
සහල් මිල පහත හෙලීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි සැලවී තිබේ. මේ වනවිට සාමාන්‍ය දේශීය සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 100ක් පමණ වේ. මෙයට පෙර විටින් විට සහල් ආනයනය කළද මිල පහළයාමට එය හේතු නොවූ බව පෙනෙන්නට තිබේ. එසේ නම් ආනයනය කළ සහල් තොගවලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නොයෙක් දෙනා විවිධ මත පළකරනු ඇසිය හැකිය. ගෙනා සහල් මහා පරිමාණ මෝල් හිමියන් මිලට ගෙන ඒවා දේශීය සහල් බෑග්වලට දමා වැඩිමිලට විකුණන බව ඇතැමෙක් කියති. තවත් අය පවසන්නේ ආණ්ඩුව ගෙනා සහල් තොග වෙළෙඳපොළට නොදමා සඟවා තබාගෙන ඇති අතර, ඒවා නරක් වූ පසු කුකුල් කෑමවලට අඩු මිලට විකුණා අත යට මුදලක් සෙවීමට සමහර බලවතුන් සැලසුම් කර ඇති බවය. තවත් මතයක් වන්නේ ආනයනික සහල් වෙළෙඳපොළට නොදා තබා ගැනීමෙන් මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆියාවට තවදුරටත් ඉඩදී ඇති බවය.
මෙම අදහස් සාවද්‍ය හෝ නිරවද්‍ය වේවා දැනට ඇති සහල් ගැටලුවට මෙතෙක් ආනයනය කළ සහල් තොගවලින් විසඳුමක් නොලැබුණු බව සනාථ වන්නේ සහල් කිලෝවේ සිල්ලර මිල පහතට නැමීමක් සිදු නොවන බැවිනි.
මෙවැනි පරිසරයක් තුළ ආණ්ඩුව තවත් සහල් ආනයනය කරන්නට යන්නේ කිහිප දෙනකුගේ ආදායම් මාර්ගයක් සැලසීමට මිස දුප්පත් පාරිභෝගිකයාට යහපතක් සැලසීමට නොවන බව වැඩිදෙනාගේ අදහසය. පසුගිය ආණ්ඩුව සමයේ පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූ රිසාඩ් බදියුදීන්ට යහපාලන රජයේ වානිජ හා පාරිභෝගික කටයුතු ඇමැති ලෙස උසස්වීමක් ලැබී තිබේ. ලක් සතොස, වී අලෙවි මණ්ඩලය, පාරිභෝගික සේවා අධිකාරිය ආදී ආයතන ඔහුගේ අමාත්‍යංශයට අයිතිය. පසුගිය ආණ්ඩුව සමයේ රිෂාඩ් ඇමැතිවරයා විසින් ආනයනය කරනු ලැබූ බව කියන පොන්නි සම්බා සහල් කිලෝ ලක්ෂ ගණනක් ගබඩාකර තුබූ ස්ථාන වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේදී වටලා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව විමර්ශනද ආරම්භ කර තිබිණ. එහෙත් ඔහු ආණ්ඩුවට එකතු වූවාට පසු ඒවාට කුමක් සිදුවූවාදැයි දැනගන්නට නැත.
එසේ තිබියදී මෙම ආණ්ඩුවෙන්ද යළිත් වරක් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇත්තේ රටේ සහල් හිඟයක් ඇති නිසා මිල ඉහළ ගිය බව පෙන්වා දෙමිනි. එහෙත් ගොවි සංවිධාන සහ සහල් තොග වෙළෙඳුන් සනාථ කරන්නේ කන්නවල අස්වැන්න සහ ආනයනය කළ සහල් තොග සලකා බැලීමේදී සහල් අතිරික්තයක් මිස හිඟයක් නම් කෙසේවත් තිබිය නොහැකි බවයි. මෙම දෙපාර්ශ්වයේ නිරීක්ෂණ කෙසේ වෙතත් තවමත් පාරිභෝගිකයාට සිදුව ඇත්තේ අධික මිලට සහල් ගැනීමටය.
