2017 මැයි 13 වන සෙනසුරාදා

ජීවිෙත් ගැන නොතකා ජීවිතයක් බේරාගත් හාමුදුරුවෝ

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

එදා යෝධ ඇළ හෙවත් ජය ගඟේ සැඩපහර වෙනදාටත් වඩා රළුවූයේ ගඟට ඉහළින් වූ ජල පරිමාව උපරිම වී තිබූ හෙයිනි. හසුවන කොළ රොඩු කෝටු බෝටු පමණක් නොව නිරතුරුවම සතුන්ට ඉව අල්ලමින් ගඟේ ඉහළ පහළ යන කිඹුලන් පවා ගසාගෙන යන තරමටම මහා දිය කදම්බයක් ඇළේ දිගේ ගලා ගිය අතර ජල පහරට හසුවන කවරකුට වුවද ගැලවීමක් නම් පෙනෙන්නට නොතිබිණ. එම්.එම්. කරුණාපාල තම නඩය සමඟ දාහය නිවාගැනීමට ගඟට බසින්නේ ඇළේ රුදුරු බව ගැන කිසිදු අවබෝධයකින් තොරවය. 

ගතවූයේ නිමේෂයකි නඩයේ කෑකෝගැසීම් මැද කරුණාපාල රුදුරු ජල පහරේ ගසාගෙන යන්නට විය. ඔහුගේ දිවි ගලවා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවද්දී තම ජීවිතයද පරදුවට තබමින් කිඹුලන් ගහන ජය ගඟට පැන කරුණාපාලගේ ජීවිතය බේරා ගත්තේ බුද්ධ පුත්‍රයෙකි. ඒ වෙහෙරයායේ විමලසාර (20) ශිෂ්‍ය භික්ෂූන් වහන්සේය.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන අසිරිමත් වෙසක් සමයේ බුද්ධ පුත්‍රයකු අතින් සිදුකෙරුණු වීර ක්‍රියාවක් සම්බන්ධයෙන් අපට අසන්නට ලැබුණේ සමස්ත භික්ෂු පරපුරේම ගෞරවය තවදුරටත් ඉහළ නංවමිනි. 
පසුගියදා වෙසක් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී කුල දරැවන් 300ක් සසුන්ගත කිරීමේ පින්කම් උත්සවයක් පැවතිණි. ඒ සඳහා වැලිමඩ සොරණාතොට, බඩල්කුඹුර ප්‍රදේශවල දරුවන් කිහිපදෙනෙකුද පැවිදි දිවියට ඇතුළත් වන්නට නියමිතව තිබූ හෙයින් 40ක පමණ වූ පිරිසක් මේ පූණ්‍ය කටයුත්ත සඳහා අනුරාධපුරයට එන්න පිටත් වූ අතර ඔවුන්ට එම පුණ්‍ය කටයුත්ත සාර්ථකව නිමකර ගැනීමටද හැකියාව ලැබිණි. අනතුරුව ඔවුන් ලහි ලහියේ සූදානම් වූයේ නැවත නිවෙස කරා පිටත් වීමටය. එහෙත් දහවල් කාලයේදී නැගුණු දාහයෙන් විඩාපත්ව සිටි මේ පිරිසට නිවෙස් කරා යෑම මඳකට පමාකර තලාව යෝධ ඇළ ළඟ නැවතුණේ  සිහිල් දිය පොදකින් ගත සනහා ගන්නටය. ප්‍රදේශවාසයකුගෙන් නාන්නට සුදුසු තැනක් අසා ඇළට බැස්සද සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. මෙතැන් සිට අපි විමලසාර හිමියන්ගේ හඬට කන් දෙමු.

“වෙසක් උදාවත් එක්ක අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී කුල දරුවන් 300ක් පැවිදි කිරීමේ උත්සවයක් තිබුණා. සොරණාතොට ධර්මාලංකාර පිරිවෙනේ කුල දරුවන් හයදෙනකුද එහිදී පැවිදි කරන්නට සූදානම් කර තිබුණා. ඉතින් ප්‍රදේශවාසීන් සමඟ මා ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනකුටද ආරාධනා කර තිබුණා. ඒ අනුව තමයි මම මේ ගමනට සහභාගී වුණේ.

උත්සවය ඉවරවෙලා ආපසු බදුල්ලට එන අතරමගදී අධික රස්නය හා තෙහෙට්ටුව නිසා අප සමඟ පැමිණි පිරිස තලාව ජය ගඟේ දිය නෑමට තෝරාගත්තා. ඉන්පසු ප්‍රදේශවාසියකු ගෙන් දිය නෑමට සුදුසු ස්ථානයක් අහලා එම පුද්ගලයා කියපු තැනින් තමයි හැමෝම දියට බැස්සේ. මේ වෙද්දී වෙලාව හවස 3.30ට විතර ඇති. අපේ කට්ටියගේ කිහිපදෙනෙක්ම වතුරේ හිටියා. මමත් තව අයියා කෙනෙක් එක්ක කතාකර කර ජය ගඟ පැත්තට එමිනුයි හිටියේ.

