2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

කාකි සූට් අධිකාරිණියෝ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 235

ලෝකය දිනන්නට ගැහැනියකුද - පිරිමියෙකුද යන වර්ගීකරණය අවැසි නැත. පසුගිය දිනෙක කන්ටේනර හැසිරවීමද සියතට ගනිමින් කාන්තාව යනු ශක්තියෙන් බුද්ධියෙන් හා හැකියාවෙන් පිරිමියාට සාපේක්ෂව දුර්වලය යන බමුණු මතය තවත් වරක් බිඳහෙලීමට සමත් වූයේද ලක්මවගේ දියණියන්මය. රට කරවීමේ මුල් පුටුවේ සිට විවිධ ක්ෂේත්‍රවල අභිමානවත් චරිත බවට පත්වන්නට විශ්වීය වනිතාව සමත්කම් දක්වා ඇති පසුබිමක මේ කියන්නට යන්නේ පොලිස් සේවයේ ඉහළ තරුවලට හිමිකම් කී ශ්‍රී ලාංකික පොලිසීයේ සාඩම්බර කතුන් ගැනය.

පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලද ප්‍රෙමිලා දිවාකර මහත්මිය සේවයෙන් විශ්‍රාම ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙසය. පසුගියදා ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම වතාවට සහකාර පොලිස් අධිකාරීවරියන් අට දෙනකු පොලිස් අධිකාරී නිලයට උසස් කරනු ලැබුවේ පොලීසියේ සමස්ත පොලිස් අධිකාරීවරියන් සංඛ්‍යාව 10 දෙනකු දක්වා ඉහළ නංවමිනි.  මේ සුවිශේෂී අවස්ථාව සටහන් කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් අධිකාරීවරියන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කොට තිබුණේ පසුගිය මාර්තු 23 වැනිදාය.

කාන්තා පොලිස් අධිකාරීවරියන් වන එච්.ඩබ්ලිව්. ඉමේෂා මුතුමාලි - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජයන්තා පද්මිණි වීරසූරිය - අල්ලස් හෝ දූෂණ චෝදනා, රේණුකා ජයසුන්දර - වංචා විමර්ශන කර්යාංශය, පී.ජේ. මදාරා ආරියසේන - කැලණිය කොට්ඨාසය, ලංකා රාජිණී අමරසේන - ළමා හා කාන්තා කාර්යාංශය, ධීමති පෙරියප්පෙරුම - පොලිස් මූලස්ථාන නිශ්කාෂණ අංශය, ආර්.ඒ. දර්ශිකා කුමාරි - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සහ ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න රාජ්‍ය බුද්ධි සේවාව වශයෙන් පොලිස් අධිකාරීවරියන් දස දෙනා පත්වීම් ලැබූහ.

පොලීසිය සතු විශේෂිත දෙපාර්තමේන්තු රාශියක් අතුරින් ක්‍රියාත්මක රාජ්‍ය බුද්ධ සේවාව විශේෂ ස්ථානයක් හිමිකරගනී. නවක කාන්තා පොලිස් අධිකාරී ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න මහත්මිය එම රාජ්‍ය බුද්ධි සේවාවේ කටයුතු කරන්නීය. එබැවින් ඇය පිළිබඳව සඳහන් කිරීමට සිදුවන්නේ සීමා සහිතවය. පොලීසියට කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් බඳවාගත් පළමු වර්ෂය 1988ය. එසේ බඳවාගත් උප පොලිස් පරික්ෂකවරියන් තිදෙනා අතරට එක්වන්නට සෙනෙවිරත්න මහත්මිය සමත්වූවාය.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන ලබලා දැනට පොලීසියට බැදිලා අවුරුදු 28ක් වෙනවා. ඒ අතරතුර රාජ්‍ය බුද්ධි සේවයේ විවිධ ස්ථානවල කටයුතු කළා. පොලීසියේ ජාතික ආරක්ෂක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සමඟ විවාහපත් වූ මම දියණියන් දෙදෙනකුගේ මවක් යැයි සොම්නසින් යුතුව පැවසූවාය. 
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පොලීසියේ සේවයට එක් වූ පොලිස් අධිකාරීවරියන් අතර වංචා විමර්ශන කාර්යාංශයේ කාන්තා පොලිස් අධිකාරී රේණුක ජයසුන්දර මහත්මිය කෑගල්ල, දැදිගම මැණික්කඩවල ප්‍රදේශයේ සිට පොලිස් සේවයට බැඳී ඇත. මැණික්කඩවල ප්‍රාථමික විද්‍යාලය, දැදිගම ප්‍රාථමික විද්‍යාලය සහ ‍තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඇය ඒ පිළිබඳව පවසන්නේ ආඩම්බරයෙනි.

