2017 මැයි 27 වන සෙනසුරාදා

වකුගඩුවක් දෙනතුරු සෞදියේ හිරවූ කත

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙසින් මීට වසර දෙකහමාරකට පමණ ඉහත දී දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ යන්කුරගල උතුර ග්‍රාමසේවා වසමේ ජීවත් වූ ඩබ්ලිව්.ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති මහත්මිය ගුවන්ගත වූයේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. ගැහැනු ළමයින්ම තුන්දෙනකු සිටි ඉන්ද්‍රකාන්තිගේ හිතේ දරුවන් ගැන බොහෝ බලාපොරොත්තු පොදි බැදුණි. සංදීපනී දිල්හාරා (18), සෂිකලා දෙව්මිණි (11), සෞම්‍යා කෞෂල්‍යා (8), තම මවගේ වෙන්වීමත් සමඟ තම මිත්තණියගේ හවුහරණේ ජීවත් වූවෝය. පිය සෙනෙහස අහිමි වූ මේ දරුපැටවුන්ගේ එකම ලෝකය වූයේ ආදරණීය අම්මාගේ ආදරයත් සෙනෙහසත් පමණි. දරිද්‍රතාවයේ උපරිමයෙන්ම ජීවත් වූ සංදීපනීලාගේ ලෝකයේ කුසගින්නේ සිටි කාලය දිනක් දෙකක් නොවේ.

තම දරුවන්ගේ ලෝකය සුන්දර කරන්නට ඉන්ද්‍රකාන්ති ගෘහ සේවිකාවක් ලෙසින් බොහෝ දුක්ගැහැට වින්දාය. පොදුවේ ගත්කල ගෘහ සේවිකාවක් ලෙසින් විදෙස්ගතවන බොහෝ ගෘහ සේවිකාවන්ගේ ජීවිත සතුටුදායක නොවේ. රියාල්වලට ඔවුන්ගේ ජීවිත බොහෝ වෙලාවන්ට ලංසු තියති. ගෘහ සේවිකාවන් ලෙසින් එදා කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් යානයට ගොඩවැදෙද්දිත් ඉන්ද්‍රකාන්ති ජීවිතයේ බොහෝ දුක්ගැහැට විඳ තිබුණාය. නමුත් තවමත් කුලී නිවසක ජීවත් වන ඉන්ද්‍රකාන්තිගේ හීන අතරේ සුන්දර නිවහනක ගෙපැල කපන්නටත් හීන තිබෙන්නට ඇත.

ඉන්ද්‍රකාන්තිගේ සේවා කාලය අවසන් වී ලංකාවට එන්නට සුදුසු කාලය උදාවිය. ඉන්ද්‍රකාන්ති පවසන අන්දමට අවසන් මාස තුනක කාලයක සිට ඇයට නියමිත වැටුපද හිමි වී නැත. මවගෙන් මුදල් ලංකාවට නොලැබීමත් සමඟ පුංචි දරුපැටවු තවත් අන්ත අසරණ වූහ. දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටි ඉන්ද්‍රකාන්තිගේ පවුලට කාන්තියක් උදානොවීය. ලංකාවට එන්නට, තම දරුපැටවුන් තුරුල් කරගන්නට හීන ඇහිරූ ඉන්ද්‍රකාන්තිගේ බලාපොරොත්තුව බිඳ වැටිණි. ඉන්ද්‍රකාන්ති පවසන අන්දමට කිසිවකුටත් සිතාගත නොහැකි යෝජනාවක් ඉන්ද්‍රකාන්තිගේ හාම්පුතුන්ගෙන් ඉන්ද්‍රකාන්තිට එල්ල වී තිබුණි. ඇය හඬා වැටුණාය. තම දරුපැටවු තුන්දෙනාගේ කටහඬ අසමින් ජංගම දුරකතනයේ කුඩා තිරයෙන් දරුවන් දෙස බලාගෙන ඉන්ද්‍රකාන්ති හඬා වැළපුණාය.

මට මේ අය ලංකාවට යන්න දෙන්නේ නෑ. ඒ අය මට කියනව මගේ වකුගඩුවක් දෙන්න කියලා. ඒ වෙනුවෙන් මට රියාල් 5000ක් දෙන්නම්ලු. මට ලංකාවට යන්න එපාත් කියනවා. ඒ අය එහේ කෙනෙක් මට බන්දලා දෙන්නම්ලු. අනේ මට මෙහේ නවතින්න බෑ. මට එහෙම වකුගඩුවක් දෙන්න බෑ. මං කොහොමද මගේ දරුපැටවු නැතිව මෙහේ ජීවත් වෙන්නේ. මට මගේ දරුවෝ ඕනෑ...

