
රට තුළ පැවති වියළි කාලගුණික තත්ත්වය නිමාවට පත් කරමින් පසුගිය දින එකින් එක වැහි බිඳු මහ පොළොව මත පතිත වන්නට විය. ගොවිතැන් කරන නොකරන ජනතාවගේ පටන් කුරා කූඹියා දක්වා සතුටු වූයේ වියළි කාලගුණය නිමාවට පත්ව ඇති නිසාවෙනි. කෙසේවෙතත් පැය 24 පුරාම ඇදහැලුණු වර්ෂාව සියලු දෙනාගේ සතුට අකා මකා දමමින් මහා ගංවතුරක් බවට පත්වූයේ කිසිවකුත් නොසිතූ විරූ අයුරිනි.
ගංවතුරක් ඇවිත් මහා විපතක් වී ඇති වෙලාවක මේ විපත්තිදායක අවස්ථාව තමන්ගේ බඩ වඩාගැනීම වෙනුවෙන් යමෙක් යොදාගනී නම් හෝ උත්සාහ කරයි නම් එය මිනිසත්කමටද සිදුකරන නිගාවක් බව කිව යුතුය. විපත්තිදායක අවස්ථාවන්වලදී එය ආශීර්වාදයක් කරගනිමින් තම සුඛ විහරණය වෙනුවෙන් ඇතැමුන් කටයුතු කළ අයුරු අප කොතකුත් අසා ඇත. මහා සුනාමි ව්‍යසනයක් ඇවිත් ලෝකයක් හැඬවූ අවස්ථාවේ ගාල්ල මුහුදු වෙරළ අසලදී වතුරට හසුව ගසාගෙන ගිය කාන්තාවක් පුද්ගලයන් දෙදෙනකු විසින් බේරාගෙන ඇයගේ ගෙල පැළදි චේන් එක කඩාගෙන නැවත ඇය වතුරට දමා ගිය අයුරු ඔබට අමතක නොවනු ඇත. මේ එක් සිදුවීමක් පමණි. අප අද කියන්නට යන්නේද තවත් එවැනිම කතාවකි.

පසුගිය දින ගංවතුරට හසුව විනාශ වී ගිය සහල් ඇතැම් පිරිස් විසින් සූරියවැව ස්ථාන කිහිපයකට ගෙනවිත් වේලා විකිණීමට උත්සාහ කිරීමේ සිද්ධි තුනක් පිළිබඳව අපට වාර්තා විය.
රත්නපුර ප්‍රදේශයේදී ගංවතුරට හසුව මිනිස් පරිභෝජනයට නුසුදුසු වූ සහල් තොගයක් සූරියවැව ක්‍රිඩාංගණය අසලට ගෙන ගොස් වේලා නැවත වෙළෙඳපොළට එක් කිරීමේ සැලසුමක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංක 119ට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ සූරියවැව පොලීසිය හා සූරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදුකළ වැටලීමකදී සහල් තොගය සමඟ එක් සැකකරුවකු ඉකුත් 28 දින රාත්‍රී අත්අඩංගුවට ගැනීමට සූරියවැව පොලීසිය සමත් විය.
රත්නපුර ප්‍රදේශයේ ගංවතුරට හසු වී ඇති මෙම සහල් තොගය සූරියවැව බැදිගම්තොට ප්‍රදේශයේ සහල් මෝල් හිමියකු විසින් රැගෙනවිත් සූරියවැව මීගහජඳුර මාර්ගයේ පිහිටා ඇති ක්‍රිකට් ක්‍රිඩාංගණය අසල තබා වේලමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට පත්විය.
අත්අඩංගුවට පත් සහල් තොගය කිලෝ 50,000කට ආසන්න වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 40ට ආසන්න බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ. අත්අඩංගුවට පත් සහල් තොගය සහ සැකකරැ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරැණු අතර අත්අඩංගුවට පත් සහල් තොගය රාජසන්තක කෙරිණි.
