
ශ්‍රී ලංකා මහ බැංකුවේ 67 වැනි වාර්ෂික වාර්තාව එහි මුදල් මණ්ඩලය විසින් පසුගියදා මුදල් ඇමැති වෙත ඉදිරිපත් කරනු ලැබිණ. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ වඩාත් වැදගත් වන්නේ රටේ ආර්ථිකය පිළිබඳ නිරීක්ෂණ, දත්ත හා සංඛ්‍යා ලේඛන ඇතුළත් 1 වැනි කොටසය. එය රටේ ආර්ථික තත්ත්වය දැක්වෙන හරස්කඩක් ලෙස විග්රහ කළ හැකිය. 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව ප්‍රධාන වශයෙන් දැක්විය හැක්කේ රටේ ආර්ථික කාර්ය සාධනය තීරණය කරන දළ දේශීය නිෂ්පාදිතයේ සිදුවන වාර්ෂික වර්ධනය පසුගිය වසරවල් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බවය. 2014 වසරේදී 5.8ක ප්‍රතිශතයක් වූ ආර්ථික වර්ධන වේගය 2015 දී 4.8 දක්වා පහත වැටුණු අතර 2016 දී 4.4 දක්වා තවදුරටත් පහත ගොස් ඇති බව වාර්ෂික වාර්තාව අනුව පෙනී යයි.
මෙලෙස රටේ ආර්ථික වර්ධන වේගය වසරින් වසර පහත වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව හේතු ඉදිරිපත් කරන්නේ මෙසේය.
“අයහපත් කාලගුණික තත්ත්වයෙහි බලපෑම සහ ගෝලීය ආර්ථිකය සෙමෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් පෙර වසරේදී වාර්තා කරන ලද සියයට 4.8ක මූර්ත ආර්ථික වර්ධනය හා සැසඳීමේදී සියයට 4.4ක මන්දගාමී වර්ධනයක් වාර්තා කළද දැඩි රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම මධ්‍යයේ පවා වසරේ දෙවන කාර්තුවේ සිට ක්‍රමයෙන් ශක්තිමත් වන කාර්තුමය ආර්ථික වර්ධනයක් දක්නට ලැබුණි.
මහ බැංකු වාර්තාවෙන් අවධාරණය කරනුයේ රටේ ආර්ථික වර්ධනය පහත වැටීමට ගෝලීය ආර්ථික තත්ත්වය හා අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති බවය. එසේ වුවද ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙම පහළ යාමට කෘෂිකර්ම අංශයේ දුර්වල වීම ප්‍රධාන වශයෙන් බලපෑ බවය. කෘෂිකාර්මික ක්ෂේත්රය 2016 වසරේදී සියයට 4.2කින් පහත වැටුණු අතර එය දළ දේශීය නිෂ්පාදනයට දුන් දායකත්වය සියයට 7.1ක් විය. මෙයට හේතු වූයේ නියඟ නිසා වගා කටයුතු දුර්වල වීම මෙන්ම ජල විදුලි උත්පාදනය පහත වැටීම බවද කිව යුතුය. එපමණක් නොව රටේ පැවති අස්ථාවර දේශපාලන තත්ත්වය හා අපනයනවලට අහිතකර ලෙස බලපෑම් සිදුවීමද ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑවේය. ගොවියාට දුන් පොහොර සහනාධාරයට බලපෑම් එල්ල වූ අතර, පොහොර ආනයනය නවතා දැමීම නිසා කෘෂිකර්මයට සිදුවූ අහිතකර තත්ත්වය විශාල විය.
2015 වසරේදී සියයට 121.2ක් වූ කෘෂිකාර්මික නිෂ්පාදන වේගය 2016 දී 116.9 දක්වා සියයට 3.5කින් පහත වැටුණු අතර කෘෂිකාර්මික භෝග 117.8 සිට 11.9 දක්වා සියයට 5කින්ද වී වගාව 128.9 සිට 118.2 දක්වා විශාල වශයෙන් සියයට 8.3කින් ද පහළ වැටීම සුළු කොට තැකිය හැකි නොවේ.
දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26.5ක් වූ සමස්ත නිෂ්පාදනය 2016 දී 33.2 දක්වා 6.7කින් වර්ධනය වීමද මහ බැංකු වාර්තාවේ දැක්වෙන නමුත් එලෙස වර්ධනය වී ඇත්තේ නිෂ්පාදනය පුළුල් කිරීමෙන් නොව ඉදිකිරීම් සහ පතල් කර්මාන්තයේ සිදුකළ වර්ධනයන් නිසාය.
උද්ධමනය තනි ඉලක්කමකින් තබා ගැනීමේ අභිලාෂය දිගටම එලෙස රඳවා ගත හැකිදැයි සැක පහළ වන්නේ 2016 පළමු කාර්තුව තුළ අඩුම මට්ටමක පැවති උද්ධමනය, ක්‍රමයෙන් ඉහළ ගොස් වසර අවසානය වන විට සාමාන්‍ය උද්ධමනය සියයට 4 දක්වා ඉහළ යාම නිසාය. එසේම මෙම උද්ධමනය ඉහළ නැගීමේ වේගය 2017 වසර තුළදී තීව්ර වී මේ වන විට සියයට 6ක මට්ටමට පැමිණ තිබේ. මෙයට හේතුව භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම සහ ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීම සඳහා අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට කටයුතු කිරීමය.
“2017 පළමු කාර්තුව තුළ ඉහළ උද්ධමනයක් ඇතිවීම සඳහා කාලගුණික හේතු නිසා ඇති වූ අවහිරතාවල අයහපත් බලපෑම, රජයේ බදු සංශෝධන හා ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතු වුවද මූලික උද්ධමනය ඉහළ මට්ටමක පැවතීම තුළින් ආර්ථිකයේ ඉහළ යමින් පැවති ඉල්ලුම් පීඩනය පිළිඹිබු විය. දේශීය ආර්ථිකයෙහි ඇතැම් අංශ වෙතින් ආනයනය සඳහා වූ ඉල්ලුම ඉහළ යාම, සීමිත දේශීය භාණ්ඩ සඳහා වන විදේශීය ඉල්ලුම දුර්වල මට්ටමක පැවතීම, විදේශීය රජු ආයෝජන ප්‍රවාහ ආකර්ශනය කර ගැනීමට දිගින් දිගටම නොහැකි වීම මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය සුරුකුම් පත් වෙළෙඳපොළ මත බලපෑම් ඇති කිරීමට හේතු වූ විදේශ පොලී අනුපාතික ඉහළ යාමේ බලපෑම විදේශ අංශයෙහි ගිණුම්වල විචලනයන් තුළින් පෙන්නුම් කළේය.”
(මහ බැංකු වාර්තාව - 1 පිට)
කෘෂිකර්මාන්තය හා වන වගාව මෙන්ම ධීවර කර්මාන්ත ආශ්රිත ක්‍රියාකාරකම්වල එකතු කළ අගය 2015 වසරේදී වාර්තා කළ සියයට 4.8ට සාපේක්ෂව 2016 දී සියයට 4.2කින් අඩු වූ බව මහ බැංකු වාර්තාව කියයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදනයට මෙම අංශයේ දායකත්වය 2015 පැවති සියයට 7.8 හා සැසඳීමේදී 2016 දී සියයට 7.1 දක්වා 0.7කින් අඩුව තිබේ. වී සියයට 8.3, තේ 11.0, රබර් 10.7, පොල් 1.5 ලෙස මෙම අඩුවීම ගණන් බලා ඇත. 2016 දී මහ කන්නයේ වී නිෂ්පාදනය සියයට 0.9ක සුළු වැඩිවීමක් සිදුවුවද මහ කන්නයේදී නිමැවුම 21.9 ප්‍රතිශතයකින් විශාල ලෙස අඩුවීම නිසා නිෂ්පාදනය පහළ බැස තිබේ. නියං තත්ත්වය, පොහොර හා වල්නාශක භාවිතය අඩුවීමද තේ නිෂ්පාදනය පහළ වැටීමට හේතු ලෙස දක්වා තිබේ.
