2017 ජුනි 17 වන සෙනසුරාදා

2020 වෙනකම් හරියට අනාවැකි කියන එක බොරුවක්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

♦ කාලගුණේට බැරි වුණා මේ පාරත් හරියට අනාවැකි කියන්න.
♦ එච්චර වහිනවා කියලා කාලගුණෙන් කිව්වේ නෑ. එහෙම වුණානම් අපි අයින් වෙනවා.
♦ අවුරුදු 17කට පස්සේ ආපු ලොකුම ගංවතුර තමයි මෙදා සැරේ ආවේ.
♦ අපි මැයි මාසේ මැද ඉඳන් කිව්වා මැයි 25 වෙනකොට වහිනවා කියලා.

පසුගිය සතිය පුරාවට අපගේ කන වැකුණු චෝදනා ප්‍රතික්ෂේප කිරීම් වැනි විවිධ දේ මැද ජීවිත දෙසීයකට අධික පිරිසක් බිලිගත් ඒ මහා ගංවතුර මේ වනවිට කෙමෙන් කෙමෙන් බැසයමින් පැවතියද තවමත් ඇතැමුන් සුපුරුදු ලෙසටම චෝදනා නගන්නේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවටය. ඒ තවමත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට හරියටම අනාවැකිය කියන්නට බැරි බවට චෝදනා කරමිනි. “කාලගුණ අනාවැකි හරියට කියන්න බැරිනම් ඒ දෙපාර්තමේන්තුවෙන් කිසිවැඩක් නැහැ.” ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාවය. “ඔය චෝදනා කරන හැමෝම හැම දවසකම කාලගුණ අනාවැකිය නිවැරදිවම බලනවාද?” ඒ දෙපාර්තමේන්තුව පැත්තෙන් ජනතාවට දෙන පිළිතුරය. “2020 වෙනකම් නිශ්චිතවම සියයට සියයක් කාලගුණ අනාවැකි කියන්න බැහැ.” මේ පසුගිය සතියේ පුවත්පත් කිහිපයක තිබූ සිරස්තලය.

ස්වභාවික විපත් පැමිණෙන්නේ කල්තියා දැනුම් දීමකින් තොරව වුවද ඒ අපදාවලින් සිදුවන හානි වළක්වා ගැනීමට තුන්වන ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට සමත්ව ඇත. නවීන උපකරණ භාවිත කරමින් ඔවුන් තමන්ගේ රටට සිදුවන එම ස්වාභාවික විපත් තුළින් ජනතාවගේ ජීවිත අහිමි වීම් වළක්වා ගෙන ඇත්තේ එලෙසටය.

නිවැරදිව කාලගුණ අනාවැකි ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් වැයකරමින් මෙරටට ගෙන්වන ලදැයි කියන ඩෙප්ලර් රේඩාර් යන්ත්‍රය සවිකිරීමට යාමේදී සිදුවූ දෝෂය නිවැරදි කිරීමට එය නැවතත් අමෙරිකා එක්සත් ජනපදයට යවා ඇත. යම් හෙයකින් 2020 වනතෙක් කාලගුණ අනාවැකි පැවැසීම නිශ්චිතවම කළ නොහැකි වුවහොත් අනාගතයේදී බරපතළ තත්ත්ව ඇතිවීමට ඉඩ තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අලුත්වැඩියා කිරීමට යැවූ ඩෙප්ලර් රේඩාර් යන්ත්‍රය මෙරටට නැවත පැමිණීමට පෙර ජපානයෙන් නව ඩෙප්ලර් යන්ත්‍රයක් ලැබීමට නියමිතය.

සැබැවින්ම 2020 වනතෙක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරදිව අනාවැකි කීමට නොහැකිද? සුපුරුදු ලෙස මෙවරත් කාලගුණ අනාවැකි සහ මෙම තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළේ නැතිද? යන්න නැගෙන චෝදනාවලට පිළිතුරු සොයා අප පළමුව කතාබහ කළේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.අයි. ජයසේකර මහතා සමඟය.

අපි කිව්ව අනාවැකිය හරියට කිව්වා

ඇත්තද මේ 2020 වසර වනතුරු නිවැරදි කාලගුණ අනාවැකි කියන්න බැහැ කියන්නේ?

ඉස්සර වගේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වනවිට ඉතා නිවැරදිවම කාලගුණ අනාවැකි කියනවා. නමුත් සියයට සීයක්ම නිවැරදිව කාලගුණ අනාවැකි කියන්න අපි කාටත් බැහැ. ලංකාවේ විතරක් නෙවෙයි අනෙකුත් දියුණු තාක්ෂණය තියන රටවලටත් එහෙම නිවැරදිව සියයට සීයක්ම කාලගුණ අනාවැකි කියන්න බැහැ. ඩෙප්ලර් රේඩාර් එකක් ගෙනාවත් අපිට දැන් තියන තත්ත්වයට වඩා තරමක් දුරට හොඳට තමයි කාලගුණ අනාවැකි කියන්න වෙන්නේ. අපි ඝර්ම කලාපීය රටක්. අපේ රට තියෙන්නේ මහ මුහුදෙන් වටවෙලා. ඉතිං සුළි කුණාටු, වර්ෂාව, මේවගේ ඔක්කොම එන්නේ මේ මහ මුහුදෙන්. මේ අවස්ථාවේ අපිට තියෙන්නේ වහින වැස්සේ ප්‍රමාණය හරියට කියන්න බැරිවෙන එක. වෙනත් කිසිදු ගැටලුවක් අපිට නැහැ. චන්ද්‍රිකා උපකරණ මගින් තමයි අපි මේ තොරතුරු ගන්නේ ඩෙප්ලර් රේඩාර් එකක් ගෙනාවත් මේ කියන කාලගුණ අනාවැකිය තමයි අපිට කියන්න තියෙන්නේ.

