
ලංකාවේ හා ලෝකයේ සිටින විවිධ පුද්ගලයන් විවිධ දේ සිදුකර ලෝක වාර්තා තැබීම් පිළිබඳව අපට කොතෙකුත් අසන්නට හා දකින්නටද ලැබේ. ඒ අතර ලංකාවේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමු වූ ඉබ්බෙකුත් ලෝක වාර්තාවක් තැබීමට සමත් වූ පුවතක් අපට අසන්නට ලැබුණේ ඉකුත් 30 වැනි දිනය. මීට කළින් ඉබ්බෙක් ලෝක වාර්තාවක් තැබූ බවට අප අසා ඇත්තේ ජනප්‍රවාද කතාවක එන ඉබ්බෙකු හාවෙකුයි තරගෙට දුවලා හාවා පරද්දලා ඉබ්බා ජය ගත්තාය කියන කතාවයි. නමුත් අද අපි ඔබට මේ කියන්නට යන්නේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමු වූ ඉබ්බෙක් තැබු ඇත්ත වාර්තාවක් ගැනය.
පසුගිය 30 වැනි දින වනජීවී නියාමකවරයකු වන රංග විජේරත්න මහතා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේ ඔහුට මෙම තාරකා ඉබ්බා හමුවී තිබේ. මෙම ඉබ්බා දැකීමත් සමඟ රංග මහතාද පුදුමයට පත්ව ඇත්තේ ඔහුගේ රාජකාරි ජිවිතයේ හෝ සාමාන්‍ය ජීවිතයේ කිසිදු දවසක මෙවන් විශාල තාරකා ඉබ්බකු මීට පෙර නොදැක තිබූ නිසාය.
වනෝද්‍යානය තුළින් හමුවූ මෙම විශේෂ ඉබ්බා පිළිබඳව වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු පර්යේෂණ නිලධාරීන්ට දැන්වීමෙන් පසු පසුගිය 06 වන දින වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම තාරකා ඉබ්බා නිරීක්ෂණයට ලක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම තාරකා ඉබ්බා මෙතෙක් ලංකාවෙන් හමු වූ විශාලතම තාරකා ඉබ්බා බවයි. මෙම ඉබ්බාගේ බර කිලෝග්‍රෑම් 14ක් පමණ වන අතර බඩ ප්‍රදේශය නොහොත් යට කොටසේ (carapace) දිග ප්‍රමාණය සෙන්ටි මීටර් 45ක් පමණ බව බවයි සඳහන් වන්නේ. ඉබිකටුවේ දිග සෙන්ටි මීටර් 42ක් වන අතර ඉබිකටුවේ උස සෙන්ටි මිටර් 22ක් වේ. මෙතෙක් ලංකාවෙන් හමු වී ඇති ඉබ්බන් හා සැසඳීමේදී මෙම ඉබ්බා ඊට දෙතුන් ගුණයකින් පමණ විශාල බවයි වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය විජිත පෙරේරා මහතා මෙසේ පැවසීය.
“ලෝකයේ රටවල් දිහා බැලුවම මෙම තාරකා ඉබ්බන් වැඩි වශයෙන් පැතිරී සිටින රටවල් ලෙස සැලකෙන්නේ ලංකාව, ඉන්දියාව හා පකිස්තානයේයි. ඒ අනුව අප කරන ලද නිරීක්ෂයන්ට අනුව මෙතෙක් අපට හමුවී ඇති ඉබ්බන් අතරින් විශාලත්වයෙන් වැඩිම ඉබ්බා ලෙස සැළකෙන්නේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හමු වූ මෙම තාරකා ඉබ්බායි.
ලෝකයේ මෙතෙක් සොයාගෙන තිබෙන ඉබ්බන්ගේ උස, බර හා දිග පළල අනුව මේ ඉබ්බා සංසන්දනය කර බැලුවම විශාල වෙනසක් මේ තාරකා ඉබ්බා තුළ තියෙනවා. මෙතෙක් සොයාගෙන තිබූ ඉබ්බන්ට වඩා දෙගුණයකින් පමණ මෙම සත්ත්වයා විශාලයි. තවදුරටත් අපි මේ වෙනකොට මේ ඉබ්බාගේ දත්ත තොරතුරු අනුව ලෝකයේ පවතින වෙනත් වාර්තා පිළිබඳව සොයමින් සිටිනවා මේ හා සමාන හෝ මීට වඩා වැඩි ලොකු ඉබ්බෙක් ජීවග්‍රහයෙන් සිටිනවද නැද්ද කියලත්. අපි දැනට දන්න දත්ත අනුව නම් ලෝකයේ සිටින විශාලතම තාරකා ඉබ්බා ලෙස තමයි මේ සත්වයා අපි සළකන්නේ.
සම්මත ක්‍රමයට අනුව මේ හමු වූ ඉබ්බා පිරිමි සත්ත්වයෙක්. සාමාන්‍යයෙන් තාරකා ඉබ්බන්ගේ ගැහැනු සතා පිරිමි සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි. නමුත් අපිට හමු වූ මෙම තාරකා ඉබ්බා විශාලත්වයෙන් ලොකුවීම නිසා තවදුරටත් තාරකා ඉබ්බන් පිළිබඳව සොයා බැලිය යුතු වෙනවා, එය විශේෂිත කාරණයක් නිසා. මේ හමු වූ තාරකා ඉබ්බාගේ වයස පිළිබඳව නිසි ස්ථාවරයකට එන්න අමාරුයි. දළ වශයෙන් අපි විශ්වාස කරනවා වයස අවුරුදු 70ක් පමණ මෙම ඉබ්බාට වයස ඇති කියලා. සමහර විට ඊට වඩා වැඩිවෙන්නත් පුළුවන්.
ඇත්තටම මේ සතා අපේ රටට විශාල කීර්තියක් ගෙනත් දෙන්න සමත් වූ සතෙක්. එහෙමයි කියලා මේ සතාට තිබුණු නිදහස අහිමි වුණොත් එය මේ සතාගේ ජීවිතයට බලපාන්න පුළුවන්. හොඳම දේ වෙන්නේ මේ සතා හිටියා වගේ තවදුරටත් එම පරිසරයේ නිදහසේ සිටීමට ඉඩ හැරීම බවයි මගේ නම් මතය වෙන්නේ. මෙම සතා හමුවෙලා තියෙන්නේත් වනජීවී නියාමකවරයකුටමයි. ඒ ලුණුගම්වෙහෙර උද්‍යානයේ හුදකලා වූ නිදහස් පරිසරයක් තුළදියි. ඔහුගේ දැඩි විපරම නිසා හා සැළකිල්ල නිසා තමයි මෙම ඉබ්බා අපිට හමුවෙන්නේ. එහෙම නොවී ඔහු මෙය නිකම්ම ඉබ්බෙක්නේ කියලා අතහැරලා දැම්ම නම් මෙම වාර්තාව තියන්න වෙන්නේ නෑ අපේ රටට.
මෙතැනින් එහාට මෙම සත්ත්වයාගේ ආරක්ෂාව වෙනුවෙනුත් අවශ්‍ය පියවර ගතයුතු වෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ යුතු කම ඉටු කළ යුතුයි. මොකද මේ රටට වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් කීර්තියක් ගෙන ඒමට මෙම සත්ත්වයා හේතු වුණ නිසා.
♦ කතාව හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර