
රජකු වුවත් ගිලන් වෙලා - එක්තැන් වුණ දා කියනවාට
සැකයක් නෑ - නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
මෙම ගී පද වැල්වලින් පවා කියවෙන්නේ නිරෝගීකම උතුම්ම සම්පත බවය. ලෝකයේ තිබෙන ලෙඩ රෝග ගණනාවකි. ඒ ඇතැම් ලෙඩ රෝගවලට සාර්ථක ප්‍රතිකර්ම බොහෝමයක් සොයාගෙන ඇත. එමෙන්ම ප්‍රතිකාර නොමැති ලෙඩ රෝගද ලෝකයේ ඕනෑතරම් ඇත.

පිළිකාවක් යනු මෙලොව ඇති දරුණුතම රෝගයකි.
පාලනයකින් තොරව සෛල විභේදනය හා තම සෛල මගින් පටක ආක්‍රමණය කිරීම නිසා ඇතිවෙන්නා වූ රෝග තත්ත්වය පිළිකාව ලෙස හඳුන්වයි. මෙය රුධිර සංසරණ පද්ධතිය හා වසා පද්ධතිය හරහා ශරීරයේ අනෙකුත් කොටස්වලට ව්‍යාප්ත විය හැක. එමෙන්ම ලොව පුරා පිළිකා වර්ග 100 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර මෙම බොහෝ පිළිකා ඒවා හටගන්නා ඉන්ද්‍රිය හෝ සෛල වර්ගය අනුව නම්කර ඇත.
මෙම පිළිකා සෛල විනාශ කරන දේශීය ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලය මගින් සොයාගෙන තිබේ.
පියයුරු පිළිකාවට දැනටමත් බෙහෙතක් හරි
කොහොඹ ශාකයේ පවතින ජෙඩුනීන් නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය පවසයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීව වේද හා ජෛව තාක්ෂක ආයතනයේ සහ 2017 වසර මුලසිට ජාතික විද්‍යා පදනමේ මූල්‍ය අනුග්‍රහය මත මෙම පරීක්ෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමණි තෙන්නකෝන්, ආචාර්ය මෙරාන් එදිරිවීර, ආචාර්ය පූර්ණා පියතිලක, ආචාර්ය අසිත සිරිවර්ධන, කානිකා මායන්, ඩැනියෙල් නොක්වු, රනා මෝහන්, ලන්ග් මිගා, තර්මරාජා උමා රාජගෝපාලන්, කනිෂ්ක සේනාතිලක සහ මහාචාර්ය අයිරා තාබෘෘ යන මහත්ම මහත්මීහු මෙම පර්ෙය්ෂණයට දායක වූහ.
2013 වසරේදී මෙම පර් යේෂණය ආරම්භ කර ඇති අතර එහිදී ආසියාතික රටවලින් ලබාගත් ශාකවලින් රසායනික සංයෝග 35ක් පමණ එකින් එක ගෙන දියුණු පරිගණක මෘදුකාංග ආධාරයෙන් පිළිකා පියවි සෛලවල ඇති විශේෂිත ප්‍රෝටීනයක් හා බැඳී ඒවායේ සක්‍රීය ක්‍රියාකාරීත්වය අවහිර කරන්නේදැයි සොයා බැලිණි. මෙම පියවර හුදෙක් පර්යේෂණයට පුරෝකතනයක් පමණක් වූ අතර ඒ සඳහා මොලික්‍යුලර් ඩොකින් ලෙස හැඳින්වෙන ශිල්ප ක්‍රමය භාවිතා විය.

අපි අධ්‍යනය කරන්නේ පිළිකාවේ පියවි සෛලය
එම පර්යේෂණ සිදුකළ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා මෙසේ සඳහන් කරයි.
දැනට පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන රසායනික සංයෝගවලින් පිළිකා පියවි සෛල විනාශ කිරීමට හැකියාවක් නැහැ. මෙහිදී අපි සොයාබැලුවේ පිළිකා පියවි සෛලවල සක්‍රීය ක්‍රියාකාරීත්වයට ඍජුව දායකවන යම් විශේෂිත ප්‍රෝටීනයක් අවහිර කිරීමේ හැකියාවක් ඇති නව සංයෝග තිබේදැයි කියලා. එවැනි සංයෝග හමුවුවහොත් පිළිකාව තවදුරටත් සක්‍රියවීම වළක්වා පිළිකාව සදහටම විනාශ කර දැමිය හැකි වනු ඇත.
2013 තමයි අපි මේ පර්ෙය්ෂණය ආරම්භ කළේ. මෙහිදී අපි අනුගමනය කළ ශිල්ප ක්‍රමය මොලික්‍යුලර් ඩොකින් ලෙස හැඳින්වෙනවා. එහිදී අධි තාක්ෂණික පරිගණක තාක්ෂණ ක්‍රම උපයෝගී කරගෙන ඩී.එන්.ඒ. - ආර්.එන්.ඒ. ප්‍රෝටීන සහ අප සිරුරේ සහ ශාකවල රසායනික සංයෝග තවත් ප්‍රෝටීනයක් හෝ රසායනික සංයෝගයක් සමඟ බැඳී සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් කරන ආකාරය පිළිබඳවද අප විශ්ලේෂණය කළා.
මෙය හරියට අගුලු යතුරු යාන්ත්‍රණයකට සමානයි. එක් අගුලකට එක යතුරක් ගැලපෙන්නාක් සේ කොහොඹ ශාකයේ ඇති ජෙඩුනීන් රසායනික සංයෝගය පිළිකා පියවි සෛලවල විශේෂිත ප්‍රෝටීනයක් හා බැඳී එය අවහිර කර පිළිකා පියවි සෛලවල ක්‍රියාකාරීත්වය අඩපණ කර පිළිකා විනාශ කිරීමේ හැකියාව තිබෙන බව අපට සොයාගැනීමට හැකිවුණා.
ඒ වගේම තමයි පියයුරු පිළිකා සෛල ඍජුවම ඉලක්ක කරගත හැකි ජෙඩුනීන් රසායනය යොදාගෙන සැකසූ නව නැනෝ තාක්ෂණික මුසුවක් අපි දැනටමත් හදලා තියෙනවා. ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. තවත් දස වසරක් ඇතුළත අපේ සොයාගැනීමක් ජාත්‍යන්තර සායනික භාවිතය සඳහා යෙදවීමට අපි පිඹුරුපත් සකසා තිබෙනවා.
තවමත් සුවකළ නොහැකි තත්ත්වයේ තිබෙන පිළිකාවලට මෙරටින් නිපදවා ඇති මෙම දේශීය ඖෂධය ජාත්‍යන්තර මට්ටමට ගොස් රටට කීර්තියක් දිනාදීමට මේ විද්‍යාඥයන් පිරිසට හැකිවේවා යැයි අපි ප්‍රාර්ථනා කර සිටිමු.
හසිත් අංජන