පාසල් අධ්‍යාපනයට පසුව 1997 පෙබරවාරි 15 වැනිදා පොලීසියේ කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් විදියට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. එම පුහුණු පාඨමාලාවේදී හොඳම ආධුනික නිලධාරිනිය විදිහට තේරුණා. පසුව පොලිස් පරික්ෂකවරියක් හා සහකාර පොලිස් අධිකාරිවරියක් විදිහට උසස්වීම් ලැබුවා. යුද සමයේදී ක්‍රියාන්විත ප්‍රදේශවල නොයෙක් රාජකාරීවල නියැළුණා. ප්‍රාදේශීය පොලිස්ථාන රැසක සේවය කළා. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඒක මේ ගමනට ලොකු අඩිතාලමක් වුණා. පසුව ළමා හා කාන්තා කාර්යාංශයේ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සේවය කළා. දැනට කොළඹ වංචා විමර්ශන ඒකකයේ වැඩ බලන අධ්‍යාක්ෂවරිය විදිහට සේවය කරනවා. මම විවාහ වී ඉන්නෙත් පොලිස් නිලධාරියෙක් සමඟ. ඔහු කොළඹ ප්‍රධාන පොලිස්ථානයක පොලිස් පරීක්ෂකවරයෙක්. දැන් මම දූවරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් යැයිද ඇය පැවසීය. වැඩිදුරටත් ඇය සඳහන් කරන්නේ යල්පැන ගිය අදහස් වලින් තොරව කාර්යශූර හැකියාව හා දක්ෂතා තුළින් ඉදිරියට යනවානම් කාන්තාවන්ට බොහෝදුරට ගමනක් යා හැකි බවය.

පඬුවස්නුවර කොස්දෙණිය මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා 1997 වසරේ පොලිස් සේවයට එක් වූ කාන්තා පොලිස් අධිකාරි ලංකා රාජිණී අමරසේන මහත්මිය පවසන්නේ මෙසේය.

මම ලොකු ආශාවකින් පොලීසියට බැඳුණේ. නමුත් මම පවුලේ එකම දරුවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාජකාරි කළා. උතුරු පළාත් හා දකුණු පළාත විශේෂයි. රාජකාරි කරන අතරේදී උසස් අධ්‍යාපනය හැදෑරුවා. අපි කැම්පස් යන්න බලාගෙන හිටපු කාලේ රටේ කැම්පස් ගොඩක් ස්ට්‍රයික් කරමින් තිබුණා. ඒකත් මට පොලීසියට බැඳෙන්න හේතුවක් වුණා. මම විවාහ වුණේ යුද හමුදාවේ ලුතිනන්වරයෙක් සමඟ. දැන් මම පුංචි දුවෙක්ගෙ අම්මා කෙනෙක්. සාමාන්‍ය කාන්තාවකට වඩා වෙනස් විදිහට හිතලා තීරණ අරගෙන මේ ගමන ආවේ. ඒ නිසා විශාල සතුටක් තිබෙනවා. කාන්තාවක් වශයෙන් ඉවසීම, නොසැලී ඉන්න සහ කඩිසරව වැඩකරන්න පුහුණුවක් ලැබී තිබෙනවා. බලාපොරොත්තුවක් තිබෙනවානම් තරැණියන්ටත් මේ වගේ අවස්ථාව තිබෙනවා.

වගකීම් දරන්නට ගැහැනු පිරිමි බේදයක් නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් අධිකාරී ආර්.ඒ.  දර්ශිකා කුමාරි මහත්මිය මහනුවර කටුගස්තොට පදිංචිකාරියකි. මහනුවර පුෂ්පදාන පාසලෙන් අධ්‍යාපනය ලබා කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවයට එක් වු ඇය මෙසේ පවසන්නීය.

