2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

දමිළ සහෝදරයන්ටත් අවුරුදු

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 113

2017 වසර රටට ලෝකයාට කෙසේ වෙතත් උතුරට බොහෝ කරුණු කාරණා නොමැතිව පිළිගන්නට සිදුවුණේ අසුභ පෙරනිමිතිත් සමඟය. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඇතමෙකුට සුභ වෙද්දී ඇතමෙකුට අසුභ වූයේ පොදුවේ බලපෑ මේ විපත්තදායක පසුබිම මතය. යුද්ධෙ නම් ඉවරවෙලා අවුරුදු 8 ක් ළංවෙන්න එනවා. අපිට ගොඩක් දේවල් නැතිවුණා තමයි. දැන් ඒ ගෙවුණු අතීතය වළදාන එක තමයි හොඳම.

මේ පාර අවුරුද්ද පුළුවන් තරම් හොඳින් සමරන්න තමයි හිතන් ඉන්නේ. වව්නියාවේ ගොවියෙකු වූ කේ.වීරපුත්‍රන් කියා සිටියේය.

දැන් අපි නැවත පදිංචියට ගිහිල්ලා අවුරුදු 6කට ළංවෙන්න එනවා. නමුත් එදා වේලත් කන්න නැතිව, ඉන්න හිටින්න හරියට ස්ථීර වහළක් නැතිව මොන අවුරුදුද අපිට? කිව්වේ මුලතිව් සිරාට්කුලමේ පදිංචි කේ.අරුලගිරිය.

යුද්ධෙ නම් ඉවරයි. නමුත් අවුරුදු 7ක් වෙනවා අපේ අතුරුදන් වෙච්ච දූ දරුවන්ට වෙච්ච දෙයක් නැහැ. ඒ අය මැරුණද වෙන කොහෙ හරි ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. එහෙම දුකක් තියාගෙන අවුරුදු සමරන්න තරම් අපිට හිතේ හයියක් නැහැ. මෙසේ කීවේ අතුරුදන් වූවන් සොයාදෙන්නැයි වව්නියාවේ සත්‍යග්‍රහයක නිරත වෙලා ඉන්න කේ.ඥානේස්වරීය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද එකට සමරන්න ලැබුණත් බොහෝ සිංහල දෙමළ පිරිසකට අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ සිත් තැවුල් හා ආර්ථික අහේනි හමුවේ බව ඉහත කී කතාවලින් වැටහී යයි.

2017 වසරේ උදාවේ සිට ගෙවීගිය දින කිහිපයේ උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ රැකියා විරහිත භාවය, උපාධිධාරීන්ගේ රැකියා ඉල්ලීම්, අනාථ කඳවුරුවල සිටින වැසියන් නැවත පදිංචි කළ යුතුයැයි ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයන් ආරක්ෂණ අංශවලින් මුල් ඉඩම් ඉල්ලීම්, යුද්ධයෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සිදුකරන ලද උපවාස හා විරෝධතා, ස්ථීර නිවාස ඉල්ලීම් වැනි ක්‍රියාකාරකම් නිසා උතුර උණුසුම් විය. මේ සියලු ක්‍රියාකාරකම්වලට මැදිහත් වූවන්ගේ හිතේ අලුත් අවුරුද උදාව සැමරීම ගැන නම් යහපත් මානසිකත්වයක් නොමැති බවට ඒකාන්තය.

එදා සිංහල දෙමළ වැසියන් නගරයට ගොස් අලුත් හැලිවලින් අරන් ගෙදර මුළුතැන්ගෙයි ගොම ගා අලුත් ඇඳුම් අරගෙන මොන කරදර තිබුණත් සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සාමයෙන් සමගියෙන් සැමරෑ බව බොහෝ අපේ පැරැණි මුතුන්මිත්තෝ කියා සිටිති.

අලුත් අවුරුද්දට අලුත් හාල් කෑමේ බලාපොරොත්තු සිත්හි තබාගෙන මෙදා කන්නයේ කුඹුරට බැස්ස වව්නියාවේ කේ.වීරපුත්‍රන් ගොවියා කියා සිටියේ මෙවැන්නකි.

