2017 මැයි 27 වන සෙනසුරාදා

අැඹිලිපිටියේ සුපිරි ටොයිලට් එක

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

හැමදාමත් පාඨක ඔබට විවිධ ලිපි ලියන අතරේ අද අප ලියන්න යන්නේ ලංකාවේ ඇති මහජන වැසිකිළියක් පිළිබඳවයි. චී..චී..මොකද්ද මේ ලිපිය කියා ඔබට එකවරම හිතෙන්න ඇති. ඔව් ඔබට එසේ සිතීම සාධාරණය. ඇයි ඉතින් ලංකාවේ සෑම නගරයක් පාසාම පාහේ ඇති මහජන වැසිකිළිවල තත්ත්වය කුමක්ද කියන්න ඔබ හොඳින්ම දන්න නිසාය. ලංකාවේ පවතින මහජන වැසිකිළිවල තත්ත්වය කෙසේද කිවහොත් වැසිකිළියට යාම තියා ඒ අසලින්වත් නහයක් ඇති අයකුට නම් යා නොහැකිය. ඒ තරමටම අපිරිසිදු ස්ථානයක් බවට මහජන වැසිකිළි පත්ව තිබේ. 

ප්‍රාදේශීය සභා හෝ නගර සභා යටතේ බොහෝ මහජන වැසිකිළි පවතින අතර බොහෝ වැසිකිළි ටෙන්ඩර් දමා කිසිවකු හට ලබාදීම සිදුකරනු ලැබුවද ඒවා කිසිවකුත් නඩත්තු කරන බවක් නම් දක්නට නොමැත. කොතරම් දුරට නඩත්තු නොකළත් මුදල් අයකිරීමේ නම් කිසිදු අඩුවක් නොමැති බව පැහැදිලිය.

මේ සියල්ල අතරේ අද අප ඔබට කියන්නට යන මේ මහජන වැසිකිළිය නම් තියෙන්නේ ලංකාවෙමද කියා දෙපාරක් සිතා බලන්න වටී. ඒ තරමටම මේ මහජන වැසිකිළිය වෙනස්ය. මීට පෙර ලංකාවේ කොහෙවත් ඔබද මෙවැනි මහජන වැසිකිළියක් දැක නැති බවද අපට විශ්වාසය. මේ මහජන වැසිකිළිය පිළිබඳව ඔබට ලියන්නේ ඒ හේතුවෙනි. මේ මහජන වැසිකිළිය තියෙන්නේ කොහෙද කියා පැවැසීමට කළින් එහි ගිය අයකු පවසන මේ විස්තරය සඳහන් කළ යුතුය.

මම ආර්.කේ. ජයවර්ධන. ආවේ ඌරුබොක්කේ ඉඳලා. මහජන වැසිකිළිය තියෙන්නේ කොහෙද කියලා බස් නැවතුම්පොළ අවට ඇවිදලා බැලුවා. එක තැනක මහජන වැසිකිළිය කියලා ගහලා ඊතලයක් සමඟ බෝඩ් එකක් දමලා තිබුණා. මම ඒ පැත්තට ගියත් මට හිතුණේ පාර වැරදිලා වැරදි තැනකට යනවා වගෙයි කියලයි. මම ආපහු හැරිලා ටවුමේ තියෙන කඩේකින් ඇහුවා මහජන වැසිකිළිය තියෙන්නේ කොහෙද කියලා. එයා කිව්වා ඔයා දැන් ඔය මඟට ගිහින් හැරිලා ආවේ වැසිකිළියට යන්න ගිහින් තමයි කිව්වා. මම කිව්වා නෑ. ඒ පැත්ත මට නම් දැක්කේ හෝටලයක් වගේ මොකක් හරි කියලයි. නමුත් කඩේ හිටිය කෙනා කිව්වා මේ වැසිකිළිය අනිත් ඒවා වගේ නෙමෙයි. ගිහින් බලන්නකෝ කිව්වා. කතාව ඇත්ත තමයි. එහි ගිය මටත් පුදුම හිතුණා මේ ලංකාවෙද කියලා. මහජන වැසිකිළියක් කිව්වම අඩුම ලේන්සු දෙකකින්වත් නහය වහගෙන අප්පිරියාවෙන් තමයි යා යුත්තේ. නමුත් මේ මහජන වැසිකිළියට ගියාම ඒක දැනෙන්නේ නෑ. මේක හරියට පුංචි හෝටලයක් වගෙයි. ඒ තරම්ම පිරිසිදුයි. ඇත්තටම හොඳයි. යන එන අයගේ ආරක්ෂාව ගැනත් ගමන් මළු පිළිබඳවත් හොඳ ආරක්ෂාවක් තියෙනවා. කවුරු කළත් ඇත්තටම මේක නම් හොඳ දෙයක්. ලංකාවේ අනිත් මහජන වැසිකිළි පවත්වාගෙන යන අයට මේක ඇවිත් බලලා ආදර්ශයට ගන්න කියලා මම ඉල්ලනවා යැයි ඉල්ලනවා. මේ එකී මහජන වැසිකිළියට ගිය අයෙකු කී කතාවයි.

මේ මහජන වැසිකිළිය තියෙන්නේ සබරගමු පළාතේ. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇඹිළිපිටිය නගරයේය. මෙම මහජන වැසිකිළිය අවට පරිසරය ඉතා අලංකාර උද්‍යානයකි. ඊට අමතරව රූපවාහිනී පහසුකම්, ෆෝන් චාජ් කරගැනීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් මෙහි යන එන අයට සලසා තිබේ. ඊට අමතරව ඇතුළත තිර රෙදි දමා, මල් වැල් එල්ලා, විවිධ විසිතුරු පින්තූර සවිකර පුංචි පුංචි විදුලි බුබුලුවලින් අවටද අලංකාර කර තිබේ. මහජන වැසිකිළියකට සාමාන්‍යයෙන් එන්නේ අතරමග හදිසියකදීය. මේ අවස්ථාවලදී වැසිකිළියකට යන විට තම අත ඇති බඩු මළුත් කර තියාගෙන තමන්ගේ කාර්යය සඳහා යායුතු වෙයි. නමුත් මෙහි ඒ සදහා විශේෂිත ආරක්ෂිත ක්‍රමයක් සකස් කර තිබේ. සෑම විනාඩි 10ට වරක්ම මෙම මහජන වැසිකිළිය පවත්වාගෙන යන අය වැසිකිළි පරීක්ෂා කර බලති. දිනපතා මෙහි බිමට දමා ඇති කාපට් ආදියද සෝදා පිරිසිදු කිරීමට පාලනාධිකාරිය කටයුතු කරයි. සබරගමුව පළාතේ හා රට වටා පැවති තරගවලටද ඉදිරිපත්ව දිස්ත්‍රික්කවලින් ප්‍රථම ස්ථානය, දිවයිනෙන්ම රන් සම්මානයද මෙම මහජන වැසිකිළියට ලැබී තිබේ.

මෙම මහජන වැසිකිළියේ ටෙන්ඩරය ලබාගෙන මේ ආකාරයට පවත්වාගෙන යන්නේ රංජිත් හෙට්ටිආරච්චි මහතායි. ඔහු අපට මෙසේ පැවසීය.

මේ වැසිකිළිය 2004 වසරේ තමයි පළමුවෙන්ම ආරම්භ කළේ. එම අවස්ථාවේ පළමුවෙන්ම ටෙන්ඩරය අපිට තමයි ලැබුණේ. එතැන් පටන් එක දිගට අවුරුදු 07ක් අපි මෙම මහජන වැසිකිළිය විවිධ වෙනස්කම්වලට ලක් කරමින් පවත්වාගෙන ආවා. පසුව එක සැරේම දේශපාලන හේතු නිසා ටෙන්ඩරය අපිට දුන්නේ නැතිව වෙන අයකුට දුන්නා. එයාලත් අවුරුද්දක් දෙකක් වගේ කරගෙන ගියා. කොහොම හරි නැවත 2013දී ටෙන්ඩරය අපිට ලැබුණා. එතැන් සිට අපි මේ දක්වා කරගෙන එනවා. 2013 අපි මෙය නැවත ගන්නකොට මේක අරක්කු කාරයින්ගේ තිත්පොළක් වගෙයි තිබුණේ. පසුව අපි නැවත අවට මිදුල සකස් කරලා මේ තත්ත්වයට ගෙනාවා. අද මෙතනට එන සමහරු රුපියල් 50ක් 100ක් දීලා යන අයත් ඉන්නවා. එන හැමෝම කියන්නේ ලංකාවේ කොහෙවත් මේ වගේ වැසිකිළියක් දැකලා නෑ කියලයි. නිතරම අපි දෙදෙනෙක් මෙහි අධීක්ෂණය කරනවා. සෑම විනාඩි 10ටම වගේ වරක් වැසිකිළි අපි පරීක්ෂා කර සෝදා හරිනවා. මේ අවට මිදුල් පවා සකස් කරලා ලස්සන කරලා තියෙන්නේ අපේ පෞද්ගලික සල්ලි වලිනුයි. මොකද මේක මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් තැනක් ලෙස තිබුණොත් තමයි මිනිස්සු මෙතනට එන්නේ. වැසිකිළියට එන කිසිවකුටත් මෙහි වැසිකිළි තුළ සිට දුම්පානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම්. ඊට අමතරව මෙහි යන එන අයගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ගමන් මළු වෙනුවෙනුත් අපි ආරක්ෂාව සලසනවා. වෙන කියන්න දෙයක් නෑ. ඇඹිළිපිටියෙන් යන එන ගමන් ටිකක් ගොඩවෙලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

ඇඹිළිපිටිය මහජන වැසිකිළියේදී අපට හමුවූ දික්වැල්ල පදිංචි  සරත් කුමාර මහතා මෙසේ පැවසීය.

මම ලංකාව වටේම වගේ ඇවිදලා තියෙනවා. ලංකාවේ කොහෙවත් මේ තරම් පිරිසිදු මේ තරම් පිළිවෙළකට තියෙන මහජන වැසිකිළියක් දැකලා නෑ. ඇත්තටම කිව්වොත් සමහර ගෙවල්වල තියෙන වැසිකිළිවත් පිරිසිදු නෑ. මෙතන හොඳට නඩත්තු කරගෙන යනවා. මමත් මේ වැසිකිළියට මීට පෙර ආව අවස්ථාවේ රැවටිලා හැරිලා ගියා වෙන කොහෙට හරි යනවද කියලා. ඒ තරමටම හොඳට මේක පවත්වාගෙන යනවා. රටේ තියෙන අනිත් මහජන වැසිකිළිත් මේ විදියට වෙන මොනවා නැති වුණත් කමක් නෑ පිරිසිදුවවත් පවත්වාගෙන යනවා නම් කොච්චර හොඳද?

කතාව හා සේයාරෑ - සූරියවැව නුවන් ජයසේකර