

වසරක කාලයක් තිස්සේ අභිරහසක්ව පැවැති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපුරුම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යංශය පත් කළ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව හමුදාපතිවරයාට ලැබී ඇත. එහෙත් පිපුරුමට ආසන්නම හේතුව තවමත් සොයාගත හැකිව නැත. එම වාර්තාවෙන් හෙළිවී ඇති කරුණු හේතුවෙන් සහ එහිදී ඇතැම් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය නිසා නොසන්සුන්තාවක් නිර්මාණය වෙමින් තිබෙන බවක් වාර්තා වෙයි. එම නිසා අදාළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු හෙළි නොකිරීමට ප්‍රවේශම් වන බවක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමෙන් අනුමාන කරගත හැකි විය. වාර්තාව නිල වශයෙන් ඉදිරිපත්ව නොවුණද වාර්තාව හමුදාපතිවරයාට ලැබී ඇතත් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ එවැනි කිසිදු වාර්තාවක් තවමත් ලැබී නැති බවයි.
අවි ගබඩාව (Sub Ammunition Dump) පුපුරා යාමත් සමඟ පිපුරැමට අනුමාන කරන හේතූන් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ආයුධ ගබඩා කිරීම පිළිබඳ තිබෙන මූලධර්මවලට අනුව ආයුධ ගබඩාව සකස්‌කර නොතිබීම, ආයුධ ගබඩා කර නොතීබීම යන හේතූන් මත එවැනි පිපිරීමක් සිදුවූවා විය හැකිය. එසේ නැතිනම් පීඩනය වැඩිවීමේදී පුපුරා යන උණ්‌ඩ සහ උෂ්ණත්වය වැඩිවීමේදී පුපුරා යන උණ්‌ඩ උෂ්ණත්වය හෝ පීඩනය නිසා පුපුරන්නට ඇත. කුමක් හෝ හේතුවකින් ගින්නක් ඇතිවුවහොත් එය ස්‌වයංක්‍රීයව නිවා දැමෙන ක්‍රමවේදයකුත් නොතිබීම ගින්න පාලනය කළ නොහැකි වීමට හේතුවක් වන්නට ඇතැයි මහාචාර්යවරයා අදහස් දැක්වීය. මහාචාර්යවරයා දැක්වූ අදහස් අනුව ස්වභාවික හේතූන් මත අවි ගබඩාව පුපුරන්නට ඇතැයි සිතන්නට සිදුවිය. නමුත් පරීක්ෂණ වාර්තාවට අනුව එම පිපුරුම වෙනත් හේතූන් බලපෑ බව හෙළි වී ඇත. පිපුරුම සිදුවී දින දෙකක් පමණ ගතවෙද්දි ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ මෙම ගිනිගැනීම පෙරහුරුවකදී හෝ පරීක්ෂාවකදී ඇති වූ ගින්නකින් මුලු අවි ගබඩාවම පුපුරා යන්නට ඇතැයි තමා අනුමාන කරන බවකි. එදා සිට අද දක්වා රහසක්ව පවතින අවිගබඩා පිපුරුම සිදුවීමට විවිධ හේතූන් බලපාන්නට ඇත.
කොස්ගම යුදහමුදා අවි ගබඩාව ස්ථාපිතකර ඇත්තේ 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේදීය. ජනාකීර්ණ එම ප්‍රදේශයේ මෙවැනි උණ්ඩ ගබඩාවක් ස්ථාපිත කිරීම කිසිසේත්ම නුසුදු කාරණයක් වන අතර ප්‍රදේශවාසින් එකල ද උද්ඝෝෂණ කර ඇත්තේ එම ස්ථානයේ අවි ගබඩාව ස්ථාපිත නොකරන ලෙස ඉල්ලමිනි. එහෙත් පැවැති යුදමය තත්වය යටතේ අවිගබඩාව එම ස්ථානය පිහිටුවීමට සිදු වුවද යුද්ධය අවසන් වී වසර අටක දහයක කාලයක් දක්වා එම ස්ථානයෙන් ගබඩාව ඉවත් නොකිරීම හමුදා ජ්‍යෙෂ්ඨයන්ගේ නොසැලකිල්ල හා පාලකයන්ගේ නොසැලකිල්ල බව කිව යුතුය. නිසිපරිදි ඉවත් කර වෙනත් ස්ථානයකට ගබඩාව ගෙනගියා නම් මහජනතාවට සිදුවූ පීඩාව වළක්වාගන්නට තිබුණි.
