
1892 අප්‍රියෙල් 20දා දැයෙන් සමුගෙන අවුරුදු 125ක් සපිරෙණ දොන් අන්ද්‍රියස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමා උපත ලද්දේ 1819 මැයි මාසයේදී ගාල්ලේ බටුවන්තුඩාව නම් වූ මනරම් පිටිසර ගම්වරයේදීය.
දොන් අන්ද්‍රියස් ද සිල්වා බටුවන්තුඩාවේ මූලික අධ්‍යාපනය ලැබුයේ ගාල්ලේ එවකට තිබූ මිෂියෝනාරිස් කතෝලික ද්විභාෂා පාඨශාලාවේදී මෙයෝර් දේවගැතිවරයා යටතේයි. බටුවන්තුඩාව කුමරු කුඩා අවදියේ සිට පෙන්නුම් කළ ගති ලක්ෂණ අනුව යහපත් දේශහිතෛෂී ගමනක යෙදෙන බව වටහාගත් මවුපියන් තම පුත්‍රයා නාඳුගල රේවත නාහිමියන් යටතේ බටුවන්තුඩාවේ දේවරක්ෂිත නමින් 1832දී පැවිදි කළේය. ඉනික්බිති බටුවන්තුඩාවේ සාමනේර හිමියන් උසස් අධ්‍යාපනය සඳහා එවකට කෝට්ටේ රජමහා විහාරාධිපති මලිගස්පේ ශ්‍රී ධම්මකිත්ති නාහිමියන්ට බාර කෙරුණි. ඒ හරහා රත්මලාගේ පරමධම්මචේතිය පිරිවෙනට ඇතුළු වූ උන්වහන්සේ එවක එහි පරිවේනාධිපති මහාචාර්ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් යටතේ ශාස්ත්‍රෝද්ග්‍රහණයේ පාරප්රාතියට පත්වූහ. පසුකලෙක මහා ප්‍රාඥයන් බවට පත්වූ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හෙයියන්තුඩුවේ දේවමිත්ත, වස්කඩුවේ ශ්‍රී විභූති වැනි චිරප්රකට මහා බුද්ධිමතුන් වහන්සේලා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස අතර වූහ. දෙස් විදෙස් උගත් පිරිස තවත් බොහෝය. තම මව්භාෂාව වූ සිංහලය හා සමමට්ටමින් පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂාවන් පිළිබඳ කෙලපැමිණි උන්වහන්සේ තර්ක ශාස්ත්‍රය, ජ්‍යොතිෂ විද්‍යාව, වෛද්‍ය වෘත්තිය මෙන්ම කාව්යකරණයේත්, සාහිත්යකරණයේත් පාරප්රාතිකයෙක් වූහ.
1845දී පැවිදි වූ පඬිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සඟරාව වූ යතබල සඟරාව එළිදක්වමින් මුල්වරට සිංහල ප්‍රකාශයක් එළිදැක්වූහ. ඊට අමතරව මුල්ම සිංහල පුවත් පත වූ ලක්මිණි පහණ පුවත්පතේද සංස්කාරකවරයා විය.
ලත් හසල දැනුම මත පැරැණි ග්රන්ථ සංශෝධනයෙන් හා අර්ථකථන ලියා පල කරමින් සාහිත්‍යයට අමිල සේවාවක් කළේය. එදා සුදු ආණ්ඩුවේ පාලකයින්ගේ ඉල්ලීම හා ආරාධනය පරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ද සම්බන්ධ කරගෙන පාලි මහාවංශය සිංහලයට පරිවර්තනය කළේය. ඊට අමතරව මහා වංශ ටීකාව, වෘත්තමාලාව ව්යාඛයාව, සූර්ය ශතකය, බුද්ධ ශතකය, අනුරුද්ධ ශතකය, සද්ධර්මලංකාරය, උම්මග්ග ජාතකය, සිදත් සඟරාව, ගුත්තිල කාව්‍යය සංශෝධනය කොට අර්ථ කථනය කිරීමෙන්ද කළ සේවාව අදත් වංශ කථාවේ ශේෂව ඇත.