ආනයනික සහල් දේශීය සහල් සමග මිශ්‍රකර අලෙවි කිරීම පිළිබඳ ලැබුණු තොරතුරු මත වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි. මාතලේ සහ නුවරඑළිය ප්‍රදේශවලින් ඒ පිළිබඳ පැමිණිලි ලැබුණු අතර දිවයින පුරා මේවා වැටලීමට කණ්ඩායම් යොදා ඇති අතර හසුවන අයට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කරන බව ඔහු කියයි. එසේම පසුගිය මාසයේ පමණක් කළ වැටලීම්වලින් සහල් වැඩිමිලට විකුණූ වෙළඳුන් 2000කට එරෙහිව පැමිණිලි ගොනුකර ඇති බවද ඔහු අවධාරණය කරයි.
2015 සහ 2016 වසරවල සහල් ආනයනය සඳහා පනවන ලද බදු ඉහළ යාම නිසා 2015 වසරේදී වාර්තා වූ ඉහළ වී අස්වැන්න හේතුවෙන් හා අවශ්‍ය තරම් තොග තිබීම හේතුවෙන් සහල් ආනයනය සීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වයි. 2015 වසරේ දෙවැනි කාර්තුවේ සිට 2016 පහළ මාස 10 දක්වා සහල් ආනයනය පහළ වැටී තිබුණි.
සහල් ආනයනය අවම කිරීම සඳහා 2016 නොවැම්බර් 01දා සිට ආනයනික කිලෝවකට රුපියල් 50ක රේගු බද්දක්, සියයට 15ක එකතුකළ අගය මත බද්දක්, සියයට 7.5ක වරාය සහ ගුවන්තොටපොළ සංවර්ධන බද්දක් හා සියයට 2ක ජාතිය ගොඩනැගීමේ බද්දක් වශයෙන් නව බදු ක්‍රමයන් පනවන ලදී. මෙලෙස විශාල ලෙස බදු වැඩිවීම නිසා 2016දී ආනයනය කළ සහල් ප්‍රමාණය 2015 දී ආනයනය කළ මෙට්‍රික් ටොන් 285,604 සමග සසඳා බැලූවිට සියයට 89.7ක් දක්වා විශාල ලෙස පහළ වැටී ඇත. 2016 දී ආනයනය කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29524 තරම් වූ පහළ තත්ත්වයට ඇද වැටුණි.
එහෙත් 2016 වසර අවසන් වනවිට මෙම තත්ත්වය උඩු යටිකුරුව ගිය අතර දේශීය වී තොග වෙළෙඳපොළට නොපැමිණීම නිසා සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. මෙයට පිළියමක් වශයෙන් සහල් ආනයනය දිරිමත් කිරීම අවශ්‍ය වූ අතර, 2016 නොවැම්බර් මාසයේ සහල් ආනයනයට පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට 2017 ජනවාරි 09දා ආණ්ඩුවට සිදුවිය. අනතුරුව ආනයනය කරන සම්බා, නාඩු සහ කැකුළු සහල් සඳහා කිලෝවකට රුපියල් 15ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවිණි. එහෙත් තවදුරටත් සහල් ආනයනය දිරිමත් කිරීම සඳහා 2017 ජනවාරි 27 දා මෙම රුපියල් 15 බද්ද රුපියල් 5 දක්වා තවදුරටත් අඩු කිරීමට සිදුවී තිබිණ. මෙයට හේතුවූයේ වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇතිවීමය. මෙය වෙළෙඳුන් මැවූ කෘත්‍රිම සහල් හිඟයක් යැයිද, අවශ්‍යතරම් සහල් රට තුළ තිබේ යැයිද ආණ්ඩුව පැවසුවද තිබෙන සහල් තොග වෙළෙඳ පොළට එවීමට ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අපොහොසත් විය. අද දක්වාද තිබෙන්නේ එම තත්ත්වයයි.
මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසන්නේ මෙතෙක් කල් ආනයනය කළ සහල් සියල්ලම පාහේ හොර පාරෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ගඩාවලට ගිය බවය. ඒ නිසා යළිත් සහල් කොපමණ ගෙනාවත් වැඩක් නොවනු ඇතැයි ඔහු කියයි. ලොරි පිටින් රැගෙන ආ රට සහල් මහා පරිමාණ වී ගබඩාවලදී දේශීය සහල් සමග මිශ්‍රකර වෙළෙඳපොළට එවන නිසා සහල් මිල අඩුවීමක් සිදු නොවූ බව ඔහු කියයි.
