2017 මැයි 06 වන සෙනසුරාදා

ධවල ව්‍යාඝ්‍රයා ක්‍රිකට් පිටියට පනියි

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

ඉන්දියානු ලේඛක අර්වින්ද් අදීගා අපේ පාඨකයන්ට ආගන්තුක හාදයෙක් නොවේ. සිංහලටත් පරිවර්තනය වූ ඔහුගේ ධවල ව්‍යාඝ්‍රයා බූකර් සම්මානයත් ඩැහැගත් හෙයිනි. අදීගා හැඳින්වෙන්නේ ඉන්දියාවේ චාල්ස් ඩිකන්ස් හැටියටය. ඒ ඔහුගේ ධවල ව්‍යාඝ්‍රයා (White Tiger) හෙවත් දිල්ලියේ රියැදුරකු වන බාල්රාම් හල්වා මුහුණපාන ජීවන සිද්ධි සමුදාය පෙළගස්වා ඇති ආකාරය අනුවය. ඒත් දැන් ඔන්න අරවින්ද් හදිසියේම වික්ටෝරියානු යුගයේ නවකතාකරුවකු වන තෝමස් හාර්ඩි බවට පත් වී තිබේ.

ඒ ඔහුගේ තුන්වැනි නවකතාවෙනි. එය, Selection Day මුළුමනින්ම ක්‍රිකට් පිළිබඳ නවකතාවකි. එහි පාත්‍ර වර්ගයා තමන් අවට සුත්තරකාර විච්චූර්ණ ලෝකයේ ගොදුරු බවට පත්ව සිටිති. එයින් නිදහස සොයායන්නට දරිද්‍රතාවයෙන් මිදෙන්නට වාසනාව ගෙනෙනා ලොතරැයි ටිකට්ටුව ලෙස මේ නවකතාවේ ප්‍රධාන චරිතය තෝරාගන්නේ ක්‍රිකට්ය.
ඉන්දියාව ආසියාවේ ක්‍රිකට් පිස්සා බව කිව යුතුද? ක්‍රිකට් පිස්සෙකු බවට පත්වූ ඉන්දියානු පියෙකුගේ සිහින සැබැ කරන්නට බලහත්කාරයෙන් ඇද දමන ලද පුතුන් දෙදෙනකුගේ ස්වාධීනත්වය සඳහා වූ අරගලය අර්වින්ද් මෙහිදී ඔහුට ආවේණික අමු ඉන්දියානු ශෛලිය යොදාගනිමින් අපූරු ලෙස චිත්‍රණය කර තිබේ. 

අර්වින්ද් අදීගා අයත් වන්නේ ඉන්දියාවේ නවරුල්ලේ කතාකාරයන් අතරටය. පෙරළිකාර කතා ප්‍රවෘත්ති සජීවි ඉන්දියානු ශෛලියකින් ඉදිරිපත් කරන්නන් අතරටය. රානා දාස්ගුප්තා, මනු ජෝෂප්, තරුන් තේජ්පාල් ඇතුළු මේ කණ්ඩායමේ සාහිත්‍ය භූමිකාව විස්තර කෙරෙන්නේ ලිබරල්කරණයට ලක්වූ ආර්ථිකය තුළ ක්‍රියාත්මක ඉන්දියානු දාමරික යථාර්ථය නිර්දය ලෙස හෙළිදරව් කරන්නන් ලෙසය. අර්වින්ද්ගේ Selection Day අයත් වන්නේද ඒ නවකතා ගොන්නටමය.
අර්වින්ද් මෙහිදී ඉන්දියාව තුළ මෙන්ම ලෝකය තුළද ජනප්‍රිය මාතෘකාවකට බැස තිබේ. ඒ ක්‍රිකට්ය. ඔහු ඒ ගැන කාලයක් පර්යෙෂණකද යෙදී තිබෙන බව පෙනී යන්නේ එහි විවිධ චරිත සැබෑ ලෝකයේ දකින චරිත හා සමාන වන ආකාරය අනුවය. මේ ගැන කියද්දී අපේ පාඨකයන්ට ෂෙහාන් කරුණාරත්නගේ ක්‍රිකට් නවකතාව චයිනාමන් සිහියට නැගෙනු නිසැකය.

