2017 මාර්තු 25 වන සෙනසුරාදා

අතේ මාට්ටු වූ තබ්බෝව කැලෑ කැපිල්ල

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

තබ්බෝව අභය භූමිය අයත් භූමියේ වන විනාශය සහ සත්ත්ව ඝාතන නැවැත්වීමට නොහැකි වී ඇත්තේ අභය භූමි ප්‍රදේශයේ සම්පූර්ණ බලය වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් නොතිබී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් තිබීම හේතුවෙන් බව සඳහන් වේ. වනජීවී දෙපාර්තමේන්තුව මෙම භූමිය ආරක්ෂා කිරීමට නිතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එය වැය වැළැක්වීමට කටයුතු කිරීම එයට හේතුව බවද සඳහන්ය.

මහා පරිමාණයෙන් ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්නා පුත්තලම ඇතැම් වන සංරක්ෂණ නිලධාරින් ජාවාරම්කරුවන්ට සහය දක්වමින් තම දෙපාර්තමේන්තුව යටතේ තබ්බෝව අභය භූමියට ඈඳාගෙන ඇති වනාන්තරය විනාශ කිරීමට ඉඩ ලබාදී නිහඬව බලා සිටින බවත් එසේ බලා සිටිනවාට අමතරව නීතිය ක්‍රියාත්මක කරන වනජීවී නිලධාරින්ට තර්ජනය කිරීමටද පෙළඹී ඇති බවත් කියති.


මාධ්‍යවේදින් හමුවේ බණ කියන බණ පොත් අච්චු ගසා බෙදා හරින ඇතැම් වනසංරක්ෂණ නිලධාරීන් කොතෙක් දුරට තම රාජකාරිය ඉටුකර ඇත්ද යන්න සොයා බැලීමෙදී ඔවුන්ගෙන් ඇතැමකු වැලි බොරලු රැකියා කරන්නන්ගෙන් මුදල් ලබා ගත් ආකාරය පිළිබඳවද හෙළිවිය. තබ්බෝව අභය භූමියට අයත් සීමාවේ ඇති භූමියේ බලය වනජීවී දෙපාර්තමේන්තුවට පවරා නොගතහොත් ඉදිරියේදී තබ්බෝව අභය භූමිය වෙනුවට කාන්තාරයක් හෝ තේක්ක වනාන්තරයක් බිහිවීම වැළැක්විය නොහැකි බව තතුදන්නා අය කියති.

2002 වසරේදී හෙක්ටයාර විසි එක්දාහක භූමි ප්‍රමාණයකින් තබ්බෝව අභය භූමිය නිර්මාණය වන විට මහා දැවැන්ත වෘක්ෂලතා වලින් පිරි තිබූ වනාන්තරය කාන්තාරයක් බවට පත් වන්නට වැඩි කාලයක් නොයනු ඇත. වනාන්තරය කාන්තාරයක් බවට පත්වීමේ රහස වන්නේ දැව ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට එය නතුවී තිබීමයි. වසර ගණනාවක පටන් සිදුවන මහා පරිමාණ ජාවාරම පිටුපස වගකිව යුතු බලධාරීන්, නිලධාරීන් සහා දේශපාලනඥයන් සිටීම තුළ මෙම විනාශය වළකාගැනීමට නොහැකිවී තිබේ. තබ්බෝව අභය භූමිය තුළට දැව කැපීමට යන ජාවාරම්කරුවන් දින කිහිපයක් කූඩාරම් තනා ආහාර පිළියල කර ගනිමින් එහි රැඳී සිට මහා පලුගස් කපා ඉරා ලී බවට පත් කරනවාට අමතරව සතුන් දඩයම් කර මස් වේලා කරවල බවට පත් කර අලෙවි කිරීමේ ජාවාරමේද නිරතවී ඇත. අභය භූමියේ කළ සංචාරයේදී දැක ගැනීමට හැකිවූයේ පලුගස් දහස් ගණනක් කපා විනාශ කර ඇති ආකාරයයි.
2016 වසරේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තබ්බෝව අභය භූමියේ ‍ප්‍රේරක කලාපය වන වීරක්කොඩිචෝලෙයි රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී සිදුවන වනසංහාරය පිළිබඳව අනාවරණය වීය. මාධ්‍යද ඒ බව වාර්තා කළ නමුත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම නිලධාරින් පිරිසක් එම ජාවාරම මැඩ පැවැත්වීමට කටයුතු කරනවා වෙනුවට ජාවාරම්කරුවන්ට සහය ලබාදී ඇති බව මනාව පැහැදිලි වන්නේ රාජකාරී කිරීමට වනයට ඇතුළුවන වනජීවී නිලධාරීන්ට බාධා කිරීම හේතුවෙනි.

