
මේ රෝගය නිසා මම ගොඩක් වේදනා විඳිනවා. දැන් අවුරුදු 2ක් විතර වෙනවා, මේ රෝගය හැදිලා. මුලින්ම වැසිකිළි යද්දි ලේ පිටවුණා. ඊට පස්සෙ මළ මාර්ගයේ කැක්කුමක් ආවා. කකුලුත් රිදෙන්න පටන් ගත්තා. සට්ටම් ප්‍රදේශයේ සැරව ගෙඩි වගේ ඇවිත් ඒවා පුපුරනවා. ඒ දැනෙන වේදනාව දරාගන්න අමාරුයි. ඉඳගෙන ඉන්නත් බෑ. හිටගෙන ඉන්නත් බෑ. නිදාගන්නත් බෑ. ගොඩක් තැන්වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවුණේ නෑ. දැන් කරන ප්‍රතිකාරයත් එක්ක ලොකු සනීපයක් දැනෙනවා.
පාදුක්කේ ගාමිණී මහතා අප සමඟ එලෙස පැවසුවේ අපේ වෙදකමේ වෛද්‍ය ලිපි පෙළට තවත් එක් රෝගයක් සම්බන්ධයෙන් පෙරවදනක් සපයමිනි.
වෛද්‍ය ලිපි පෙළින් රෝග ගණනාවක් ගැන කතා කළද මෙවර අප කතා කරන්නට යන රෝගය වඩාත් සිතට දැනුණේ එවැනි රෝගියකු විඳින වේදනාවත්, ඔහුට ප්‍රතිකාර කරන ආකාරයත් සියැසින්ම දැකගැනීමට හැකියාව ලැබුණු හෙයිනි. ඉසිවරයකු බඳු වෙදැදුරකු අතින් අධික වේදනාවෙන් පෙළෙන රෝගියකුගේ වේදනාව මඳින් මඳ තුරන් වෙද්දී රෝගියාට පමණක් නොව අපටද දැනුණේ ප්‍රබල මානසික සහනයකි. බගන්දර නම් රෝගයෙන් පෙළෙන මෙම රෝගියා හට එම රෝගයටම සුවිශේෂී වූ ප්‍රතිකර්මයක් සිදුකරමින් රෝගියා සුවපත් කිරීමේ කටයුත්තේ නියැලුණේ නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහතායි. ඔහු මෙම රෝගය සම්බන්ධයෙන් අපව දැනුම්වත් කළේ මේ ආකාරයෙනුයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මහා රෝගයක් ලෙස හඳුනාගන්නා බගන්දර රෝගය ගුදය ආශ්‍රිතව හටගන්නා රෝග අවස්ථාවක්. මෙම රෝගය අපට මුලින්ම හඳුනාගන්නට පුළුවන්කම ලැබෙන්නේ ගුදය ආශ්‍රිතව හටගන්නා කුඩා සැරව බිබිලක් වැනි අවස්ථාවකින්. මෙම රෝගී තත්ත්වය ගුද මාර්ගය දක්වා ගමන් කිරීමෙන් පස්සෙ බගන්දර කියන තත්ත්වය හටගන්නවා.
අද සමාජය දිහා බලද්දි බගන්දර පමණක් නොවේ අර්ශස් වැනි රෝගයන් පවා වෛද්‍යවරයාට පැවසීමට රෝගීන් මැලිකමක් දක්වනවා. එහෙත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ගුදය ආශ්‍රිතව හටගන්නා බගන්දර, අර්ශස් ඇතුළු බොහෝ රෝගයන් සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා.
රෝගය හටගන්නේ
ආයුර්වේදයේ සඳහන්ව ඇති ආකාරයට ඇත්තු, අශ්වයෝ වැනි සතුන්ගේ පිට උඩ ගමන් කිරීම මෙම රෝගය හටගැනීම සඳහා බලපායි. ඇත්තු, අශ්වයෝ පිට ගමන් කිරීම බොහෝ කාලයකට පෙර සිදුවූවක් වන අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය සඳහා වැඩිපුරම ගොදුරැ වන්නේ රියැදුරන්ය. වැටීම්, පහර වැදීම් ආදියේදීද, තැල්මක් ඇතිවීම හරහා ද මෙවැනි රෝග ඇතිවේ.
ආහාරමය හේතුද මේ සඳහා බලපාන අතර අච්චාරැ, අබ, විනාකිරි වැනි උෂ්ණාධික ආහාර නිසාද මෙම රෝගය මතුවිය හැක. එවැනි තත්ත්වයන් යටතේ රෝගීන් සුවකර ගැනීමද අපහසු වේ.
වඩාත් සුදුසු වන්නේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයි
බගන්දර රෝගය යනු රෝගියකු හට මහත් අපහසුතාවයක් ඇති කරන රෝගී අවස්ථාවක් බව අප මුලින්ම සඳහන් කළෙමු. මෙම රෝගය සුවකිරීමටද වඩාත් අපහසු වන අතර ඒ සඳහා වෛද්‍යවරයාගේ රෝගියාගේ මෙන්ම භාරකාරයාගේ කැපවීමද අත්‍යවශ්‍යය. සාමාන්‍යයෙන් මෙම රෝගය මූලික අවස්ථාවේම හඳුනාගැනීමේදී පහසුවෙන් සුවකර ගැනීමේ හැකියාව ඇතත් කල්ගතවීමත් සමඟම එවැනි රෝග සුවපත් කිරීමට ආයුර්වේද ක්‍රමයටද අපහසු වනු ඇත.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බගන්දර රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදි සිදුකරන්නේ ශල්‍යකර්මයක් මගින් ගුද මාර්ගය ආශ්‍රිතව යම් කොටසක් කපා ඉවත් කිරීමයි. එසේ නොමැති නම් එම කොටස කැපීමක් හරහා මතුකරගෙන පිරිසුදු කර නැවත මැහුම් දැමීමයි. නමුත් මෙම ප්‍රතිකාර ක්‍රමය හරහා රෝගය ඒ මොහොතේ සුව වුවද පසුකාලීනව නැවත මතුවීමට ඇති ඉඩකඩ වැඩිය. ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය බගන්දර රෝගය සඳහාම සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයක් වන අතර මෙය භාවිත කිරීමේ වාසි ගණනාවක්ම ඇත.
එසේම ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී කිසිදු ආකාරයක කැපීමක් සිදුනොකරන අතර මෙහිදී රෝගය නැවතත් මතුවන්නේ ඉතා කලාතුරකිනි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 4ක් තරම්ය.

රැකියාවට යන අතරේත් ප්‍රතිකාර කළ හැකියි
ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමයේදී නේවාසිකව සිට ප්‍රතිකාර ගැනීමක් අවශ්‍ය නොවන අතර මෙහිදී ක්ෂාර සූත්‍රය (බෙහෙත් කාවැද්දූ නූලක්) මාරුකිරීම සිදුවන්නේ සතියකට වතාවකි. එම නිසා පළමු නූල දැමීමේ මූලික ප්‍රතිකාරය සිදුකරගැනීමෙන් අනතුරුව බාහිරව සිට ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ඇත. රෝගය සුවකරගැනීමට කාලයක් ගතවුවද මෙම ක්‍රමය හරහා රෝගියා නිට්ටාවටම සුවපත් වීම රෝගියාට මහත් සහනයකි.
එසේම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී කැපීම් කෙටීම් සිදුනොකරන හෙයින් ගුද මාර්ගය ආශ්‍රිතව ඇති අනෙකුත් අවයවයන් හට හානිවීමක්ද සිදුනොවේ. එසේම එදිනෙදා දිනචර්යාව ගත කරන ගමන්ම, විශේෂයෙන්ම රැකියාවට යන අතරතුරේදී පවා මෙම ප්‍රතිකාරය සිදුකළ හැකිවීම වඩා වැදගත්ය.

