2017 ජුලි 15 වන සෙනසුරාදා

මහණකමට පාරකපන ධර්ම කර්මාධිපති යෝගය

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3087

සමස්ත යෝග බල අතරින් කැපී පෙනෙන ශුභඵල අත්කර දෙන්නාවූත් යෝගයක් ලෙස ධර්ම කර්මාධිපති යෝගය හඳුනාගත හැක. උත්පත්තියේදී මෙම යෝගය සහිතව උපදින දූ දරුවන්ට මුල් ජීවිත කාලයට වඩා මැදිවයසෙන් පසු ඉතා උසස් වූ ජීවිතයක් ගතකිරීමට වාසනාව හිමිවනු ඇත. ධර්ම කර්මාධිපති යෝගය පස්වැන්නේ හෝ නවවැන්නේ යෙදීම නිසා තමා අදහන්නා වූ ආගමට කුඩා කල සිටම බොහෝ සේ නැඹුරුවෙමින් ධාර්මික ජීවිතයක් ගතකිරීමට හේතුවේ. සමහර විට ගිහි ජීවිතය අතහැර දමා මහණදම් පිරීමටත් කැමති වන අතර එමගින් නායක ස්වාමීන් වහන්සේ නමක් වීමටත් අවකාශ ලැබේ. එමෙන්ම රටේ නායකයන්ට උපදෙස් දෙන්නා වූ අයකු බවට පත්වනු ඇත. තමා යටතේ අනුගාමික පිරිසක් ද නිතැතින්ම බිහිවනු ඇත.

ධර්ම කර්මාධිපති යෝග බලය හිමිව උත්පත්තිය ලබන්නා වූ පුද්ගලයා අසරණයන්ට පිහිට වෙමින් තම ජීවිත කාලය පුරාවට යහපත් ජීවිතයක් ගතකරන අතර මරණින් පසුවද තම නාමය අමරණීයව අන් අය අතරේ සදා මතකයේ රැඳෙනු ඇත. ඉතා දුප්පත් පැල්පතක උත්පත්තිය ලබා මෙම යෝගය ශුභව යෙදී තිබුණ හොත් සමාජයට හිතැති බුද්ධියෙන් යුක්තව ප්‍රධානින්ගේ ගෞරවයට පත්වී ගරුබුහුමන් ලබමින් රටේ ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වේ.

ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද දියුණුව ලබමින් ද ඡන්ම කේන්ද්‍රයේ කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව මෙම යෝගය හිමි වුණේ නම් වඩා ශුභ ඵල ලබනු ඇත. ධර්ම කර්මාධිපති යෝගය ලබා දේශපාලනයට පිවිසියේ නම් රටේ ජනතාව වෙනුවෙන් සෑබෑ සේවයක් කරන යුග පුරුෂයකු බවට පත්වනු ඇත.

මෙම යෝග බලය වෘෂභ ලග්න හිමියාට යෙදෙන්නෙ නැති අතර අන් ලග්න හිමියන්ට යෙදෙන ආකාරය බලමු. 
මේෂ ලග්න හිමි ඔබට බ්‍රහස්පති ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් එක්ව බලවත්ව සිටීමෙන්ද මිථුන ලග්න හිමි අයට බ්‍රහස්පති ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් බලවත්ව එක්වී සිටීමෙන්ද කටක ලග්නයෙන් උත්පත්පතිය ලද විට බ්‍රහස්පති ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් එක්ව බලවත්ම සිටීමෙන් ද මේ බලය ලැබේ. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ අඟහරු සිකුරු සමඟ බලවත්ව එක්ව සිටීමෙන් ද කන්‍යා ලග්නයෙන් උපන් විට සිකුරු හා බුධ එක්ව බලවත්ව සිටීමෙන්ද තුලා ලග්න හිමි ඔබගේ බුධ ග්‍රහයාත් සඳු ග්‍රහයාත් බලවත්ව එක්ව සිටීමෙන්ද වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයාත් රවි ග්‍රහයාත් බලවත්ව එක්ව සිටීමෙන්ද ධර්ම කර්මාධිපති යෝගය ලැබේ. ධනු ලග්න හිමි ඔබගේ රවී ග්‍රහයාත් බුධ ග්‍රහයාත් බලවත්ව එක්ව සිටීමෙන් ද මකර ලග්නයේ දී බුධ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් එකට එක්ව බලවත්ව සිටීමෙන් ද කුම්භ ලග්නයෙන් උපන් විට සිකුරු හා අඟහරු බලවත්ව එක්ව සිටීමෙන් ද මීන ලග්න හිමි ඔබගේ අඟහරු හා බ්‍රහස්පති බලවත්ව එකට එක්වී සිටීමෙන් ද මෙම යෝග බලය යෙදෙනු ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රසූරි
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමසිංහ