2017 මැයි 27 වන සෙනසුරාදා

මඟුල්දා රෑම මනාලියත් අහිමි වී ගුටිත් කන්න වූ මනාලයා

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

තම ජීවිතයේ සුන්දරම දවස වූ තමන්ගේ විවාහය සිදු වූ දිනට පසුදින සිය මනාලිය මෙන්ම ජංගම දුරකථනය, මඟුල් මුද්ද ඇතුළු මුදල් ද අහිමිව ගිය මනමාල මහතකුට සිදු වූ අකරතැබ්බයක් පසුගිය 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයෙන් වාර්තා විය. දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.

කොච්චිකඩේ දළුපොත ප්‍රදේශයේ පදිංචි මෙම පැමිණිලිකාර මනමාල මහත්මාගේ වයස අවුරුදු 25 කි. සමාජයේ කා අතරත් හොඳ නමක් දිනා සිටි ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙමින් ප්‍රදේශයේ සියලු දෙනා අතරත් හොඳ නම දිනා සිටි අයෙකි.

කල්යල් ගතවත්ම විවාහය සඳහා නිසි වයස එළඹී සිටි ඔහුට විවාහ යෝජනාවක් රැගෙනවිත් තිබුණේ සිය මවුපියන් විසින්ය. නිසි වයස එළඹී නැති බාල වයස්කරුවන් පවා තමන්ගේ මවුපියන්ට අකීකරුව හොර රහසේ සිය පෙම්වතියන් සමඟ පළායන යුගයක ඔහු කිසිදු ආදර සම්බන්ධයක් පවා ගොඩනගා නොගත්තේ එම කාර්යය සිය මවුපියන් විසින් නිසි වයස එළඹෙත්ම කරදෙනු ඇතැයි සිතමිනි.

මවුපියන්ගේ කැමැත්ත මත මනමාලියගේ පාර්ශ්වයේ ආශිර්වාදය ද ඇතිව නාරම්මල පොලිස් බලප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සමඟ මොවුන්ගේ සරණ මංගල්‍යය පසුගියදා කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක් තුළ ජයටම කෙරුණි.

ජය සක්හඬ, මංගල අෂ්ඨක හඬ මැද්දේ පෝරු මස්තකාරූඪ වී දෑඟිලි පටලවා ගැමිකුල සිරිතට යුගදිවියට පිවිසි මොවුහු සුන්දර බලාපොරොත්තු රුසක් ද හදගැබ තුළ පුරවාගනිමින් මධුසමය ගත කිරීම සඳහා කොච්චිකඩේ ප්‍රදේශයේම වෙනත් හෝටලයකට ගියහ.

හෙළ කුල සිරිතට අනුව මධුසමය ගත කිරීමට ගිය මොහුට එදින රාත්‍රියේ දී සිදුවූයේ සිහිනයකින්වත් නොපැතූ මහත් අකරතැබ්බයකි. මනාලිය සමඟ ඇතිකරගත් පුංචි ආරවුලක් මනාලිය විසින් එවලේම සිය ජංගම දුරකථනය මගින් සිය ඥාතියකුට දැනුම් දීමෙන් එම සිද්ධියට මුලපිරුණි.

ගතවූයේ පැය කිහිපයක් පමණි. මනාලියගේ පාර්ශ්වයේ 10 – 15 ත් අතර පිරිසක් වෑන් රථයකින් යුවතිපතින් මධුසමය ගත කළ හෝටලයට පැමිණියේ යක්ෂාරූඪ වේශයෙනි.

මිනිත්තු 10ත් 15ත් අතර කාලය තුළ මනමාලියගේ පාර්ශ්වයෙන් පැමිණි මෙම පිරිස මනමාලයාට හොඳටම තඩිබෑවේ ඔහුගේ පාර්ශ්වයෙන් කිසිදු විමසීමක් සිදුනොකරමය. එපමණක් නොව, එදින මංගල පෝරුවේදී මුදු හුවමාරු කරගැනීමේදී මනාලිය විසින් ඔහුට පළඳන ලද රුපියල් 40,000ක් පමණ වටිනා රන් මුදුවද මධුසමය සඳහා පැමිණි හෝටලයේ බිල ගෙවීමට තිබූ රුපියල් 50,000ක් පමණ මුදලක් ද, ඔහුගේ ජංගම දුරකතනය මෙන්ම අලුත ගෙනා මනමාලිය ද රැගෙන ඔවුහු පලා ගියහ.

විනාඩි 15ත් 20ත් අතර සිදුවූ පහරකෑම්වලින් සහ හිරිහැර නිසා ඔහු හොඳටම හෙම්බත් වී සිටියේය. අනතුරුව තම මිතුරකුට මෙම සිදුවීම දැනුම්දුන් ඔහු පළමුවෙන්ම පියනැඟුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටය. අනතුරුව ඔහු මේ පිළිබඳව කොච්චිකඩේ පොලීසියට ගොස් පැමිණිලි කළේය.

පැමිණි පිරිස අතරේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු හඳුනාගත් බවට මනාලයා විසින් පැමිණිලි කර තිබෙන නිසා ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වාගෙන යයි.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත, මීගමුව සහකාර පොලිස් අධිකාරී රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්.කේ. ගුණසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

 හසිත් අංජන