මහ බැංකු වාර්තාව දක්වා ඇත්තේ 2016 – 2018 කාලය තුළ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර වගා කටයුතුවලට විෂ සහිත රසායන භාවිතය වැළැක්වීම, සාම්ප්‍රදායික වී ප්‍රභේද භාවිතය යළි හඳුන්වා දීමෙන් “හිතකර කෘෂිකර්මාන්තයක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක්, වස විස නැති රටක් යන තේමාව ඔස්සේ මෙම වැඩසටහන දියත් කර තිබේ. තේ කර්මාන්තය ඉහළට ගෙන ඒම සඳහා තේ පර්යේෂණාගාරය මගින් දේශගුණික විපර්යාස හා අනෙකුත් අහිතකර තත්ත්වයන්ට ඔරොත්තු දෙන තේ රිකිලි ප්‍රභේද හඳුන්වා දීමටද 2020 වන විට ජාතික රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200ක් දක්වා ඉහළ නැංවීමටද ඒ තුළින් රබර් වගා කරන ප්‍රදේශ පුළුල් කිරීමටද, රබර් මිල ස්ථායී ලෙස තබාගැනීමේ පරමාර්ථයෙන් අපේ රටද ඇතුළත්ව රබර් නිෂ්පාදනය කරන රටවල විශේෂඥ කමිටුවක්ද පත් කර ඇති බව කියයි.
මෙම පැහැදිලි කිරීම් අනුව පෙනීයන්නේ රටේ කාලගුණික විපර්යාසය නිසා නිෂ්පාදනය පහළ යාමට අමතරව ජාත්‍යන්තර ගෝලීය වාතාවරණයද අපට සැලකිය යුතු ලෙස බලපා ඇති බවය.
2016 වසර තුළ මෙරට සේවා අංශය සියයට 5.3කික් වර්ධනය වූ බව මහ බැංකු වාර්තාවෙන් ප්‍රකාශ වේ. සේවා අංශය දළ දේශීය නිෂ්පාදිතයට සිදුකළ දායකත්වය 56.5ක ප්‍රතිශතයක් තරම් ඉහළ අගයකි. එහෙත් මෙලෙස සේවා අංශයෙන් ඉහළ අගයක් පෙන්වීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට ධනාත්මක වෙනසක් ඇතිවීමට හේතු නොවී ඇති බව රටේ ජීවන බරින් පීඩා විඳින ජනතාව දෙස බැලූ විට පෙනේ. දුරකතන සේවා සහ අන්තර්ජාල පහසුකම් ආදිය ඉහළ යාම සේවා අංශයෙන් ධනාත්මක අගයක් ප්‍රකාශ වීමට බලපෑව නමුත් එය රටේ සමස්ත ආර්ථිකයේ වර්ධනයක් සේ සේ දැකිය නොහැකිය. 2016 වාර්ෂික වාර්තාව අනුව 2016 දී පුද්ගලයන් 100කට ස්ථිර දුරකතන 12ක් ඇති අතර 100කට ජංගම දුරකතන 135.7ක්ද, 100කට අන්තර්ජාල පහසුකම් 23.2ක්ද ඇති බව කියැවේ. මේ අනුව පෙනීයන්නේ රටේ ජනගහනයට වඩා ජංගම දුරකතන ඇති බවය. රටේ ජනගහනයෙන් 1/3ක් පමණ ජංගම දුරකතන එකකට වඩා පරිශීලනය කරන බව පෙනී යයි. මෙම තත්ත්වය පසුගියදා ඇති කළ බදු සංශෝධන අනුව රජයට විශාල බදු ආදායමක් උපයා ගැනීමට සමත් වුවද ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හේතු වී නොමැත. අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත වීමෙන්ද ලැබෙන්නේ ඒ හා සමාන ප්රතිඵලයකි.
2016 වසරේ අපනයන ආදායම පසුගිය වසරට වඩා සියයට 2.2කින් පහත වැටීමද මෙහිදී නොසලකා නොහැරිය හැකි අතර විශේෂයෙන් ප්‍රධානතම අපනයන වන තේ සහ ඇඟවම්වල කඩාවැටීමද බලපා තිබේ. ඇඟළුම් අපනයනය සියයට 1ක් වැනි සුළු ප්‍රමාණයකින් වර්ධනය වනවිට තේ අපනයනය ආදායම සියයට 5.3කින් පහතට ගොස් ඇත. 2016 වසර තුළදී අපේ බලාපොරොත්තුව වූ ජී.එස්.පී. + සහනය ලබාගැනීමට නොහැකි වීම ඇඟළුම් අපනයනය මන්දගාමි වීමට හේතුවූ අතර එම තත්ත්වය මේ වසරේදී එම සහනය ලබාගැනීමෙන් පසු සමනය වේ යැයි අපේක්ෂා කෙරේ.