අලුත් අවුරුද්ද කියන්නේ තවත් එක දවසක් නම් තමයි. නමුත් අපි අපේ දරුවන් ගැනත් හිතන්න ඕන. ඒ අය පුරුදුවෙලා ඉන්නේ අලුත් අවුරුද්ද එනකම් අවුරුදු දවසට අලුත් ඇඳුම් ඇඳලා රතිඤ්ඤා කරල් සාක්කුවලට දාගෙන ගම වටේට යන අපේ දරු පැටව්ගේ සතුට තමයි ඉතින් අපෙත් සතුට. ඒ නිසාම අපිත් පුරුදුවෙලා ඉන්නේ මොන අගහිඟකම තිබුණත් කමක් නැහැ. අවුරුද්දට පුළුවන් තරම් කියලා සතුටින් ඉන්නවා කියලා.

දැන් බලන්න පහුගිය කාලයේ මේ පළාත්වලට හරියට වැස්සක් නැහැ. ඒ නිසාම අපිට කුඹුරු හිතේ හැටියට කරගන්න බැරි වුණා. මමත් අක්කර ගාණක් වතුර නැතිව අතෑරියා. මේ වතාවේ කෑමට විතරක් කොහොමහරි කුඹුර ගොඩදාගත්තා. යල් කන්නයේ වගේ නෙමෙයිනේ මහ කන්නයේ ගොවිතැන් කරන හාලින් තමයි අපි හැම සැරේම අලුත් අවුරුද්දට කිරිබත් කන්නේ.

අනිත් එක මේ අවුරුද්ද කියන්නේ හරිම වැදගත්. අපිට නම් අද කාලේ වෙනස්වෙලා එදා එහෙම නෙමෙයි අයියා, අන්නා, තම්බි, කියාගෙන අපි සිංහල දෙමළ සියලු දෙනා එක්ක තමයි අවුරුදු කෑවේ. අල්ලපු ගමේ අපේ හිතවත් දෙමළ සහෝදරයෝ ටික අපේ ගෙවල්වලට එනවා අවුරුදු කන්න. එහෙම එනකොට ඒ අය නිකම්මත් නෙමෙයි එන්නේ එයාලගේ හැටියට කැවුම්, කෙසෙල් එක එක විදිහට අපිට ලැබෙනවා. අපිත් එහෙමයි. ඒ අයගේ ගෙවල්වලට ගිහින් බොහොම සතුටුවෙලා තමයි එන්නේ. ඒ අද ඒ සහෝදරත්වය ඈත්වෙලා යනවා කියලා මට හිතෙනවා. අද කුඹුරකදී වුණත් අපි හම්බ වුණාම හා අයියා තම්බි කියලා ඒ වෙලාවට විතරක් සුහදවෙලා ඒක එතනින් ඉවරවෙනවා. මෙතන මොකද්ද වෙච්ච වැරැද්ද කියලනම් හිතාගන්න බැහැ. කාලෙ වැරැද්දද අනේ මන්දා? මම නම් ආසයි නැවතත් අපි සහෝදරයෝ වගේ එකට අවුරුදු කන්න.

කේ. වීරපුත්‍රන් එසේ කියද්දී මුලතිව් සිරාට්කුලමේ නැවත පදිංචි කේ. අරුලගිරි වැසියා කිව්වේ මෙවැන්නකි.

අපිට හිනාවෙලා අවුරුදු කන්න කවදා ලැබෙයිද කියල දෙයියො තමයි දන්නේ. යුද්ධෙන් පස්සේ අපේ ගමට ඇවිත් දැන් අවුරුදු පහකට වැඩියි. යුද්දේ ඉවරවෙලා අවුරුදු 7යි. අපි තාමත් පැල්කොටවල තමයි ජීවත් වෙන්නේ. අපිට තාම කුඩම්මගේ සැලකිලි. මේ ගමේ ඇතැම් අයට නම් ස්ථීර ගෙවල් ලැබුණා. එයාලට නම් අවුරුදු ඇති. ඒත් අපිට නම් මෙදා අවුරුදු නැහැ. යුද්දේ අපේ හැම දෙයක්ම නැති කළා. ඒ නැතිවුණු දේවල්වලින් අද අපිට 10% ක්වත් නැහැ. ඉතින් කොහොමද අවුරුදු කන්නේ?

