
නාවල කියූ පමණින් අපගේ සිහියට නැගෙන්නේ අන්නාසිය. මල්වාන කියූ පමණින් අපට මතක් වෙන්නේ රඹුටන්ය. මේ ආකාරයටම කජුගම කජුවලට ප්‍රසිද්ධ වන්නා සේම කිඹුලාපිටිය කියූ සැණින් කවුරුත් කතාකරන්නේ රතිඤ්ඤා ගැනය. කිඹුලාපිටිය රතිඤ්ඤාවලට එතරම්ම සුවිශේෂීය. අලුත් අවුරුද්ද උදාවන්නට මාස දෙක තුනකටත් මත්තෙන් කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදකයින් අතිශයින්ම කාර්යබහුල වන්නේ අලුත් අවුරුද්ද සඳහා අවශ්‍ය ප්‍රමාණයට රතිඤ්ඤා නිෂ්පාදනය කරන්නටය.
කෙසේ වෙතත් මෙරට රතිඤ්ඤා කර්මාන්තය කලක් යෙහෙන් වැජඹුනද ඒවා හරහා සිදුවන අනතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කරන ලද මාධ්‍ය දැනුම්වත් කිරීම් හරහා රතිඤ්ඤා භාවිතයද මිනිසා කෙරෙන් යම්තාක් දුරකට ඈත්වන්නට විය. මේ නිසාම ඇතැම් රතිඤ්ඤා නිෂ්පාදකයන්ගේ ව්‍යාපාරයන්ද අඩාල වූ අතර ඇතැම් කර්මාන්ත ශාලා වසා දමන්නට පවා සිදුවිය. රතිඤ්ඤා නිෂ්පාදනයට වැඩිම ප්‍රසිද්ධියක් උසුලන කිඹුලාපිටිය ප්‍රදේශයට මේ තත්ත්වය බලපෑවේ කෙසේද? දේශය මෙවර අලුත් අවුරුද්දට කිඹුලාපිටියේ රතිඤ්ඤා නිෂ්පාදකයින් හමුවන්නට ගියේ ඒ ගැන සොයාබලන්නටයි.
කිඹුලාපිටියේ රතිඤ්ඤා ගැන කතා කිරීමේදි අපට එහි ඉතිහාසය සම්බන්ධයෙන්ද යම් අවබෝධයක් ලබාගැනීම වටී. ශ්‍රී ලංකාවේ රතිඤ්ඤා නිෂ්පාදනය ගත්විට එහි ආරම්භය සටහන් වන්නේ එක්දහස් නවසිය විසි ගණන්වල අගභාගයේදීය. එහි නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන්නේ කේ. ඒමිස් පෙරේරාය. විදේශීය මිතුරෙකුගෙන් තමන් වෙත ලැබුණු පොතක් කියවා එහි වූ වට්ටෝරු කීපයක්ම අත්හදා බැලීමෙන් ඔහු මුලින්ම ලංකාවේ රතිඤ්ඤා නිෂ්පාදනය කළේය. මෙලෙස නිෂ්පාදනය කළ මුල්ම රතිඤ්ඤා සූර්ය සහ මුවා යන වෙළෙඳ නාමයන්ගෙන් වෙළෙඳපොළට නිකුත් විය. රතිඤ්ඤා නිෂ්පාදනය ඒමිස් පෙරේරාගේ නිවසේම සිදුකෙරුණ අතර විවිධ ප්‍රදේශයන්හි ව්‍යාපාරිකයන් කිඹුලාපිටියටම පැමිණ තම ව්‍යාපාර කටයුතු සඳහා රතිඤ්ඤා රැගෙන ගියහ. ඒමිස් පෙරේරා ඉන්පසු ගිනිකෙළි නිෂ්පාදනයටද අතගැසූ අතර ඔහු රතිඤ්ඤා නිෂ්පාදනය ආරම්භ කර වසර තුන හතරක් ගතවෙද්දී ඔහුගෙන් රතිඤ්ඤා නිපදවීම ගැන උගත් බොහෝ දෙනා තමන්ගේම නිවෙස්වල රතිඤ්ඤා නිෂ්පාදනය කිරීම ආරම්භ කළහ. කිඹුලාපිටිය ගමේ වැඩිදෙනා කුමන හෝ ආකාරයකින් රතිඤ්ඤා නිෂ්පාදනයට දායක වූයේ ඒ ආකාරයටය.