තබ්බෝව අභය භූමිය නිර්මාණ කිරිමේදී රජයට අයත් වටිනා ගහකොළ සහිත ලඳු කැළෑ කැට, සින්නක්කර, ස්වර්ණ භූමී, ජය භූමි ඉඩම්වලට අමතරව මහා විශාල වෘක්ෂලතා වලින් පිරි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයවූ භූමීන්ද පරම්පරා ගණනක් වගාකළ ගොවිබිම්ද අභය භූමියට කොටුවීය. ලඳු කැලෑ මහ කැලෑ බවට පත්වන්නට ඉඩ නොදි දැව ජාවාරම් හමුවේ විනාශයට පත්වීය. මහා ගන කැලෑවේ රූස්ස ගස් කොළන් දහස් ගණනින් කපා විනාශ කර ඇත. වනජීවී දෙපාර්තමේන්තුවට ප්‍රතිජීවක ඹෟෂධ ලබාදිය යුතු බව අවස්ථා කිහිපයකදී වාර්තා කිරීමට සිදුවූයේ තබ්බෝව අභය භූමිය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී තිබීයදී වනජීවී දෙපාර්තමේන්තුව නිහඬ පිළිවතක් අනුගමනය කිරීම නිසාය. සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමද අප කළ වාර්තාවේ ප්‍රතිඵලයකි.

නිලධාරී අඩුව හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ සිදු නොකළ වැටලීම් ආරම්භ කිරීමට සිවිල් ආරක්ෂක නිලධාරින් අනුයුක්ත කිරීමත් සමඟ හැකිවී ඇත. ඒ අනුව ඉකුත් සති අන්තයක (03, 04, 05 දිනවලදී) වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයෙන් වනජීවී නිලධාරීන් සහා සිවිල් ආරක්ෂක නිලධාරීහු අභය භූමියට ඇතුළුවූහ. සවස් කාලයේදී ආරම්භ කළ ගමන රැය පහන් වන්නට පෙර අභය භූමිය තුළ දැව විනාශය සිදුකරන ආසන්නයට ළඟාවීමට හැකිවී ඇත. වනයට ඇතුළුවී කිලෝ මීටර පහළවක පමණ දුරක් ගෙවා අදාළ ස්ථානයට ළඟාවන්නට පෙර දඩයමේ නිරතව සිටී පුද්ගලයන් 04 දෙනෙකු තුවක්කුවක්, පතොරම්. වල් ඌරු මස් කිලෝ නවයක් සහ ඝාතනය කළ වල් ඌරෙක්ද සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබුණි. 
රැය පහන්වීමත් සමඟ දැව ජාවාරම්කරුවන් සොයා කළ මෙහෙයුමේදී ඉරා ගොඩගසා තිබූ දැව අඩි දහසකට අධික ප්‍රමාණයක් සහ යාන්ත්‍රික කියත් හයක් සමඟ සැකකරුවන් හතර දෙනකු අල්ලා ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේද පලුගසක් කැපීමට සූදානමින් යාන්ත්‍රික කියතක් ක්‍රියාත්මක කර තිබූ බව වනජීවී නිලධාරීහු පැවසීය. වනජීවී බාරයට ගත් දැව තොගය පිටතට ගෙන ඒම සඳහා ට්‍රැක්ටරයක් සොයා ගැනීම අපහසු කාර්යක් වීය. දැව ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් හිමිකරුවන්ට තර්ජනය කිරීම එයට හේතුවයි.

රෑ බෝවීමට ආසන්නව තිබියදී සිවිල් ආරක්ෂක නිලධාරින් මැදිහත්වී ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණි. ට්‍රැක්ටරයට ගිනි තැබීමට ජාවාරම්කරැවන් සූදානම් කර ඇති බවට වනජීවී නිලධාරීන්ට තොරතුරැ ලැබුණි. ට්‍රැක්ටරයට පටවා ගත් දැව තොගය සමඟ සිවිල් ආරක්ෂක නිලධාරින් ගමන් කිරීමත් සමඟ ජාවාරම්කරුවන් පලා ගොස් ඇත. වනයට ඇතුලුවූ වැටලිම් කණ්ඩායම 05 වැනි දින අලුයම වනයෙන් පිටතට පැමිණ ඇත. 06 වැනි දින පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 14 වැනි දින නඩුව කැඳවීමට නියෝගයක් ලැබී ඇත. පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයේ එදින නඩුව කැඳවූ අවස්ථාවේදි අප්‍රේල් 04 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට දක්වා ඇත.

කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ රියදුරු ලෙස සේවය කරන ජගත් නෙලුම්දෙණිය මහතාට ලැබුණු තොරතුරක් අනුව පුත්තලම කලාප අධ්‍යක්ෂ චන්ද්‍රසිරි හේරත් මහතාගේ උපදෙස් හා කරුවලගස්වැව වනසත්ත්ව අඩවි ආරක්ෂක එම් ඥානරත්න මහතාගේ මෙහෙයවීමෙන් ජගත් නෙලුම්දෙණිය ඇතුළු වනජීවී නිලධාරීන් සහ වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ සිවිල් ආරක්ෂ නිලධාරීන්ගේ එකමුතුවෙන් මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
දින තුනක මෙහෙයුම නිමාවී දිනක් ගත වෙන්නටත් පෙර තවත් වන විනාශයක තොරතුරු වනජීවී නිලධාරින්ට ලැබී ඇත. ඒ අනුව පසුගිය 07 වැනි දින දහවල් වනජීවී සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසි දෙදෙනකු යළිත් තබ්බෝව අභය භූමියට ගමන් කළේ මේ වාර්තාකරුද සමඟය. ගමනට යොදා ගෙන තිබුණේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ට්‍රැක්ටරයකි. සියලු දෙනා එහි නැගි වනයට ඇතුළුවූහ. මීටර පන්සියයක දුරක් යන්නට පෙර ට්‍රැක්ටරයේ ඉදිරි දකුණුපස රෝදයේ හුළං බැස්සේය.

තවත් කිලෝ මීටර ගණනාවක් යන්නට තිබුණි. හෙමින් හෙමින් ඉදිරියට ගමන් කරද්දී පාර දෙපස කපා දමා ඉරා ඇති ගස් දහස් ගණනක් දකින්නට හැකිවීය. වසර දහයක පමණ කාලයක පටන් මෙම ජාවාරම සිදුවී ඇති බවට දර්ශනවලින් වටහා ගත හැකිය. පැය පහක පමණ වේලාවකින් පසුව දැව ජාවාරම සිදුවන ස්ථානයට ළඟාවීමට හැකිවිය. ට්‍රැක්ටරයට පැටවිය නොහැකි තරමට ඉරා ගොඩ ගසනදලඳ පලූ දැව කඳන් ගොඩක් හමුවීය. කිසිවකු නොසිටී හෙයින් සැකරුවන් සොයා කැලය පීරන්නට නිලධාරීහු ක්‍රියා කළහ. නමුත් ජාවාරම්කරුවන් සිටියේ නැත.

ට්‍රැක්ටරයේ ටේලරයේ පිටුපස වම් රෝදයේද හුළං බසින්ට වීය. දැව කඳන් හමුවූ ස්ථානයට යාම සදහා තවත් කිලෝ මීටරයක් පමණ දුරක් ට්‍රැක්ටරය රැගෙන යා යුතු විය. මාර්ගයක් නොමැතිකම හේතුවෙන් මාර්ගයක් සකස් කිරීම සඳහා දැව ජාවාරම්කරුවන් කපා දමා තිබූ ගස් ඉවත් කරමින් ට්‍රැක්ටරය රුගෙන යාමට සිදුවීය. රාත්‍රි නවය පමණ වන විට අපි හැකි පමණ දැව කඳන් තොගයක් ට්‍රැක්ටරයට පටවාගෙන වනයෙන් එළියට ඒම ඇරුඹුවෙමු. අලුයම දෙක පමණ වනවිට වනයෙන් එළියට පැමිණ කිලෝ මීටරයක් පමණ දුරක් එන විට ට්‍රැක්ටරයේ ඉදිරි දකුණු පස රෝදයේද හුළං යන්නට වීය.
වනාතවිල්ලුවට පැමිණ රෝද ගැලවීම සඳහා උපකරණ සොයා ගෙන ගොස් රෝද ගලවාගෙන ටයර් වැඩපළකට ගොස් නිදා සිටී සේවකයකුට කතා කර ටියුබ් දෙකටම අණ්ඩ දමාගෙන ගෙන ගොස් ට්‍රැක්ටරයට සවිකර යථා තත්ත්වයට පත් කරගෙන වනාතවිල්ලුව වනජීවි කාර්යාලය දක්වා ට්‍රැක්ටරය ලී සමඟ රැගෙන යන විට උදෑසන හය පසුවී තිබුණි. හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සිදුකළ මෙම දැව ජාවාරම හසුකර ගැනීමට නොහැකිවූවා නම් තව වැඩි කාලයක් යන්නට පෙර අභය භූමිය හිස් පිටියක් බවට පත් වන්නට ඉඩ තිබුණි.

