඉතින් ගහන්න තමයි වෙන්නේ කියලා. එතනදී මම කිව්වා ඔයගොල්ලො රණ්ඩු වෙන්න අවශ්‍ය නෑ. මේවාට ක්‍රියාත්මක වෙනහැටි අපේ පනත්වල තියෙනවා. මම ඒක ඊළඟ දවසේ ක්‍රියාත්මක කරන්නම් කියලා තමයි ඇවිත් මෙම ප්‍රකාශය නිකුත් කළේ.
ඇත්තටම හැමතැනම වාගේ පාළුවට ඇරපු ඉඩම් ඕනෑතරම් තියෙනවා. ඉතින් ගොඩාක් මිනිස්සු කුණු ටික විසිකරන්නේ ඉඩමට. ඒනිසා මම හිතනවා මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි කියලා. මේ වෙද්දී අපි හඳුනාගත් ඉඩම් කිහිපයකුත් තියෙනවා. අපි හිතනවා ඉදිරියේදී මහ ජනතාවත් අපිට තොරතුරු ලබාදෙයි මෙහෙම ඉඩමක් තියෙනවා කියලා.
ඊට අමතරව අයිතිකාරයෙක් නැති ඉඩමක් මේ විදියට තියෙනවා නම් ඒක මෙම ක්‍රියාවලියෙන් පසුව එය නගර සභාවට පවරා ගන්නත් හැකියාව තියෙනවා. ඒකත් ලොකු දෙයක්නෙ. නගර සභාවට ඉඩමක් ගත්තම ඒකෙන් මහජනතාවට සේවයක් සැපයීමේ හැකියාව තිබෙනවා. නැත්නම් මේ ඉඩම් යන්නේ කොල්ලකරුවන්ගේ අතටයි. දැනටමත් කොළඹ නගර සභාවෙන් මෙම නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ඉඩම් හිමියන්ට යම් ගැටලුවක් වූවොත් ඒ අයට හැකියාව තියෙනවා තමන්ගේ අනන්‍යයතාවය ඔප්පු කරලා අවශ්‍ය කටයුතු කරගෙන යන්නට. ඉඩම් බේරාගන්න පුළුවන් එහෙම නොකරනවා නම් අපට ක්‍රියාත්මක වෙන්නට සිදුවෙනවා.
පළාත් පාලන පනතේ බලතල තිබෙනවා - මහ ඇමැති ඉසුර දේවප්‍රිය
ඇත්තටම මෙම තීරණය සම්බන්ධයෙන් අපට විවිධ ප්‍රතිචාර ලැබී තියෙනවා. කරැණු දන්න අය මෙම තීරණයට කැමතියි. මොකද මේ වගේ සිද්ධිවලට මුහුණ දුන් ජනතාව මෙය ඒ පිළිබඳව දන්නේ. ඒ අය තමයි මෙවැනි දේවල්වලින් පීඩාවට පත්වෙලා හිටියේ. ඉතින් කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් නරක ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා හිතලා තියෙන්නේ මම මේක පළාත් සභාවෙන් දැම්ම නීතියක් කියලා. ඒකයි එතුමා ඒ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණේ. පස්සේ එතුමා ඒක තේරැම් ගත්තා. සමස්තයක් ලෙස කිසිම කෙනෙක් මෙම තීරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළකරලා තිබුණේ නෑ. මෙතනදී කාගෙවත් ඉඩමක් පවරා ගැනීමට තරම් පල්ලෙහා මානසික තත්ත්වයක් අපිට නෑ. අපිට අවශ්‍ය වෙන්නේ මෙම ඉඩම් සුද්ද පවිත්‍ර කරලා පිරිසිදුව තබාගැනීමටයි.”
ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ගැනීම මෙම අවස්ථාවේ රටේ අත්‍යවශ්‍යම කාරණයකි මෙවැනි නීතිමය තත්ත්වයක් ක්‍රියාත්මක කිරීම එම මර්දන ව්‍යාපෘති සඳහා වැඩදායක අයුරින් බලපානු ඇත. කෙසේ වෙතත් මෙවැනි නීති පැනවීම යහපත් බව පෙනෙන්නට තිබුණත් ඒ හරහා අනිසි අන්දමින් ඉඩම් පවරා ගැනීමක් සිදුකරන්නේ නම් එමගින්ද මහජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ දැඩි අසීරුතාවයකටය. එබැවින් එම නීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට සහන සැලසීම වගකිව යුත්තන්ගේ කාර්ය භාරය වියයුතුය.
♦ හේමමාලා කුමාරි රාජකරුණා