මේ ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදනය කරන ආයතන කිහිපයකටම පිවිසි අපට දැකගන්නට ලැබුණේ සියලුදෙනා යුහුසුරුව තම නිෂ්පාදන කටයුතුවල නියැළෙන ආකාරයකි. ව්‍යාපාර හිමිකරුවන් බොහොමයක්ම රතිඤ්ඤා බෙදාහැරීමේ කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරව ගොස් සිටි අතර ඔවුන්ගේ නිවෙස්වලද, කඩසාප්පුවලද විවිධ ආකාරයේ නිෂ්පාදන එනම් රතිඤ්ඤා, මල්වෙඩි, අහස් කූරු, නිලා, බඹර චක්‍ර ආදියද දක්නට ලැබුණි. අනතුරුව අප පිවිසියේ ජගුවර් රතිඤ්ඤා නිෂ්පාදනය කරන නිවෙසටයි.

මේ දවස්වල අපි නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි සේවක හිඟය. මේක වෙඩි බේත් සමඟ සිදුකෙරෙන කටයුත්තක්. සමහර අය මේ සඳහා යොමුවෙන්නට පොඩි බයක් තියෙනවා. ඒ කොහොම වුණත් අපිට සාමාන්‍යයෙන් හොඳ බිස්නස් එකක් තියෙනවා.
මෙලෙස අප හා අදහස් ඉදිරිපත් කළේ තම පියාගේ උරුමයෙන් රතිඤ්ඤා ව්‍යාපාරයට පිවිසි නව යොවුන් තරුණයෙකු වන සංජය ප්‍රනාන්දුයි. ඔහු තවදුරටත් කියා සිටියේ මෙවැන්නකි.
අපි රතිඤ්ඤා වගේම නිලා, බඹර චක්‍ර වගේ තවත් ගොඩක් නිෂ්පාදන කරනවා. රතිඤ්ඤා ගත්තත් කරල්, රෝල්, කුට්ටන් ආදී වශයෙන් වර්ග ගණනාවක්ම තියෙනවා. අලුත් අවුරුද්දට නැකත් තියෙන නිසා මේ කාලේ වැඩිපුරම අළෙවියක් තියෙන්නේ රතිඤ්ඤාවලට. නිලා, බඹර චක්‍ර, මල් වෙඩි වගේ නිෂ්පාදන වැඩියෙන් යන්නේ නත්තල් සීසන් එකට.
මුල් කාලයේදී රතිඤ්ඤා නිපදවීම සිදු කෙරුණේ පොටෑසියම් ක්ලෝරේට්, ගෙන්දගම් සහ අඟුරු කුඩු මිශ්‍ර කිරීමෙනි. පොටෑසියම් ක්ලෝරේට් එක්තරා වකවානුවකදී තහනමකට ලක්වූ බැවින් අද වනවිට රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා පොටෑසියම් ක්ලෝරේට් වෙනුවට භාවිත කෙරෙන්නේ පොටෑසියම් නයිට්‍රේට්ය. ඒ අනුව වර්තමානයේදී පොටෑසියම් නයිට්‍රේට්, ගෙන්දගම් හා ඇලුමේනියම් කුඩු භාවිත කර රතිඤ්ඤා නිෂ්පාදනය සිදුකෙරේ. රතිඤ්ඤා නිෂ්පාදනය එක් අතකින් භයානක කර්මාන්තයක්ද වන අතර එහි වැඩිපුර අනතුරු සිදුවන්නේ මල්වෙඩි නිෂ්පාදනයේදීය. එහෙත් සංජය වැනි තරුණයෙකු මෙම නිෂ්පාදනයට පිවිස ඇත්තේ මේ සෑම දෙයක්ම අභියෝගයක් කොට ගනිමිනි.
ඇත්තටම මම මේ ව්‍යාපාරය සඳහා යොමුවුණේ අපේ පවුලේ උරුමයක් වන එය ඉදිරියට ගෙන යන්න ඕනෙ නිසයි. සමහරැ මේ පැත්තට යොමුවෙන්න පොඩි බියකුත් තියෙනවා. ඒත් මට හිතුණා මෙම ව්‍යාපාරය තවදුරටත් දියුණු කරගත්තොත් හොඳයි කියලා. අධ්‍යාපනය පැත්තෙන් මම උසස් පෙළත් සමත්වෙලා ඉන්නේ. නමුත් ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන්නට තමයි මම උත්සාහ කරන්නේ.

