
ගුවැන්ෂි දකුණු චීනයේ වියට්නාම් දේශ සීමාව මායිමේ පිහිටා ඇති මනරම් පෙදෙසකි. නානින්ග් එහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. එහි සිට පැය තුනක ගමනකින් බාමා වෙත ළඟා විය හැකිය. බාමා යනු චීනයේ ඉතා පැරැණි ගම්මානයකි. එහි ඇති පෑන් යාන්ග් නදියේ සංචාරය කිරීම චීනයට එන සංචාරකයන්ගේ වැදගත් සිහිවටනයකි. බායි මෝ ගුහාව නදියේ සැරිසරන විට හමුවෙයි.
පෑන් යාන්ග් නදියේ බායි මෝ ගුහාව ආශ්රිත ප්‍රදේශයේ සැරිසරන්නට කුඩා එන්ජිමක් සහිත දිග බෝට්ටුවලින් සංචාරය කිරීමේ අවස්ථාව හිමිවේ. තැඹිලි පැහැති ජීවිතාරක්ෂක ඇඳුම කට්ටලයක් පැළඳිය යුතු නමුත් මෙම නදියේ ගමන ආරක්ෂක එකක් නොවේ. බෝට්ටුව පදවන්නේ අත්දැකීම් ඇති තරුණයෙකි. පහළොස් දෙනෙකුට වැඩි කණ්ඩායමක් අසුන් ගත් විට ගමන පිටත් වෙයි. සාමය හා නිරායුදකරණය සම්බන්ධ චීන ජනතා සංවිධානයේ ඇරයුමෙන් එරටට ගිය රටවල් හයක නියෝජිතයන් හා මඟ පෙන්වන්නන් වෙනුවෙන් යාත්‍රා තුනක් වෙන්කර තිබිණ.
හිරු බැහැගෙන යන සන්ධ්‍යාවේ දර්ශනයය චමත්කාරජනක එකකි. එහි පරිසරය ලෝකයේ පිරිසිදුම වාතාශ්‍රය ඇති තැනක් බව දැක්වෙයි. නදියේ ජලය ඉතාමත් පිරිසිදුය. උල්පත්වලින් බිඳුවක් බැගින් පෙරී සියවස් ගණනක් ගලා ගිය ජල ධාරාවේ උපත මෙතැනය. නොකිළිටි ජලය බෝතල්වලට එකතුකරගන්නට එන දහසක් දෙනා අතරට එකතු වෙන්නට මිනිසුන් තැත් කරති. හිරු බැස යන්නට කලින් ස්වභාවිකව පෙරී එකතු වූ වතුර ස්වල්පයකුත් රැගෙන ගමෙන් පිටත්වී යන අරමුණ ඇති පිරිස දෙස බලන ඔවුන්ගේ හිනා හිත් පිරිමැද හමන පවන අත්විඳීන අමුත්තෝ අපූරු ගුප්ත තෘප්තිමත් භාවයකය.
සැනසිල්ලේ පාවෙන යාත්‍රාවේ කෙළවර ඇණියේ සුන්දර යුවතියක සිය කටහඬ අවදි කළේ අපගේ අවධානය බිඳිමින්ය. එය එපමණකට මිහිරි කටහඬකි. ඇය ඉතා ළගන්නා ස්වරයකින් ගංගාව ගැන කතාකරන්නට පටන්ගත්තාය. අපට මග පෙන්වූ ෂෙන්ග් පෙන් ඇයගේ චීන කිකිණි හඬ අප දන්නා ඉංග්‍රිසි බසට හැරවීය.
ගංගාවේ ඉතිහාසය නොදන්නා බව ඇය කීවාය. නොදන්නා ගුහාවක ඇති එක උල්පතකින් පෝෂණය වී ගලා බසින්නී යැයි කියා සිටියාය. ක්‍රමයෙන් ගඟ දිගේ ගිය යාත්‍රා ගුහාද්වාරය වෙත ප්‍රවේශ විය. හිස වැදෙන නොවැදෙන මානයෙන් අත්භූත ගුහාව වෙත ඇතුළු විය. තත්පර ගණනකින් යාන්තම් ඡායාවක් පමණක් හඳුනාගත හැකි අන්ධකාරයට ඇස් හුරුවන විට ආපසු හැරී බලන අපට පෙනුණේ කෙමෙන් කුඩා වන ගුහා දොරටුවේ ආලෝක ලපය පමණකි. ගඟ හිනාවෙන හඬ අහන්න. ටිකක් වේලා සද්ද නොකර ඉන්න ඇය ඉල්ලීමක් කළාය. ඝන අන්ධකාරයේ බෝට්ටුව පණගන්වා තිබූ එන්ජිමද නතර විය. මහා ගිරිකුළු අතර අද්භූත නිහඬතාව දරාගත නොහැකි විය. අසලින් අසුන්ගෙන සිටි මැලේසියානු හිතවතාගේ හුස්ම වැටෙන බව දැනිණ. එය ඇසෙන තරමට හාත්පස ඉතාමත් නිහඬය. පාවෙමින් තිබුණේ කොතැනකට දැයි නොදන්නා නමුත් භයානක බව දැනුණ ඒ මෙහොතේ සියලු හිත් අසරණව සිටියේ එකම හිනාවක් ඉල්ලමින්ය. අඩුම තරමින් ආලෝකය බිඳුවක් හෝ දෙන්නැයි හිත යටින් කියමින්ය.
හිත හඳුනාගෙනදෝ ඈතින් ආලෝක ලපයක් මතු විය. එය ගුහාවේ අඩි තිහ හතලිහක් ඉහළ සිට ගඟ දිය මතට වැටෙන ආලෝකයකි. ගුහාවට ඇතුළු වෙලා දවසක අන්ධකාරය හමාර වී අරුණාලෝකය ලැබෙන බව ඇය කී බව පරිවර්තනය කළේ අප හිතවතාණන්ය. හැබෑවටම දැනුණේ රාත්‍රිය අහවර වී දවසක් උදාවන සෙයකි. නිහඬතාව අවසන් කර යාත්‍රාවේ එන්ජිම පණ ගැන්විණ. එහි තිබුණ කුඩා විදුලි බුබුල අන්ධකාරය ඉදිරියේ ආලෝකය දුන්නේ කිසිසේත් අන්ධකාරය පරාජය කළ නොහැකි බව අඟවන මලානික විළියකින් යුතුවය. එදවස ගෙවී ගියේය. දැන් නැවතත් රාත්‍රිය උදාවෙයි. කිකිණි හඬ නැවත කියා සිටියාය. එවර එන්ජිම නතර වූයේ නැත. කලින් පුරුදු සේ නැවතත් ආලෝක කදම්බයක් ලැබුණේ ඉහළින් තිබුණ ද්වාරයකින්ය. එහි එළියෙන් දිය බිඳු බේරීමෙන් නිර්මාණය වී ඇති ලවණ පතුරු එල්ලෙමින් තිබේ. ඒවායෙන් මවන අන්ධකාර රටාවලට අර්ථ දක්වමින් අශ්ව හිසක් දැක ගත හැකි දැයි ඇය අමුත්තන්ගෙන් ප්‍රශ්න කළාය. සියලුම දෙනා අසිරිමත් වින්දනයකය. උත්තරයක් නැත. ඇය නැවතත් මෙසේ කීවාය. තවත් දවසක් අවසානයි. අන්ධකාරය එළඹිණ. නැවතත් ගුහාවේ ඉහළින් ආලෝකයක් මතුවන තුරු යාත්‍රා තුනක් එහි යාන්ත්‍රික ගුමු ගුමුවද සහිතව සුන්දර නැලවිල්ලක පාවී ගියාය. විනාඩි කිහිපයක් ඇවෑමෙන් ආලෝකය උදා විය. අද මෙම ගුහාවට ඇතුළු වී ගත කරන තුන්වැනි දිනයයි මඟ පෙන්වන්නිය ඇගේ කිකිණි හඬින් කියා සිටියාය. දවස් තුනකට පසු අපි ආපහු හැරෙනවා. ඒ වගේම දවස් තුනකට පසු අපි ආයෙත් පටන්ගත් තැනට යමු. යාත්‍රා හරවන විට ඇය කීවාය.

ඉතාම ළයාන්විත හඬක් මතුවූයේ අන්ධකාරයේ දීය. ඇය ගායනා කරන්නට පටන් ගත්තාය. එය ලංකාවේ පාරු කවි ගායනා නමුත් හැඩි දැඩි පිරිමියෙකු හබලේ පහර අමතක කරන්නට ගයන ගායනාවක් නොවේ. නිශායාමයේ රිද්මයානුකූල ස්වරයකි. හිත් තවා සනහා තබන සිහින් ආමන්ත්‍රණයකි. නුහුරු වචන වලින් කියැවුණ ද දරුවකු සනහා සතපවනවා මෙන් ඇය අප කණ්ඩායම නිහඬ කරවන්නට සමත් වූවාය. කාලය ගත වෙනවා නොදැනිණ. සුළු මොහොතකින් ගායනාව අවසන් කළ ඇය විවෘත ආරාධනාවක් කළාය. කවුරු හෝ මට උත්තරයක් හැටියට ගීතයක් ගායනා කරන්න. කිසිවෙකු එයට ඉක්මන් ප්‍රතිචාරයක් පෑවේ නැත. ඇය ආමන්ත්‍රණය කළේ තරුණයන්ටය. දෙතුන් වරක් ඇය ඇවිටිලි කරන විට විජාතික හඬක් නැගිණ. එය ගොරෝසුය. එහි ගායනයෙන් කියැවුණේ මොනවාදැයි තේරුම් ගන්නට තැත් කළේ නැත. කෙටි ගායනය නිහඬ වූ වහා මඟ පෙන්වන්නිය නැවතත් වශීකෘත ගායනයක් ඇරඹුවාය. එය ගංගාවේ පාවී යන හැන්දෑයාමයෙක අසීමිත වින්දනය දක්වන්නට සමත්වූවාය. නැවතත් ඇය එයට උත්තර කියන්නැයි තරුණන්ට අභියෝග කළාය. සියල්ලෝ නිහඬය. ඇය හුදෙකලාවම නැවතත් නැවත නැවතත් ගායනා කළාය.
ආලෝක ලප තුන දෙවතාවක් බැගින් එහා මෙහා පසුකර හයවැනි දවස උදා වූ පසු නැවතත් අපි සිටියේ පෑන් යාන්ග් නදියේ බායි මෝ ගුහාව එළිපත්තේය.
දවස් හයක් මා එක්ක තරගයට ගී කීවා නම් ඔහුට දැන් මා හා විවාහ වෙන්න වෙනවා. ගංගාවේ සම්මතය එයයි. එසේ කී ඇය මහ හඬින් සිනාසුනාය. තරගයට ගී ගැයූ අපි දැන් ෙප්ර්මයෙන් බැඳීලා අවසානයි. යනුවෙන් ඇය කියන වචනයක් පාසා පරිවර්තනය වෙයි. එය සිහින් අභියෝගයකි. මගේ බෝට්ටු රස්සාව මෙතැනින් අහවරයි. මා විවාහ කර ගන්නේ නැත්නම් මම ගඟට පනිනවා. විවාහයට කැමැති නැත්නම් ගඟට පැන ජීවිත ආශාව අත්හැරීම ස්වභාව ධර්මයේ කැමැත්ත ඇය කිසිම විළියක් නැති ස්වරයකින් කියන විට අපේ කණ්ඩායම විඳීමින් සිටි සුන්දරත්වය උච්චතම අවස්ථාවකට පත් වූ බව පෙනිණි.
සිතින් මවාගත් සුන්දරත්වයක් උකහා දක්වමින් ඇය අමුත්තන් ගඟ දිගේ කැඳවාගෙන ගියාය. ජීවන අන්දරය කියා පෑවාය. එය විටෙක බිය උතුරවයි. තවත් අවස්ථාවක ශෝකය දනවයි. ගෘංගාරත්වය ඇතිකරයි. අවසානයේ දී ඇය විප්පයෝගය දැක්වූවාය. එය සංචාරකයකයන්ට සිය ජීවිතයේ අමතක නොවන අත්දැකීමකි.
ලෝකයේ පැවැත්ම ගංඟාවෝය. ජීවය තවරාගෙන ඒවා සෙමෙන් ගලා යයි. මෙම ජීවය තුළ ඇති පණිවුඩය කියවන්නේ කොතැනින්ද? ගංඟාවක යාත්‍රා කර ඇති අවස්ථා සිහියට නගන්නට ඔබට හැකිය. දිය නගන චර චරය තුළ වින්දනය තිබේ. හබල ඔසවන වතාවක් පාසා වැටෙන සිය බිඳුවලට ස්වරයක් ඇත. නමුත් අන්දරයක් කියන්නට මඟ පෙන්වන්නියකට ලැබුණ අවස්ථාව උපරිමයෙන් කළා නම් පෑන් යාන්ග් නදියේ බායි මෝ ගුහාරද්වාරයේ සිද්ධිය සිහිනයක් සේ පවතී. ගලා බසින ගංඟාවන්ට ජීවය දී කතාන්දරයක් කියා පාවී යන්නට යාත්‍රාවකට නැගෙන අමුත්තෙකුගේ දැවෙන හිත් සනසවන්නට ධෛර්යය ඇති යුවතියෝ අප අතර සිටීත්ද?
කතාව හා සේයාරූ - ගාමිණී සරත් ගොඩකන්ද