ඒ යුගයේදීම කෝට්ටේ ක්‍රිස්තියානි මිෂනාරි සමාගමේ ප්‍රධාන පූජකවර ගෞරව ගුස්ලාම් දේවගැතිතුමා ඇසුරුකරමින් කතෝලික ධර්මය පිළිබඳවද හොඳ දැනුමක් ලබාගත්තේය. ඒ දැනුම නිසාත් පැවිදි පුද්ගලයෙකු නිසාත් තම කතෝලික ධර්ම ව්‍යාප්ත කරවා ගත හැකි පුද්ගලයෙකු විය හැකි නිසාත් කතෝලික සභාවේ පෙරදිග භාෂා ආචාර්යවරයා ලෙස පත්කරගත් පඬිතුමා ආගමික පොත්පත පළකිරීමට එතුමාගේ සහාය පැතීය. ඉන් බුදුදහමට හානිවිය හැකි විය යැයි සිතා පඬිතුමා එම තනතුරෙන්ද ඉල්ලා අස්විය. 1872දී ඉන්දීය රජය මගින් ලබාදුන් ආචාර්ය උපාධිය හා මුදලි නාමය කෙලින්ම ප්‍රතික්ෂේප කළ පඬිතුමා ගුරුන්නාන්සේය ඇමතීම තමාට ප්‍රමාණවත් බව පවසා ඇත. බෞද්ධයන් කතෝලික, පූජකතුමන්ලා ඉදිරියේ විවාහ වීමේ ක්‍රමයට එකහෙලා විරුද්ධ වූ පඬිතුමා අදත් ක්‍රියාත්මක විවාහ ලේකම්ක්රමය මෙරට හඳුන්වාදීමේ පුරෝගාමියා විය.
ග්රන්ථ සංශෝධනයේ හා සංස්කරණයේ වර්තමාන යුගයේ ආදීකර්තෘවරයා බටුවන්තුඩාවේ පඬිතුමා බව කොටස් 10කින් සමන්විත සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ලියමින් කලක් විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ විසූ මහා ප්‍රාඥය කළුකොදයාවේ පඤ්ඤාසේකර නාහිමියන් සඳහන් කොට ඇත. එසේම තමන් මියයන බව දින කීපයකට පෙර දැනගත් බව පඬිතුමා
හඳ පානේ අද ගමනක් වේය මට
මෙගම ඇත්තන්ට ඇඬුමක් වේය හෙට
යන මා මුත් නම බෝකල් පවතීය රට
නොතිර මෙදිවි ගිය කල ලතවනු කුමට
කවිය ලියා දැබූ බවත් එහිමි සඳහන් කළෝය. 1845හීදී සෙලස්තිනා රාජකරැණා මෙනවිය සමඟ සරණ බන්ධනයට ප්‍රවිෂ්ඨ වූ පඬිතුමා දකුණු ලක ගාලු පුරවර බටුවන්තුඩාව ග්‍රාමයට ලබාදුන් ප්‍රසිද්ධිය ආලෝකය හා ආඩම්බරය මෙතකැයි කිව නොහැකිය. එතුමා 1892 අප්‍රේල් 20 වැනි දිනෙක දැයෙන් සමුගත්තේ ණයබරින් නිදහස් ලංකා මාතාවගේ තවත් එක් පුත්‍රරත්නයක් ලෙසින්ය.
අපූර්ව කරුණක් වූයේ එතුමාගේ අභාවයත්, ශ්‍රී වික්‍රම රාජසිංහ ලංකාවේ අන්තිම රජතුමාගේ අභාවයත් එකම වකවානුවක සිදුවීමය. මේ ලියන මා එම පරම්පරාවේම මී මුණුපුරුකු වීමද අවසානයෙහි සටහන් කර තබන්නේ එතුමා පිළිබඳව අප්‍රමාණ ගෞරවයකිනි.
වීරසිරි බටුවන්තුඩාව