“මෙහිදීද කරල පැහුණේ ලොකු මිනිස්සුන්ගේ. ඒ අයගේ ලාභය උපරිම වුණා විතරයි. කුඩා සහල් ව්‍යාපාරිකයන්ට හෝ පාරිභෝගිකයාට කිසිදු සහනයක් සිදුවුණේ නැහැ. රටේ සහල් මිල බස්සන්නට යැයි සහල් ආනයනය කළාට වැඩක් නැහැ. ඒවා යන්නේ කොහාටද කියලා බලන්න ඕනෑ. එකම තැනට ගිහිල්ලා ඒකාධිකාරයක් ගොඩනැගෙනවා නම් අපරාදේ විදේශ විනිමය නාස්ති වෙන එකයි වෙන්නේ. මෙයට පෙර නිතරම රටේ සහල් මිල තීරණය වෙන්නට මරදගහමුල සහල් මිල බැලපෑවා. එහෙත් අද වනවිට ඒ සියල්ල තීරණය කරන්නේ මොරුන් කිහිපදෙනකු මත පමණයි. මෙම තත්ත්වය මර්දනය නොකළහොත් රටේ සහල් මිල අඩුකිරීම සිහිනයක් පමණයි.”
ඔහු පවසන්නේ මෙලෙස ගෙනෙන සහල් ගබඩාවලදී දේශීය සහල් ලෙස පැකට් කිරීම විවෘතව කරන දෙයක් බවයි.
කුඩා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා:
“ගෙන එන රට සහල් කන්ටේනර් පිටින් මේ පළාත්වලට තමයි එන්නේ. ඒවා බෑග්වලට මාරුකරලා දේශීය සහල් ලෙස වැඩිමිලට වෙළෙඳපොළට එනවා. පෙබරවාරි මාසයේ මුල සිටයි සහල් මිල අඩුකරන්නට යැයි සහල් ආනයනය ආරම්භ කළේ. එහෙත් දැන් මාස 6ක් හාල් ගෙනල්ලත් මිල පහළ ගියේ නැහැ. එයට හේතුව ඒ සහල් කුඩා සහල් වෙළෙඳුන් ළඟට හෝ පාරිභෝගිකයා වෙතට නොපැමිණීමයි. මේ සහල් බොහෝ දුරට අපේ දේශීය සහල්වලට සමාන නිසා බත් කෑමේදී මිස වෙනස හඳුනාගන්න බැහැ. පොන්නි සම්බා කීරි සම්බාවලට එකතු කරන්න පුළුවන්. ඉන්දියානු නාඩුද අපේ නාඩුවලට සමානයි. මෙම මාෆියාව තිබෙනතාක් කල් සහල් මිල අඩු කරන්න බැහැ.”
ඔහු පවසන්නේ වී අලෙවි මණ්ඩලය තම තොගවලින් මෙට්‍රික් ටොන් 30-40ක් සතොසට දුන්නද ඒවා සහල් වී වෙළෙඳපොළට නොපැමිණි බවයි. එම වීද පෞද්ගලික මෝල්වලට ලැබී සහල් බවට පත් විය. එයට ඍජුව ඇමැතිවරයකුගේ ඥාතියෙක් සම්බන්ධ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා යැයි මුදිත පෙරේරා කියයි. එම වී මිටිය රුපියල් 3500 බැගින් විකුණා අත යට විශාල ලාභයක් ලබාගෙන ඇත. ඉහළ සිටම මෙම වංචාවලට සම්බන්ධ බැවින් කිසිවකුත් අතගහන්නේ නැත. සහල් ආනයනයද විශාල ලෙස කොමිස් ලැබෙන ව්‍යාපාරයක් වී ඇත. මෙය අද බාල ගම්මිරිස් රටින් ගෙනැවිත් මුදල් උපයනවා වැනි ව්‍යාපාරයක් වෙයි. මාසෙකට රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ වෙයි. රටේ අස්වැන්න සහ ආනයනය කළ සුහල් ප්‍රමාණය ගණන් ගත්විට රටේ සහල් අතිරික්තයක් මාස හිඟයක් නැති බව පැහැදිලි වේ. මේ සියල්ල කිහිප දෙනකුගේ මඩිය තරකරන කූට ව්‍යාපාරයකට පරිවර්තනය වී තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු:
මෙරටට අවශ්‍ය සහල් අපි ඇනවුම් කරලා, මේ වනවිට තොග ලැබෙමින් පවතිනවා. අපි මෙයට පෙර රජය සමග සාකච්ඡා කරලා ඔක්තෝබර් දක්වා අවශ්‍ය සහල් තොග ඇණවුම් කර අවසානයි. දැනට රටේ සහල් හිඟයක් නොමැතියි. ඒ නිසා රජය සහල් ගෙන්වීම මේ අවස්ථාවේ අවශ්‍ය නොවේය කියන එකයි අපේ වැටහීම.