කාන්තාවන්ට විශේෂයි
කාන්තාවන් තම රූපය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන අතර කැපීම් කෙටීම් හරහා කාන්තා සිරුරට ගෙන දෙන්නේ අවලස්සනකි. මෙවැනි රෝගයකින් පෙළෙන කාන්තාවකගේ ගුද මාර්ගයේ ශල්‍යකර්මයක් කිරීමට සිදුවුවහොත් එමගින් ඇගේ සිරුර අවලස්සන වන අතර ක්ෂාර සූත්‍ර ක්‍රමවේදය භාවිත කිරීම හරහා සිරුරේ කැළැලක් හෝ ඉතිරි වන්නේ නැත.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටම සීමාවූවක්
ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය හමුවන්නේ ආයුර්වේදී වෛද්‍ය ක්‍රමයේදී පමණි. මෙහිදී විශේෂිත වූ නූලක් සකසාගෙන ඒ මගින් ප්‍රතිකාර කිරීම සිදුකෙරෙන අතර පළමු අවස්ථාවේදී රෝගියාට යම් වේදනාවක් දරන්නට සිදුවුවද පසුව සතියෙන් සතිය කෙරෙන ප්‍රතිකාර හරහා වේදනාව මඟහැරී යයි. මෙහිදී ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල හරහා පළමුවම ඇතුළත් කරන්නේ සාමාන්‍ය නූලකි. අනතුරුව විශේෂිත වූ ඖෂධ භාවිත කිරීමෙන් සකස් කරන ලද ක්ෂාර සූත්‍රය ඇතුළු කර ගැටගැසීම සිදුකරනු ලැබේ.
ක්ෂාර සූත්‍රය සෑදීම සඳහා විවිධ ඖෂධ වර්ග භාවිත කෙරෙන අතර මේ සඳහා විවිධ ශාකවල කිරි වර්ගද භාවිත කෙරේ. ලංකාවේ අපි බහුලවම කිරි ලබාගැනීම සඳහා භාවිත කරන්නේ දළුක් කියන ශාකයයි. දළුක් ශාකය ඉතාම වටිනා ඖෂධීය ශාකයකි. ඊට අමතරව ඔළිඳ, කරල් හැබ, කෑල වැනි ශාකද මේ සඳහා භාවිත කෙරේ.
මෙම ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමයද වඩාත් පරිස්සමින් හා නිවැරදිව සිදුකළ යුතු ප්‍රතිකාර ක්‍රමයක් වන අතර නිතරම ඒ සඳහා යොමුවිය යුත්තේ පළපුරුදු වෛද්‍යවරයකු වෙතයි. සැබවින්ම ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය සිදුකළ හැක්කේ ඒ සඳහා දක්ෂ පළපුරුදු වෛද්‍යවරයකුට පමණි.

ඝන ආසන භාවිතය නුසුදුසුයි
යතුරුපැදි, පාපැදි ඝන තත්ත්වයෙන් යුත් ආසන ආදියෙහි නිතරම ගැවසීම බගන්දර රෝගය සඳහා නුසුදුසු වේ. මෙවැනි ඝන ආසනවල වැඩි වේලාවක් වාඩි වී සිටීමේදී ගුදය ආශ්‍රිත සෛලවලට රුධිර සැපයීම අඩුවීම මෙම රෝගය සඳහා විශේෂයෙන්ම බලපෑ හැකිය.
ව්‍යායාම වැදගත්
ව්‍යායාමවලින් තොරවීම බගන්දර පමණක් නොව, ශරීරයේ සෑම රෝගයකටම ඉවහල් වන්නකි. මෙම රෝගයෙන් මිඳෙන්නට නම් අපගේ චර්යාවන් වෙනස් කළ යුතු වේ.
සෙලියුලෝස් පදාර්ථ සහිත ආහාර නිතරම තෝරාගන්න
වැටකොළු, පතෝල, කොහිල අල, කොහිල දලු, පළතුරු වර්ග විශේෂයෙන්ම බෙලි වැනි පළතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. මළබද්ධයෙන් පෙළෙන පුද්ගලයකු උදෑසනම ලුණු කැඳ පානය කිරීමෙන් එම රෝග අවස්ථාව නැතිකර ගැනීමේ හැකියාව ඇත. බගන්දර රෝගයට මළබද්ධය මුලින්ම බලපාන බැවින් මළබද්ධය දුරුකර ගැනීම හරහා එවැනි රෝග මඟහරවා ගැනීමේ හැකියාව ඇත.
ඉහත සඳහන් කළ ආහාරවලට අමතරව තෙබු, අලු කෙහෙල් (ලෙල්ල), කෙහෙල් අල, කෙහෙල් බඩ, දඹල, ගොටුකොළ, කොස් වැනි ආහාර මෙම රෝගය සඳහා සුදුසු ආහාර වේ.
හේමමාලා කුමාරි රාජකරුණා