මේ එන අතරෙහි මම දැක්කා ජය ගඟ මැදහරියේ පුද්ගලයකුගේ හිසේ කෙස් පමණක් පෙනෙන ආකාරයට පුද්ගලයෙකු ගිලෙමින් සිටින බව. ජය ගඟ අසල සිටි අපේ නඩේ පිරිසක් ඒ සමඟම කෑ ගසන්නට පටන්ගත්තා. ඒ මොහොතේ සිටි කරුණාපාල මාමා තමයි මේ දියේ ගිලෙන්නේ කියලා. හැමෝම කෑ ගැහුවට මාමව බේරගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. ඒ හැමෝම ගොඩක් බයවෙලයි හිටියේ. අනෙක් එක මම හිතන විදිහට ඒ අයට පීනන්න හැකියාවක් තිබුණේ නෑ.
කරුණාපාල මාමා ඇළ මැද ජීවිතයත් මරණයත් අතර කරන සටන මට බලාගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අනික් එක වෙන කිසිම දෙයක් හිත හිතා ඉන්නත් මට වෙලාවක් තිබුණෙත් නෑ. ඇඳගෙන හිටිය අඳනය පිටින්ම මම ඒ වතුරට පැන්නා. මම දැනගෙන හිටියා මේ වතුරේ කිඹුල්ලුත් ඉන්නවා කියලා. ඒත් මම ඇළේ පීනලා ගිහින් කරුණාපාල මාමාගෙ කොණ්ඩෙන් අල්ලාගෙන ඔහු ඉස්සුවා. ඔහුට ඒ වනවිටත් සිහිය තිබුණේ නෑ. වතුර පෙවිලා තිබුණේ. මම හිටිය තැන ගඟේ ගැඹුර අඩි 12කට වැඩි ඇති. යටින් වේගයෙන් ජලය ගලාගෙන යනවා. කොයිතරම් අමාරු වුණත් මම කරැණාපාල මාමව අතහැරියෙ නෑ. ඔහුව තදින් අල්ලාගෙන ඇදගෙන පීනාගෙන ගොඩට ආවා. ඇත්තටම මට මේ වෙලාවෙ තිබුණෙ ජීවිතයක් බේරාගන්නවා කියන අරමුණ විතරයි. මම ඒක කළා.

ගොඩට ගත්ත මාමට වහාම ප්‍රතිකාර ලබාදුන්නා. ලබාදුන් ප්‍රථමාධාර නිසා පෙවී තිබූ ජලය ඉවත් වුණා. ඊට ටික වෙලාවකට පස්සේ ඔහුට සිහිය ආවා. ජීවිතය බේරගත්තට මාමා මට ගොඩක් පිං දුන්නා. ඇළ මැදදී මටත් ජලය පෙවුණා. නමුත් මම ඒක එතරම් ගණන් ගත්තෙ නෑ. මම මේ වගේ සිද්ධියකට මුහුණ දුන්නේ ජීවිතේ පළමු වතාවටයි. ඒක මට හීනයක් වගේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හාලිඇළ ලන්දේවෙල උඩකොහොවිල ශ්‍රී බෝධි රාජාරාම විහාරස්ථානයේ වැඩවසන වෙහෙරයායේ විමසසාර හිමියන් අධ්‍යාපනය ලබන්නේ බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙනෙහිය. වැල්ලවාය වෙහෙරයාය ගම්පියසේ හැදී වැඩුණු විමලසාර හිමියන් එවක පිහිනීමට දක්ෂයකු වූ අතර උන්වහන්සේ මහණ දිවියට ඇතුළු වූයේ මීට වසර 9කට පෙර සොරණාතොට කිරිඔරුව විහාරස්ථානයේදීය. විමලසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නකි.

“මගේ අම්මා මේ ළඟදී මගෙ වෙලාව බලලා තිබුණා. වෙලාවට අනුව ගංඟා, ඇළ දොළ, වැව්වලට බැසීම අනතුරුදායකයි කියලා මට වතුරට බහින්නවත් එපා කියලයි කිව්වේ. මේ ගමන එන්න දවස් දෙකකට කළින් කෝල් කළාමත් අම්මා මට කිව්වා පොඩි හාමුදුරුවනේ වැව්, ගංඟාවලට බැහැලා නාන්නනම් එපා කියලා. නමුත් අපි බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ මහඟු පුණ්‍යකර්මයේ බලමහිමයෙන් අපේ කණ්ඩායමේ කෙනකුට වෙන්න ගිය මහා විනාශයක් වළකා ගන්නට හැකිවුණා.
ප්‍රජාව අසීරුතාවයන්ට පත්වන බොහෝ අවස්ථාවලදී නිර්භයව නැඟී සිටින්න අතර අපේ භික්ෂූන් වහන්සේලාද සිටින්නේ ඉදිරියෙන්මය. එවැනි සිදුවීම් සමූහයකටම අතීතය සාක්ෂි දරන අතර ‍මෙයට වසර කිහිපයකට එපිටදී කොටි ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසා දමා ජනතාව අසීරුතාවයට පත්කළ අවස්ථාවේදී එයින් ජනතාව බේරාගන්නටද මූලික වූයේ අපේ කාලයේ භික්ෂූන්වහන්සේලාය. තම ජීවිතය ගැන පවා නොසිතා කිඹුලන් ගහන සැඩ ජල පහරට පැන අහිංසක ගැමියෙකුගේ ජීවිතය බේරාගනිමින් විමලසාර හිමියන් විසින් කළ සත්ක්‍රියාව සැබවින්ම වීර ක්‍රියාවකි.

කතාව හා සේයරූ - ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ හේමමාලා කුමාරි රාජකරුණා