පැවැති යුද්ධයට මුහුණ දීම සඳහා ආනයනය කරන ලද පතොරම් හා උණ්ඩ විශාල ප‍්‍රමාණයක් ඉතිරිව තිබූ අතර ඉන් ඇතැම් ඒවා අප වැනි කුඩා රටක ගබඩා කිරීමට සුදුසු ස්ථානයක් නැති බැවින් ඇමරිකානු ඩොලර් මිලියන 150කට ප‍්‍රතිඅලෙවිය සඳහා තීරණය වී තිබිණි. එය මිලදී ගැනීමට නොරින්කෝ නම් චීන සමාගමක් කැමැත්ත දක්වා තිබුණි. එසේ තිබියදී හදිසියේ මෙම උණ්ඩ ගබඩාව ගිනි ගැනීම සැකයට බඳුන් වෙන කරුණකි. පුපුරා යනවිට එහි පතරොම් ටොන් 9000ක් තිබී ඇත.
මෙම අවි ගබඩාව කාලයක සිට නිසි නඩත්තුවකින් හා අධීක්‍ෂණයකින් තොරව පවත්වාගෙන ගොස් ඇත. මෙම අවි ගබඩාව සියයට සියයක්‌ම භූගත එකක් නොවුණු අතර මෝටාර් උණ්‌ඩ ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් එහි තැන්පත් කර තිබුණේ පොළොව මතුපිට ඉදිකර තිබූ ගොඩනැඟිලිවලය. පුපුරන ද්‍රව්‍ය එසේ පොළොව මතුපිට ගබඩා කිරීම අනතුරක් සිදුවීමෙන් සිදුවන හානිය අධිකය. අධි බලැති මෙවැනි පුපරන ද්‍රව්‍ය සහිත අවි ගබඩාවක සියලු පුපුරණ ද්‍රව්‍ය සති දෙකකට වරක් හෝ පරීක්ෂා කළ යුතුය. එහෙත් මෙම ගබඩාවේ නිසි පරීක්ෂණයක් සිදුකර නැති බැවින් වසර දහයක් පමණ පැරැණි රසායනික ද්‍රව්‍ය විවිධ වෙනස්කම් හා ප්‍රතික්‍රියාවන්ට ලක්වන්නට ඇත. උණ්ඩ හා පුපරණ ද්‍රව්‍යවල තෙතමනය ආරක්ෂා කිරීමට ඇසුරුම් තුළ සිලිකා ජෙලි පැකට් දමන අතර එම ජෙලි වර්ගය කාලයත් සමඟ කල් ඉකුත් වේ. කල් ඉකුත්වීමෙන් පසු උෂ්ණත්වය ඉහළ ගොස් වුවද දැඩි අවදානම් තත්වයක් ඇති විය හැකිය. මෙවැනි රසායනික හේතුවක් නිසා ගින්නක් ඇතිවී පුපුරා යන්නට ඇත.
උණ්ඩ ගබඩාව පුපුරණ තුරු ගබඩාවේ රාජකාරි කර තිබුණේ ඒ සඳහා විශේෂ වෙඩි කාර්මික (ATO -Ammunition Technical Officer) පාඨමාලාව හැදෑරු නිලධාරීන් නොවේ. මීට අමතරව උණ්ඩ ගබඩාවල සේවයට යොදවන සාමාන්‍ය සෙබලුන් අනිවාර්යයෙන්ම (AT -Ammunition Technician) යන පාඨමාලව හදාරා තිබිය යුතු වුවද සාලාව ගබඩාවේ එම පුහුණුව ලද නිලධාරීන් සේවයේ නොයදවා පුහුණුව ලද නිලධාරින් වෙනත් සේවයන්ට හමුදා මූලස්ථානය යොමුකර තිබුණි. එම නුපුහුණු නිලධාරීන්ගේ ඇතැම් දුර්වලතාද පිපුරුම වළක්වා ගැනීමට බාධාවන්නට ඇතැයි සිතිය හැකිය.