මැදපෙරදිග රටවලින් මෙරට තේවලට ඇති ඉල්ලුම අඩුවූයේ එම රටවල කාගුණික තත්ත්වය හා දේශපාලන හේතු නිසාය. එසේම කසළ තේ අපනයනය නිසා අපේ රට කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීමටද හේතුවූ බව කිවයුතුය. මේ වසරේ තේ අපනයනය 5.3 ප්‍රතිශතයකින් හා සමස්ත කෘෂි අපනයනය 6.3කින් පහළ ගොස් තිබේ.
සංචාරක කර්මාන්තයේ ආදායම පසුගිය වසරේ සියයට 18ක අතිවිශාල අගයකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ යාම ගැන සුබවාදීව බැලිය යුතුය. ආණ්ඩුවේ යෝජිත සැලසුම් අනුව මෙම වසරේ සංචාරක ආදායම සියයට 10 – 12 අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය වසරේ විදේශවලින් ලැබෙන සේවක ප්‍රේෂණ ආදායම තවදුරටත් සියයට 3.7කින් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2 දක්වා වැඩිවීම නිසා සියයට 79වූ වෙළෙඳ හිඟය අඩුකර ගැනීමට හැකිවීමද අප ලැබූ භාග්‍යයකි.
2105 දී පැවැති සියයට 7.6ක්වූ අයවැය හිඟය 2016 දී සියයට 5.4 දක්වා අඩුකර ගැනීමට හැකිවීම පසුගිය ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් විය. 2020 වනවිට සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5ක් දක්වා පහළ දැමීම ආණ්ඩුවේ උත්සහාය වේ.
රාජ්‍ය ආයතවල අකාර්යක්ෂමතාව නිසා සිදුවන පාඩුව ගැන සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඒත් උදාහරණයක් ලෙස ගැනීමට පුළුවන. 2016 වසරේ එය රුපියල් කෝටි 1320ක් පාඩුවක් ලබා ඇති අතර තාවකාලික මූල්‍ය දත්තවලට අනුව මණ්ඩලය 2015 වසරේදී බදුවලට තාවකාලිකව මූල්‍ය දත්තවලට අනුව මණ්ඩලය 2015 වසරේදී බදුවලට පෙර රුපියල් කෝටි 1940ක ලාභයක් වාර්තා කර තිබීමද අමතක කළ නොහැකිය. ජල විදුලි නිෂ්පාදනය හේතුවෙන් ද්‍රව ඉන්ධන මගින් විදුලි බලය අධිකව නිෂ්පාදනය කිරීම නිසා ද්‍රව ඉන්ධනවලට ගෙවීමට සිදුවීමෙන් මණ්ඩලය දැරූ පිරිවැය රුපියල් කෝටි 5010 දක්වා ඉහළ යාම මෙයට ප්‍රමාණවත් වේ. එය සියයට 116.6ක් බව වාර්තාව කියයි. එසේම එම වර්ෂයේ ගත් ණය සහ ස්ටනින් විදුලිය මිලදී ගැනීමට ගෙවිය යුතු පිරිවැය රුපියල් කෝටි 9170 දක්වා රුපියල් කෝටි 3570කින් ඉහළ ගොස් ඇත. ඒ අතරම 2015 දී සියයට 98.5ක් වූ රටේ විදුලි බල ඉල්ලුම 2016 දී 99.3ක් දක්වා ඉහළ යාමද මෙයට හේතු වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන සීඝ්‍ර නාගරීකරණය සමඟ අපද්‍රව්‍ය කළමනාකරණය වංචාවක් අභියෝගාත්මක වී ඇති අතර මේ සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වයද සහිතව පරිසරයට අවම බලපෑමක් ඇති කරන සහ අඩු පිරිවැයකින් යුතු විසඳුම් හඳුන්වාදීම අවශ්‍යව තිබෙන බවය. මුදල් ප්‍රතිපාදන මෙහෙයුම් ඔස්සේ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කරමින් මෙම ව්‍යුහාත්මක ගැටලු සඳහා පුළුල් මහජන එකඟතාවට අනුව විසඳුම් සෙවිය යුතුබව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
♦ යසවර්ධන රුද්‍රිගු