අර්වින්ද්ගේ කතාව දිගහැරෙන්නේ උප්පත්ති කරුමය වූ දරිද්‍රතාවයෙන් මිදි නගරයේ ඉහළ පැලැන්තිය හා ගැලැපෙන්නට තදින් සිතටගත් පියෙකුගේ සිහින ප්‍රාර්ථනා මතය. ඔහු මේ සඳහා දකින එකම ගැලවිජ්ජාව වන්නේ ක්‍රිකට්ය. ලෝකයේ ප්‍රබලම පිතිකරුවා සහ දෙවැනියා ලෙස තමන්ගේ පුතුන් දෙදෙනා ඉදිරියට ගෙන ඒම ඈත දුප්පත් ගම්මානයක වෙසෙන මෝහන් කුමාර්ගේ සිහිනය බවට පත්වෙයි. රාධා සහ මන්ජු පුතුන් දෙදෙනා අතරින් සුබ්‍රමනියම් දෙවියන් හා ඇතිකරගත් මානසික ගිවිසුමට ප්‍රකාරව හොඳම ප්‍රහාරක පිතිකරුවා වන්නට නියමිත රාධාය. කැපිලා පේන හාදයකු නොවන මන්ජු ඔහුට පමණක් දෙවැනිවන ප්‍රබලම පිතිකරුවා බවට පත්වීම මෝහන් කුමාර්ගේ සිහිනයයි.  අසාර්ථක චට්නි වෙළෙන්දෙකු වන මෝහන්ගේ ක්‍රිකට් පිස්සුව අන්තිමේ ඔහුට සිය බිරියද අහිමි කරයි. නගරයේ තරගකාරී ක්‍රිකට් පොරය තුළ ඇති දූෂණ වංචා රැවටිලි, සූදුව මැද්දේ ඔවුන් තිදෙනා කරන අරගලය පරිහාසය අහිමිවයාම, රැවටිල්ල, දුක වේදනාව ඔස්සේ විචිත්‍රනය කර තිබේ.

අර්වින්ද් මේ කෘතිය තුළ ක්‍රිකට් සම්බන්ධ සූදුව මනාව හෙළිදරව් කරයි. ඊළඟට ඉන්දියාවේ නිත්‍යානුකූලව තහනම් වූ සමරිසි හෙවත් සමලිංගික බැඳීම ගැනද මහහඬින් ඉඟිකරයි. සිය පියාගේ වීරයා බවට තමන්ගේ අයියා රාධා පත්වෙද්දී මන්ජුගේ වීරයා වන්නේ අයියාට තරගයක් දීමට සමත් ආකර්ෂණීය පෙනුමක් හිමි ජාවේඩ් නැමැති මුස්ලිම් තරුණයාය. මේ බැඳීම ලිංගික උත්කර්ෂණයක් දක්වාම ප්‍රබෝධමත් වෙයි. ගමේ සිට නගරයට පැමිණ ක්‍රිකට් ලෝකයේ පයගසාගන්නට ඉව අල්ලමින් සිටිනා මේ පිය පුතු සංකීර්ණයට ආධාරයට එන්නේ තවත් මුම්බායි ක්‍රිකට් පිස්සෙකු හා පත්තරකාරයකු වන ටොමී සර් ය. ටොමී සර්ගේ මැදිහත්වීම නිසා පළමු පෙළේ පිතිකරුවන් දෙදෙනාට සිදුවන්නේ සිය සමස්ත අනාගතයම රුපියල් පන්දහසකට කෝටිපති පුතෙකුට උගස් තබන්නටය. ඈත ඉන්දියානු දනිසාර් ගම්මානයේ සිය තනි කුටියේ නිවසේ සිට මුම්බායි ඉහළ මධ්‍යම පන්තියේ සර්වපිත්තල ලෝකයේ පයගසාගන්නට ඔවුන් දරනා අරගලය ඇත්තටම කියවාම බැලිය යුතු අපූරුවකි. 

 සුගත් පී. කුලතුංගආරච්චි