මෙම ස්ථානයේදී අපි කරන්නේ රතිඤ්ඤා නිෂ්පාදනයයි. ඉන්පසු ඒවා වෙළෙඳපොළේ බෙදාහැරීම සිදුකරනවා. ඒ සඳහා අපට බලපත්‍ර තියෙනවා. අපේ සේවකයින්ව රක්ෂණය කිරීමත් අපි සිදුකරනවා. දැන් මම මේ අතින් මිශ්‍ර කරන්නේ නිලා හදන්න ගන්න බෙහෙත්. ගොඩක් අය බයයි මේවා අතින් අල්ලන්න. නමුත් මේවා විස නෑ. තාක්ෂණයේ දියුණුවත් එක්ක මැෂින්වලින් නිලා හදන ස්ථානත් තියෙනවා. නමුත් මේ බෙහෙත් අතින් ඇනුවම ඒකෙ හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා. මීට අමතරව රතිඤ්ඤා පත්තු කිරීම ගැන කතා කරද්දි ගොඩක් අය අනතුරුවලට ලක්වෙන්නේ ඒවා වැරදි විදිහට භාවිත කරන නිසයි. අපි රතිඤ්ඤා භාවිත කරන ආකාරයට ගැන රතිඤ්ඤා පෙට්ටියේ සඳහන් කරලා තියෙනවා. ඒකෙ තියෙන්නේ රතිඤ්ඤා කරල් එක බැගින් ගෙන ගිනි දල්වන්න කියලයි. ගොඩක් අය කරන්නේ රතිඤ්ඤා පෙට්ටියේ පියන ගලවලා එකක් පත්තු වෙනකම් ගින්දර අල්ලාගෙන ඉන්න එකයි. ඉතින් නූල් ගොඩක් එකට ආවම මේක ඇවිලෙන ප්‍රමාණය වැඩියි. ඉතින් ඒවගේ වෙලාවල්වල අනතුරැ වෙනවා. මත්පැන් පානය කරලා රතිඤ්ඤා පත්තු කරන එකත් අනතුරුදායකයි. නියමිත උපදෙස්වලට අනුව පාවිච්චි කළොත් අනතුරු සිදුවෙන්නේ නෑ.
තවත් ගොඩක් අය කියන දෙයක් තමයි රතිඤ්ඤා නිෂ්පාදනය අඩුවෙලා තියෙන එක ඇත්තටම මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වයත් එක්ක ඇතැම් පිරිස් මේවගේ දේවල්වලට වැයකරන මුදල් ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. නමුත් මේ බිස්නස් එක කවදාවත් වැටෙන්නේ නෑ. අපි මේක නවත්වන්නේත් නෑ. අපිත් හැදුවෙ නැත්නම් කවුද හදන්නේ. ඒකත් රටින් ගෙන්වන්න වෙයි. කිඹුලාපිටියට ආවේණික දෙයක් තමයි රතිඤ්ඤා කියන්නේ. ඒක අපි ඉදිරියටත් පවත්වාගෙන යනවා.
ජගුවර් රතිඤ්ඤාවලින් පසු අපි පැමිණියේ ගුරුලා රතිඤ්ඤා නිෂ්පාදනය කරන ස්ථානයටයි.
අපි අවුරුදු මාසයේ හදන්නේ රතිඤ්ඤා විතරයි. එලෙස අප හා පැවසුවේ ගුරුලා රතිඤ්ඤා ව්‍යාපාරයේ සේවයේ නියුතු ජෝදියි. ගුරුලා රතිඤ්ඤා ව්‍යාපාරයට හිමිකම් කියන චම්පා මහත්මිය අප සමඟ පැවසූයේ අනෙක් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ රතිඤ්ඤා අලෙවි වීම අඩු බවයි.
ඇත්තටම වෙන අවුුරුදුවල මේ වෙද්දි අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ තියෙනවා. ඒත් මේ අවුරුද්දේ වැඩ ගොඩක් අඩුයි. බිස්නස් ඇත්තෙම නැති තරම්. අපේ ආයතනයේ සේවකයෝ 12 දෙනෙක් විතර වැඩකරනවා. අපි දිගටම නිෂ්පාදන කටයුතු සිදුකරනවා. එහෙම නිෂ්පාදනය කරලා ස්ටොක් කරලා තියාගන්නවා. ඉදිරියේදී අලෙවියක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
කිඹුලාපිටියේ රතිඤ්ඤා නිෂ්පාදනය කෙරෙන තවත් ස්ථාන කිහිපයකටම ගියද එම බොහෝ තැන්වල පිරිස් මාධ්‍ය හමුවේ කතා කිරීමට මැලිකමක් දැක්වූහ. තවත් එවැනිම ව්‍යාපාරිකයෙකු දුරකථනය ඔස්සේ අපට කියා සිටියේ මෙම ව්‍යාපාරයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය. කෙසේ වෙතත් කිඹුලාපිටියෙන් පිවිසෙද්දී අපටද වැටහුනේ තාමත් එම ප්‍රදේශය රතිඤ්ඤාවලටම සුවිශේෂී වූ ප්‍රදේශයක් බවයි.
හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ I සුමුදු හේවාපතිරණ