අල්ලපු ගම්වල අය අවුරුදු කනකොට අපිට දුකයි තමයි. නමුත් අපි අවුරුදු කන්නේ කොහොමද? ඉන්න හිටින්න තැනක් නැහැ. මේ පැල්කොට කොයි වෙලේ ඇඟ උඩට කඩන් වැටෙයිද කියලා බයෙන් ඉන්නේ. එදාවේල කන්නේ දහදුක් විඳලා කරන්න රස්සාවක් නැහැ. ළමයින්ට උගන්නගන්න විදිහක් නැහැ. මෙහෙම ගින්දරක් උඩ අපි කොහොමද අපේ ළමයින්ට කන්න බොන්න දීලා අවුරුද්ද සමරන්නේ. අපිට දැන් හරි වැටිලා ඉන්න ස්ථීර ගෙයක් ලැබෙනවා නම් එදාට අපිට අවුරුදු කන්න පුළුවන් වෙයි.

ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතිව අවුරුදු නොකන ඒ පිරිසටම එකතු වෙන තවත් පිරිසක් මේ දවස් වල උතුර පුරාවට දැක ගන්න පුළුවන්. ඒ යුද්ධය නිසා අතුරුදන් වූවන් සොයා දෙන්නැයි ඉල්ලමින් සත්‍යග්‍රහ පවත්වන උදවියයි. 
මේ අය අතරේ හිටපු කේ.ඥානේස්වරී  කාන්තාව අලුත් අවුරුද්ද ගැන කිව්වේ මේ විදහටයි.

මොන අවුරුදුද තමන්ගේ දරැ මුණුබුරන් නැතිව. මොන අවුරුදු ආවත් වැඩක් නැහැ, අපිට අපේ දරුවොන්ට මොකද වුණේ කියලා දැනගන්නයි ඕන. ගෙදරට වෙලා කොහොමද අවුරුද්දක් සමරන්නෙ කියන්නකො බලන්න. මගෙ ළමයා යුද්දේ අවසන් කාලයේ නැති වුණේ. එයා මැරුණනම් මේ වෙනකොටත් හිත හදාගෙන. ඒත් මගේ ළමයි දැන් එයි හෙට එයි අනිද්ද එයි කියලා අපි හැමදාම දැවෙනවා. අවුරුද්ද කියලා නැහැ අවුරුදු දවසටත් අපි මේ විදිහට අපේ ළමයි වෙනුවෙන් තොරතුරැ ඉල්ලලා දවස ගෙවනවා. යුද්දෙ නිසා බොහොම තරැණ පිරිසක් මියගිය බව දන්නවා. නමුත් දස දහසකට වැඩි පිරිසක් අතුරැදන්වෙලා. ඉතින් ඒ අයට මොකද වුණේ කියලා ඒ අයගේ මවුපියන් හොයන්න ඕන නැද්ද?
දැන් යුද්දේ ඉවරවෙලා අවුරැදු 7ක් වෙලා අපිට අලුත් අවුරැදු සැමරැමක් නැහැ. යුද්දේ ඉවරවෙන්න තිබුණු අවසන් අවුරැදු ටිකෙත් හිතේ සැනසීමෙන් අවුරැදු කන්න බැරි වුණා. ඉතින් අපි කවදානම් අවුරුදු කයිද කියලා අපිවත් දන්නැහැ. අපිට හරියටම මොකක් හරි විසඳුමක් ලැබුණනම් යුද්දෙ ඉවරවෙලාත් මෙහෙම දුකක් විඳින්න ඕන නැහැනේ.

යුද්ධය නිසා කැඩුණු බිඳුණු සිත් වැඩි බව අපි දන්නෙමු. නමුත් කේ.වීරපුත්‍රන් ගොවියා කී ලෙස අප සහෝදරයන් මෙන් නැවත එක්විය යුතුය. තම්බි, අන්නා, අයියා යැයි අමතමින් තමන්ගේ දුක සතුට බෙදාගත් උන් සමඟම මේ වර්ගවාදී අධ්‍යාත්මික ගැටලුවලටත් උත්තර හොයන්නට උත්සාහ දරන්නේ නම් මේ සහෝදරයින් සියලුම දෙනාට එකම මේසයක හිඳගෙන කැවුම් කිරිබත් රස බලන්නට හැකි වන දවස වැඩි ඈතක නොවන බව අපේ විශ්වාසයයි.

කතාව හා සේයාරූ - වන්නි රොමේෂ් මධුෂංඛ