ඇය හඬා වැළපුණාය.

දාරියා ප්‍රදේශයේ එක්තරා නිවසක ගෘහ සේවිකාවක් ලෙසින් ජීවත් වූ ඉන්ද්‍රකාන්තිගේ දරුවෝ තම මව එනතුරු බලා සිටිති. අද ඔවුහු තම මිත්තණියගේ නිවසේ ජීවත් වෙති. අද ඒ දරුවන්ගේ පාසල් ගමනද අතරමඟ නතර වී ඇත. අද අම්මා නැති සොවින් ඉන්න ඒ දරුවන්ට බඩගින්නක්ද දැනෙන්නේ නැත. බඩගින්නට වඩා හිතේ ගින්දර දැඩිය.

දාරිය ප්‍රදේශය පිහිටා ඇත්තේ සෞදියේ රියාද් නුවර සිට කිලෝමීටර් 400ක පමණ දුරිනි. මේ අනුව මෙම පුවත තිස්හය හැවිරිදි ඉන්ද්‍රකාන්ති තම දරුවන්ට දුරකතනය ඔස්සේ දැනුම් දීමත් සමඟ ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සොයා බැලීමක් කර තිබිණි. කඩිනමින් මේ පිළිබඳව සොයා බැලීමක් කළ දාරියා ප්‍රදේශය භාර පොලීසිය හා සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳව විමර්ශනය කළේය.

මේ අතර ඉන්ද්‍රකාන්ති විදේශගත වීමේදී කාර්යාංශයට ලබාදී ඇති තොරතුරුවල යම් පරස්පර නොගැලපීම් ඇති බවද සනාථ වෙමින් පවතී.

වාර දෙකකදී ඇය විදෙස්ගත වී ඇති අතර ඒ දෙවාරයේදීම ඇය තම සැමියාගේ නම වශයෙන් සඳහන් කර ඇත්තේ දෙදෙනකුගේ නම්ය. එමෙන්ම මෙම වාර දෙකේදීම ඇය සඳහන් කර ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවද මේ වන විට සොයාගෙන ඇත.

සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාව දැනුම්වත් කිරීමෙන් පසුව මේ සම්බන්ධ සොයා බැලීමක් කෙරිණි.
මේ අතර මේ සම්බන්ධව විදේශ සේවා ඇමැතිනී තලතා අතුකෝරළ ඇමතිනියගෙන් අප කළ විමසුමේදී අතුකෝරළ ඇමැතිනි දේශයට මෙසේ අදහස් දැක්වූවාය.

ඒ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක්. සම්පූර්ණයෙන්ම මම ඒ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරනවා. ඇයගේ කාලය අවසන්වෙලා ලංකාවට ඒමට නියමිතවයි ඇය හිටියේ. ඒ කාලය තුළ තමයි පොඩි සැකයක් ඇතිවෙලා බොරු මවාපෑමක් කිරීමට තමයි මේ වගේ කටයුත්තක් වෙලා තියෙන්නේ. ඒ වැඩකරපු නිවසේ වකුගඩු රෝගියෙක් ඉන්න බව ඇත්ත. නමුත් එහෙම වකුගඩුවක් ගැනීමට කිසිම උත්සාහයක් දරා නෑ. මේ වන විට ඒ කාන්තාව සෞදි අරාබියෙහිම පොලීසියට ගෙනත් අපේ තානාපති කාර්යාලය බාරවයි ඉන්නේ.

ඒ වගේම ඒ වැඩ කරන ගෙදර ස්වාමියාවත් ගෙනල්ලා කටඋත්තරයක් සඳහන් කරගෙන තියෙනවා. ඒ සම්බන්ධව එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අද හෝ හෙට ගුවන් යානයක් ලැබුණු ගමන් ඇය ලංකාවට එනවා...
මෙම අසත්‍ය චෝදනාව මත ඉන්ද්‍රකාන්තිට නඩු පැවරීමට එරට නිලධාරීන් සූදානම් වුවද තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඇයට සමාව ලැබුණි. එමෙන්ම මාසයක වැඩිපුර වැටුපක් ද ඇයට ලබා දී ඇත. 

 දිශානි ජයමාලි කරුණාරත්න