ඒ වුණාට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උද්ගත වූ කාලගුණ තත්ත්වය ගැන නිසි දැනුම්වත් කිරීමක් කල්තබා කළේ නැහැ කියලා ජනතාව චෝදනා කරනවා?

අපි මේපාර නිවැරදිව කාලගුණ අනාවැකිය කිව්වා. මොකද මැයි මාසේ 16 ඉඳලා තමයි අපි මේ ඇති වියහැකි කාලගුණ තත්ත්වය පිළිබඳව අනාවැකි පළ කළේ. ඒවගේම අපි 20න් පස්සේ ඉඳලාම කිව්වා වහිනවා කියලා. 23 වැනිදා අපි ස්ථිරවම කිව්වා 25 වැනිදා වහිනවා කියලා. ඒ පිළිබඳ දත්ත තොරතුරු අපි ළඟ තියනවා. මේ චෝදනා කරන එක අසාධාරණයි. ඕනම කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙම චෝදනා කරන සමහරු දවසේ කාලගුණ අනාවැකිය බලන්නෙත් නැහැ. ඉතින් එහෙම පිරිස් කරන චෝදනා පදනම් විරහිතයි.

2020වෙනකම් බලා හිටියොත් අපි අමාරුවේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න

මේ කාලගුණ විපර්යාස සිදුවෙන්නේ වක්‍රා කාරව. කාලගුණවිද්‍යාව පිළිබඳ පර්යේෂණ කරන අය ඒ ගැන දන්නවා. එතකොට අපි දැනගන්න ඕන උපකරණවලත් කොපමණ වර්ෂාපතනයක් ලැබෙයිද කියා. එයට අමතරව විශාල වර්ෂාපතනයක් ලැබෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අවුරුදු 50කින් එන විශාල ගංවතුර තියනවා, අවුරුදු 100කින් එන ගංවතුර තියනවා. ඒ සියලු දේවල් ප්‍රගුණ කරපු කෙනකුට හොඳට අධ්‍යනය කරලා කියන්න පුළුවන් වෙන්න ඕන ඊළඟට ගංවතුර එන්නේ මොන මොන කාල පරාසවලද කියලා. විශ්ලේෂණය කරන්න ඕන. 2020 වෙනකම් මෙහෙම අනාවැකි නිවැරදිව කියන්න බැහැ කියන එක ඇත්තටම නිදහසට කාරණයක් නෙවෙයි. අවුරුදු 150කට එහා ගියා දත්ත තියන එකම රට තමයි ලංකාව. ඉතිං කාලගුණය පිළිබඳ මේක දත්ත ගබඩාවක්. 2003 ප්‍රනිමාපයේ ඉතා විශාල වර්ෂාපතනයකට පස්සේ ගංවතුරක් ආවා. නාය යෑමක් ආවා. ඊටත් වසර 14කට පස්සේ මේ තත්ත්වය උද්ගත වුණේ. හොඳින් අධ්‍යනය කරන කෙනෙකුට මෙය කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ඔය උපකරණ එනකම් 2020 වෙනකම් බලා හිටියොත් අපි තවත් අමාරුවෙන් අමාරුවකට පත්වෙනවා. ඒ නිසා දැන්ම මේ ගැන අධ්‍යනයකින් පහුවෙනවානම් හොඳයි.

2020 වෙනකම් නිවැරදිව කාලගුණ අනාවැකි කියන්න බැහැ කියන එකනම් කිසිසේත්ම පිළිගන්න බැහැ.
හිටපු කාලගුණවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කේ.ආර්. අබේසිංහ
මෙම ප්‍රකාශ වැඩි හරියක් කරලා තියෙන්නේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්ත අය නෙවෙයි. වෙනත් අය. නමුත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන උපකරණවලින් සෑහෙන දුරට නිවැරදි ප්‍රකාශ කරන්න පුළුවන්. සමහර අවස්ථාවල දින දෙකක් තුනක් මේ කාලගුණ අනාවැකි එහාට වෙන්න පුළුවන්. නමුත් මෙවර අපි නිවැරදිවම ඒ කාර්යය භාර්යය ඉටුකළා. අපිට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවලට මේ කාලගුණ අනාවැකි වරදින්න පුළුවන්. මේ 2020 වෙනකම් නිවැරදිව කාලගුණ අනාවැකි කියන්න බැහැ කියන එකනම් කිසිසේත්ම පිළිගන්න බැහැ. ඒවගේම තමයි මේ මෝසම් කාලගුණය පටන්ගන්නවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව දැනුවත් කළා. කාලගුණය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන අයතමයි මේ විදිහට සාවද්‍ය ප්‍රකාශ කරන්නේ. කෙටිකාලීන දිගුකාලීන මාධ්‍යකාලීන ඒ වගේම තමයි තවත් විවිධ ආකාරයට අනාවැකි කියන්න පුළුවන්. දැන් දිගුකාලීනව කියනවානම් අපි කියනවා දෙසැම්බර් මාසයේ විතර. මධ්‍යම සහ කෙටිකාලීන අනාවැකි කියනකොට අපි කියන්නේ දැනට පවතින තත්ත්වය විශ්ලේෂණය කරලා ලෝකයේ දියුණු රටවල මේ කාලගුණ අනාවැකි කියන්න හොඳ උපකරණ තියනවා. නමුත් ඔවුන් පවා අසමත් වෙලා තියනවා නිවැරදි කාලගුණ අනාවැකි කියන්න. 2020 වෙනකම් නිවැරදි කාලගුණ අනාවැකි කියන්න බැහැ කියන එක කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියපු දෙයක් නෙවෙයි කියලනම් මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන්.

♦ හසිත් අංජන