හමුදාපතිවරයාට පිපිරීම සම්බන්ධ වාර්තාව ලැබීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු දැනට දරන තනතුරුවලින් නිදහස් කර අනිවාර්ය නිවාඩු යැවීමටත් තවත් මේජර්වරයකු ඇතුළු කනිෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකු යුද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දී තිබෙන බව වාර්තා වෙයි. එම වාර්තාවෙන් මෙම සිද්ධියට වගකිව යුතු වරදකරුවන් ලෙස හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකුද නම්කර තිබේ. ඔවුන් මේ වනවිටත් විශ්‍රාම ලබා ඇති හෙයින් ඔවුන් හමුදා නීතියට තවදුරටත් යටත් නොවන නිසා ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනුවට අහිතකර වාර්තාවක් ඇතුළත් කිරීමටත් හමුදාපතිවරයා උපදෙස් දී ඇත. මීට අමතරව ගින්න නිවා දැමීමට අපොහොසත්වීම නිසා දවසේ කාර්ය භාර නිලධාරීන් තිදෙනෙකුට ද දඬුවම් කරන ලෙසත් නියෝග කර තිබේ.
යම් ප්‍රදේශයක ආරක්ෂාව හා ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ වගකීම එම ප්‍රදේශය බාර ආරක්ෂක මූලස්ථානයේ වගකීම වේ. නමුත් සාලාව අයත්වන පනාගොඩ මූලස්ථානය සාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග නිකුත් කර නැති බවත් එම මූලස්ථානයේ ආඥාපතිවරයා කිසි දිනෙක එහි පැමිණී නැති බවත් පැවසේ. ඔහු පැමිණියා නම් ඔහුගේ දැනුම භාවිතයෙන් ගබඩාවේ අඩුපාඩු අවම කරගැන්නට තිබුණි. එසේ තිබියදීත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් හමුදාපතිවරයා නොගත්තේ ඔහු හමුදාපතිවරයාගේ සමීපතමයෙක් නිසා යැයිද විවේචන එල්ල වෙමින් තිබේ. එමෙන්ම ගබඩාවේ පතොරොම් ඉවත් කිරීම, පරීක්ෂා කිරීම, තැනින් තැනට සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම භාරවන්නේ හමුදා මූලස්ථාන ක්‍රියාන්විත මණ්ඩලයට වුවද හමුදාපතිවරයා ඔවුන් වරදකරැවන් කර දඬුවමට ලක් නොකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.


යුද්ධය අවසන් වීමෙන් පසු නැවත තවත් යුද්ධයකට සූදානම් වීම සඳහා මිලිටරිකරණයට වඩා සිවිල් කටයුතු ආරක්ෂිතව හා හානියකින් තොරව පවත්වාගෙන යාම කෙරේ අවධානය යොමු විය යුතුය. එමෙන්ම ජනජීවිතයට බාධාවන ආකාරයෙන් පිහිටන මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් නැවත සිතා බැලීමත් කාලීනව සිදුකළ යුතු කරුණකි.. සාලාව අවිගබඩාව අමතරව වේයන්ගොඩ පිහිටි උප අවිගබඩාව හා අනෙකුත් ගබඩාවන් නිසිපරිදි පරීක්ෂණ කටයුතු පවත්වමින් ජනජීවිතයට හානියක් නොවන අන්දමින් නඩත්තු කරගෙනගෙන යාම හමුදාවේ මෙන්ම රජයේත් වගකීම වේ. සාලව වැනි මහා විනාශයක් නැවත සිදුවී ජීවිත ගණනවක් අහිමි වී කෝටි ගණනාවක දේපළවල විනාශයට පත්වනතුරු බලා නොසිට පූර්ව සූදානමක් තිබීම අමිහිරි අත්දැකීමක් ලද අපට අතිශය වැදගත්ය.
♦ සකීෆ් සාම් තන්වීර