හතර දෙනකු විසින් දින හතරකදී විශාල පලුගස් අටක් බිම හෙලා ඉරා ලී බවට පත් කිරීමට කටයුතු කරන බව අත්අඩංගුවට පත් අවස්ථාවේ වනජීවී නිලධාරින් හමුවේ දැව ජාවාරම්කරුවන් පවසා ඇත. ඒ අනුව වසරකදී කොපමණ ගස් ප්‍රමාණයක් විනාශවනවාද යන්න ගණන් බැලූ විට මොවුන්ට දිය යුතු තරම් දරුණු දඬුවම් ලංකාවේ නිති පොතේ තිබේද යන්න සිතන්නට සිදුවනු ඇත. මෙවැනි ක්‍රියා නැවැත්වීමට නම් වැටලිම් වලින් පමණක් කළ නොහැකිය. නව නිති සකස් කර දැඩි දඬුවම් ලබාදිය යුතුය.

2012 වසරේදී තබ්බෝව අභය භූමිය නිර්මාණයවූ පසුව මෙතෙක් සිදුකළ විශාලතම වැටලීම සිදුකිරීමට හැකි වූයේ සිවිල් ආරක්ෂක නිලධාරින් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම නිසා බවත් මෙතෙක් වැටලීම් කිරීමට නොහැකිවූයේ  නිලධාරී අඩුවක් පැවති නිසා බවත් පුත්තලම වනජීවී කලාප අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතා පැවසීය. තබ්බෝව අභය භූමියේ සිදුවී ඇති වන සංහාරය සම්බන්ධයෙන් රාජකාරිය ක්‍රියාත්මක නොකර පැහැර හැරීයේ යැයි කියන පුත්තලම අඩවි වන නිලධාරීයා ඇතුළු පස් දෙනෙකුගේ සේවය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා විසින් අත්හිටුවනු ලැබ ඇත.
පසුගිය 10 වැනිදා සිට වැඩ තහනමට ලක්වී ඇත්තේ පුත්තලම අඩවි වන නිලධාරී කාර්යාලයේ ප්‍රධාන අඩවිවන නිලධාරී කමල් ජයකොඩි, බීට්ටුවන නිලධාරීන් වන අයි.ඩී. සෝමසිරි, අජිත් ලේකම්ගේ, වන යන්ත්‍ර සහකාරවරුන් වන ඉන්දික මල්රාජ්, ඒ.එච්.එම්. අබේසිංහ යන පස්දෙනාය. තබ්බෝව රක්ෂිතයේ සිදුකළ මහා පරිමාණ දැව ජාවාරම වැටලීමත් සමඟ කලබලයට පත් පුත්තලම අඩවි වන නිලධාරීවරයා ඇතුළු වන සංරක්ෂණ නිලධාරින් වනජීවී නිලධාරීන්ට වනයට ඇතුළු වීමට ඉඩ නොදී බාධා කර ඇත. එලෙස බාධා කිරීමට ඔවුන්ට හැකිවී ඇත්තේ තබ්බෝව අභය භූමියට අයත් ඇතැම් ප්‍රදේශවල කැලෑ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිව තිබීම නිසයි. මේ බව පැමිණිලි කිරීමෙන් පසුව ඉහළින් ආ නියෝගයක් මත වනජීවී නිලධාරින්ට වනයට ඇතුළුවීමට ඉඩදී නිහඬවී තිබේ.

වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමෙන් පසුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පරිසර අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් තබ්බෝව අභය භූමියේ සිදුවන වන විනාශය පිළිබඳ සොයා බැලීමට එවා ඇත. එම විමර්ශන කණ්ඩායම ලබාදුන් වාර්තාව අනුව වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පුත්තලම අඩවිවන නිලධාරියා ඇතුළු පස් දෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

♦ කතාව හා සේයාරූ - රෝවන් පෙරේරා පුත්තලම