පාසල් සමයේදී ශ්‍රී ලංකා පාසල් හොකී සංචිතය නියෝජනය කළා. පාසලේ ක්‍රීඩා නායිකාව සහ ශිෂ්‍ය නායිකාව වශයෙන් ගොඩක් බාහිර ක්‍රියාකාරකම් වලට දායක වුණා. සමස්ථ ලංකා තරග ජයග්‍රහණය කළා. පොලිස් පරීක්ෂවරියක් වශයෙන් වවුනියාව ප්‍රදේශයේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරියක් විදියට සේවය කළා. ඒ අතර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා ඩිප්ලෝමා සහ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිමකළා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශයේ කටයුතු කරනවා. මේ සියල්ල ලැබුණේ මගේ පාසල නිසයි. ඇය පවසන්නේ ආඩම්බරයෙනි. ව්‍යාපාරික සැමියා සමගින් කල් ගෙවන දර්ශිකා මහත්මිය ආදරණීය දියණියන් දෙදෙනකුගේ මවක බවද කීවාය.

රත්නපුර කොලොන්න මහා විද්‍යාලයෙන් සහ රත්නුපර සුමන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උපපොලිස් පරීක්ෂකවරියක වශයෙන් සේවයට එක් වූ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණි වීරසූරිය මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

1997 වසරේදී පොලීසියට බැදුණේ උප පොලිස් පරික්ෂකවරියක් වශයෙන්. මම වගේම උසස් වීම් ලබපු, රේණුකා, ලංකා දර්ශිකා මගේ කණ්ඩායමේ සාමාජිකාවන්. සහකාර පොලිස් අධිකාරීවරියක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලීසියේ හයිටි සහ ටිමෝර්වල සේවය කළා. ඊට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ, තොරතුරැ තාක්ෂණ සහ පරිපාලන අංශයේ කටයුතු කළා. යුද සමයේ ක්‍රියාන්විත රාජකාරිවල නිරත වුණා. වව්නියාව ප්‍රදේශයේදී පොලීසියේ අවුරුදු 20ක සේවය දුෂ්කරතා රාශියක් මැද ආ ගමනක්. උත්සාය සහ කැපවීම නිසා මේ තැන කටයුතු කරනවා යැයි ඇය පවසන්නීය.

යුද හමුදාවේ මේජර්වරයෙක් සමඟ විවාහ වී සිටින ඇය පුතුන් දෙදෙනකුගේ ආදරණීය මවක් වන්නීය.

පොලිස් මූලස්ථානයේ නිශ්කාශණ අංශයේ කාන්තා පොලිස් අධිකාරී ධීමතී පෙරියප්පෙරුම මහත්මිය 1984 වසරේදී උපසේවා උප පොලිස් පරීක්ෂකවරියක් වශයෙන් පොලීසියට එක් වූවාය. ඇය නිත්‍ය සේවයට එක්ව තිබුණේ 1992 වර්ෂයේදීය. 

මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් සහ නුගේගොඩ සමුද්‍රාදේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ දවස්වල පාසල් වේදිකාවේ රංගනයෙන් දායක වුණා. පොලිස් සේවයේදී ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කළා යැයි ඇය පවසන්නීය. කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ ඇය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හතිෂ් මාසෝ මහතාගේ බිරිය. ඇය එක්දරු මවකද වන්නීය.

මේ අතර පොලිස් අධිකාරි තනතුරට උසස් වීම් ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්. ඉමේෂා මුතුමාලි මහත්මිය හා කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි පී.ජේ. මදාරා ආරියසේන මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද කාර්යබහුලත්වය නිසා එම අවස්ථාව මඟ හැරිණ.

නීතිය හා සාමය ආරක්ෂා කරන අභිමානවත් පොලීසියේ කාන්තා පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලැබූ නිලධාරිනියන්ගේ අගනා සේවයට දේශය සුබ පතමු.

සමන්ත ප්‍රදීප් විල්තෙර