මෙම ජාවාරම මෙතනින් නවතීවි යැයි විශ්වාස කළද එය එසේ නොවන බව පොලීසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ට තේරැම් ගියේ ඔවුන් වෙත ගෙවුණු 30 දින හා 31 දින ලැබුණු තවත් දුරකතන පණිවිඩ දෙකක් නිසාවෙනි. ඉන් කියැවුණේ කිසියම් පුද්ගලයන් දෙදෙනකු සූරියවැව විහාරගල පොළ භූමියේ හා සූරියවැව හබරත්තවෙල පාසල් භූමියේ දමා ගංවතුරට හසු වූ නරක් වූ සහල් තොගයක් වේලන බවයි. මේ ඔත්තුව ලැබීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ සූරියවැව පොලීසිය හා සූරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ස්ථාන වැටලීමට කටයුතු කළ අතර සැකකරුවන් සමඟ අදාළ සහල් තොගද අත්අඩංගුවට ගෙන හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණි.
වැටලීම්වලින් විහාරගල පොළ භූමියෙන් නරක් වූ සහල් කිලෝ 1000ක් පමණ අත්අඩංගුවට ගත් අතර සූරියවැව හබරත්තවෙල පාසල් භූමියෙන්ද සහල් කිලෝ 3000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ වැටලීම් හමුවේ සැකකරුවන් කියා සිටියේ මෙම සහල් තොග සත්ත්ව ආහාර සඳහා වේලන බවයි. කෙසේවෙතත් වැටලීම්වලදී සැකකරුවන් සතුව ඒ සඳහා සෑහීමකට පත්වීමකට හැකි කිසිදු සාධකයක් නොවිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ මෙම සහල් වේලන පුද්ගලයන් මෝල් හිමිකරුවන්ට සම්බන්ධ අය බවයි. ඔවුන් උත්සාහ කර ඇත්තේ මෙම සහල් වේලා නැවත පොලිෂ් කර මිනිස් පරිභෝජනයට එක් කිරීමටයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් සේනාරත්න මහතා මෙසේ පැවසීය.
මේ අත්අඩංගුවට පත් සහල් තොග සැකකරුවන් සමඟම අධිකරණයට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළා. අත්අඩංගුවට පත් මෙම සහල් තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින ඒවා. යම් අයෙක් මේ සහල් සත්ත්ව ආහාර සඳහා සකස් කිරීමක් කරනවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් තියෙනවා. එහෙම නැතිව හිතුමතේ මෙලෙස කටයුතු කරන්න පුළුවන්කමක් නෑ. ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ සහතිකයක් තිබිය යුතුයි. නමුත් මේ පුද්ගලයන් සතුව එවැනි කිසිදු සහතිකයක් හෝ අනුමැතියක් නෑ. බැලූ බැල්මටම පේනවා මේ සහල් නැවත සකස් කර මිනිස් පරිභෝජනයට එක් කිරීමේ සැලසුමක් පවතින බවට. ඒ නිසා තමයි අපි අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමට කටයුතු කළේ.

ඒ වගේම සමස්ත රටවැසියාගෙන්ම අපි ඉල්ලනවා පැවති ගංවතුර තත්ත්වයට හසුව ඇති විවිධ ආහාර ද්‍රව්‍ය විවිධ කූට වෙළෙඳුන් විසින් නැවත මිනිස් පරිභෝජනයට එක් කිරීමට කටයුතු කරමින් සිටිනවා, මේවා පිළිබඳව මහජනතාව විදියට ඔබ ඉතා විමසිල්ලෙන් පසුවෙන ලෙසත්. මෙවැනි සැකකටයුතු ලෙස යමක් ඔබ ප්‍රදේශයේ සිදුවෙනවා නම් වහාම ඒ පිළිබඳව ළඟම තියෙන පොලීසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ට දැනුම් දෙන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාවගෙන් සහාය ලැබුණොත් තමයි අපිටත් මෙවැනි කූට වෙළෙඳුන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න පුළුන්කම තියෙන්නේ.
සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ, සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුසන්ත කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් හා සූරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සූරියවැව නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.සී.එච්. කුමාර, විහාරගල මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ.නීල් ලක්මාල්, වීරියගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එන්.ටී.ඩී. සමරවීර යන මහත්වරැ වැටලීම සිදුකළහ.
කතාව හා සේයාරූ -
සූරියවැව නුවන් ජයසේකර