ආණ්ඩුව හාල් හිඟයක් ඇතැයි කියමින් සහල් ආනයනය කිරීම මෙයට පෙරද සිදුවුණා. වැලිසර ගබඩාවේ තිබුණු ආනයනික සහල් කුකුල් කෑමවලට දුන්නා. තවත් සහල් සඟවාගෙන තිබිලා දිරාපත්වෙලා අහුවුණා. ආණ්ඩුව ගෙන්වන සහල් පාරිභෝගිකයා අතට යන්නේ නැහැ. මෙලෙස ආණ්ඩුව හාල් ගෙන්වීම පිළිබඳ විවිධ කතා පැතිරෙනවා. මෙය ඇතැම් දේශපාලනඥයන්ගේ සහ නිලධාරි කොටසකගේ ආදායම් මාර්ගයක් බවට පත්ව තිබෙනවා. දැනට සහල් හිඟයක් ඇතැයි යන කතාව බොරුවක්. කුමන වෙළෙඳපොළේ කුමන සහලද හිඟ කියලා ඔප්පු කරන්නය කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.
සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 25,000-30,000 විතර වෙළෙඳපොළට එනවා. දිනක රටේ සහල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 5000ක් පමණයි. මෙයින් 2000ක් ආනයිනක සහල්. මෙම සහල් වැඩිපුර මිලට ගන්නේ හෝටල් හා බත් පාර්සල් ව්‍යාපාරිකයන් විසින්. අපේ ගෘහණියන් නිතරම ඉල්ලන්නේ දේශීය සහල්. එයට හේතුව ආනයනික සහල් පිළිබඳ දුර්මත පැතිර තිබෙන නිසයි. ඒවා ව්‍යාජ කතා මිස පිළිගත හැකි දේ නොවෙයි. ආනයනය කරන සහල් ශාක නිරෝධන ආයතනයද සමග ආයතන ගණනාවකින් පරීක්ෂා කරනවා. ඒ නිසා අපි ගෙන්වන්නේ හොඳම සහල්. ඒවා පාරිභෝජනයට බියවිය යුතු නැහැ.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ රට තුළ සහල් මිල මෙලෙස වැඩිවී ඇත්තේ නිෂ්පාදනය අඩුවීම නිසා හෝ ඉල්ලුම වැඩිවීම නිසා නොව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ අයහපත් කළමනාකරණය නිසා බවය. දේශීය නිෂ්පාදනය නිසි ලෙස කළමනාකරණය කර වෙළෙඳපොළට එවීමට කටයුතු කරන්නේ නම් කිසිදු විටෙක සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දෙයි.
2017 වසරේදී වෙළෙඳ පොළේ සහල් සැපයීම අඩුවී මිල ඉහළ ගිය අතර එයට විකල්පයක් ලෙස ආණ්ඩුව සිදුකළේ සහල්වලට පනවා තිබූ ආනයන සහ වෙනත් බදු අඩුකර ඕනෑම කෙනකුට සහල් ආනයනය කිරීමට අවසර දීමය. එහෙත් සහල්වලට පාන මිලක් රටතුළ ක්‍රියාත්මක වන නිසා අඩු බදු යටතේ වුවද සහල් ගෙන්වා පාලන මිලට අලෙවි කිරීමට අපොහොසත්වීම නිසා ආනයනකරුවෝ ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වූහ. එයට පිළියමක් ලෙස රජය සතොස මගින් සහල් ගෙන්වා බෙදාහැරීමට කටයුතු කළත් එය සහල් මිල පහළ යාමට මෙතෙක් බලපා නොමැත.
කුඩා වෙළෙඳුන් සහ පාරිභෝගිකයා පවසන්නේ මෙම සහල් මහා පරිමාණ ජාවාරම්කරුවන් අතට පත්වී දේශීය සහල් ලේබලය යටතේ වෙළෙඳපොළට එන බවය. මෙලෙස ගෙනෙන සහල් දේශීය සහල් සමඟ කලවම්කර ඉහළ මිලට විකුණන බවට චෝදනා කෙරේ.
“මෙහෙම හාල් මිශ්‍රකර විකිණීම වැටලීමට හැකියාවක් නැහැ. එහෙම විකුණන්න බැරි යැයි නීතියක් නැහැ. ඒ හින්දා එවැනි වෙළඳාම් කරන අය වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියට නීතියෙන් ප්‍රතිපාදන නැහැ. ඒ නිසා පාරිභෝගික සේවා අධිකාරිය එවැනි වෙළෙඳුන් වටලන්නට යනවා යැයි ප්‍රචාරය කරන්නේ හුදෙක් බියගැන්වීමට මිස වෙනත් කළ හැකි දෙයක් නැහැ.”
ආචාර්ය මෙත්සිල පවසයි. ඔහු පවසන්නේ 2015 දී ආනයනය කළ සහල්වලට වූ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 135.7ක් වූ අතර 2016 දී එම වැය ඇ.ඩො.මි. 12.8 දක්වා විශාල ලෙස අඩුවී ගිය බවය. 2015 දී සහල් ආනයනයට වැයවූ මුදල රටේ සමස්ත ආනයන වියදමින් සියයට 0.7ක් වූ අතර 2016 වනවිට එම ප්‍රමාණය සියයට 0.01 දක්වා අඩුවී ගොස් ඇත. ඒ නිසා සහල් ආනයනයට වැයවන මුදල සාපේක්ෂ වශයෙන් ඉතා පහළ මට්ටමක පවතී. 2012 දී ආනයන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 36000ක් සහ 2013 දී 23000ක් වූ අතර 2014 දී ලක්ෂ 6 දක්වා ඉහළ ගියේය. එයට හේතුව මැතිවරණ උණුසුම තිබූ කාලයේදී ජනතාවට අඩු මිලට සහල් සැපයීමට එවකට පැවැති ආණ්ඩුව උත්සාහ කිරීමය. 2015 දී මෙට්‍රික් ටොන් 2,86,000 දක්වා අඩුවූ සහල් ආනයනය 2016 දී ටොන් 30,000 දක්වා අඩුව ගොස් තිබුණි. එහෙත් මේ වනවිට සහල් ආනයනය ඉහළ දැමීම නිසා මෙම වසර අවසන් වනවිට මෙම ප්‍රමාණය ඉහළ යනු ඇත.
“සහල් මිල පාලනය කර තිබෙන නිසා කවුරු ආනයනය කළත් ප්‍රශ්නයක් ඇති නොවෙයි. ඒත් එලෙස ගෙනෙන අය අඩුයි. මෙයින් ලොකු ලාභයක් නැති නිසා අනිත් අයට බදු සහන සැලසුණත් ආනයනකරුවන් ගෙන්වන්නේ සුපිරි හෝටල්වලට අවශ්‍ය මිල වැඩි සහල් සාමාන්‍ය පාරිභෝගිකයට අවශ්‍ය සහල් ගෙන්වන්න උනන්දු වන්නේ නැහැ. ඒ නිසා එය පාරිභෝගිකයාට බලපාන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පාරිභෝගිකයාට අවශ්‍ය සහල් ආනයනය කර බෙදාහැරීමට ආණ්ඩුව උනන්දු විය යුතුයි. සහල් රජය ආනයනය කර දේශීය සැපයුම්කරැවන් හරහා විකිණීමට කටයුතු කිරීම වැදගත්.”
♦ යසවර්ධන රුද්රිග