2017 මාර්තු 25 වන සෙනසුරාදා

පෑවිල්ලෙන් එළවළු තුට්ටු දෙකට ; කෙසෙල් මිල උඩට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 0

 

පහතරට සහ උඩරට එළවළු කිහිපයක් හැරුණු විට සෙසු සියලුම එළවළු වල තොග සහ සිල්ලර මිල දැඩි ලෙස පහත බැස ඇති බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසති. මාස කිහිපයක් තිස්සේ පවතින වියලි කාලගුණික තත්ත්වයන්ද නොසලකමින් වගා ළිං ආදියේ ආධාරයෙන් වගාවන් සිදුකළ එළවළු ගොවීන් මේ හේතුවෙන් මහත් සේ අසරණව ඇති බව ඔවුහු හෙළිකරති. වම්බටු කිලෝවක තොග මිල රුපියල් 08 ක් වනවිට කැරට්, ලීක්ස්, ගෝවා, පිපිඤ්ඤා, පතෝල, රාබු, මෑ කරල්, කැකිරි, දඹල ආදියෙහි තොග මිල රුපියල් 30 නොඉක්මවන බවද ව්‍යාපාරිකයෝ පවසති.

තඹුත්තේගම, රාජපක්ෂගම එම්.බීග. ජනක මෙසේ කීය.

මේක පුදුම අමාරු කාලයක්. ගොවිතැන් කරන මිනිස්සුන්ට මොන අතින්වත් සහනයක් නෑ. එහෙන් සොබාදහම හරස් වෙලා. අනිත් පැත්තෙන් දහදුක් විඳලා කරගත්ත ගොවිතැනේ අස්වැන්න එනකොට ඒකට මිලක් නෑ. දැන් මේ තියෙන මිලේ හැටියට බටු එහෙම හදපු ගොවීන්ට යන්ඩ අතක් නෑ. මාකට් එකේ අහක දාන බටු ගෝනි ගණන් සමහර මිනිස්සු සත්තුන්ට කන්ඩ දෙන්න අරන් යනවා දැක්කහම බඩ, පපුව පිච්චිලා යනවා.

කිලෝ ග්‍රෑම් ලක්ෂ දෙකකට වැඩි එළවළු තොග දෛනිකව මධ්‍යාස්ථානයට පැමිණෙන බවත්, ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් දෛනිකව අපතේ යන බවත් ව්‍යාපාරිකයෝ කීහ.  මහවැලි එච් කලාපයේ නොච්චියාගම, තලාව, ගල්නෑව, බුල්නෑව, කලාවැව, තඹුත්තේගම, මහඉලුප්පල්ලම, එප්පාවල, මීගලෑව ආදි ප‍්‍රදේශවලින් මෙන්ම ඉන් බැහැරව රාජාංගනය, මැදවච්චිය ආදි ප‍්‍රදේශවලින් දෛනිකව ආර්ථික මධ්‍යස්ථානය වෙත ළඟාවෙන එළවළු තොග ඉතා ඉහළ අගයක පවතින බව ඔවුහු කීහ. මේ හැරුණු විට දඹුල්ල, නුවරඑළිය, වව්නියාව, පුත්තලම, යාපනය ආදි දිස්ත‍්‍රික්කයෙන් බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන එළවළු තොගද අසීමිතව ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති. 

එළවළු වගාවේ නියුතු තඹුත්තේගම, සඳසිරිගම යූ. ප‍්‍රසන්න සම්පත් පැවසූයේ මෙවැන්නකි.

මේ පාර කුඹුරු යායවල් පිටින් මූකලන් වැහුණා. එහෙමත් කෙනෙක් තමයි තමන්ගේ සම්පූර්ණ කුඹුර වැපුරුවේ. මේ හැම තැනකම වගේ ගොවියෝ කෙරුවේ එළවළු ටික ටික හදපු එක. සමහරු ළිං වලින් වතුර ගහලා එළවළු හැදුවා. සමහර තැන්වල මහවැලි කුඹුරුවලට එන වතුර ටික හරවලා එළවළු හැදුවා. දැන් මේ හැම තැනකින්ම එළවළු අස්වැන්න එනවා. පිටිනුත් එනවා. අහක දාන්ඩ තරමට එනවා. මිලක් නෑ. එළවළු හදපු මිනිස්සු ඉවරෙටම ඉවරයි. ඇත්තටම මිනිස්සු කල්පනා කෙරුවේ පෑවිල්ලත් එක්ක එළවළුවලට හොඳ මිලක් එයි කියලා. දැන් වහ බොන්ඩ දේ සිද්ධ වෙලා තියෙන්නේ.

පැවැති වියලි කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප‍්‍රදේශවල මෙවර මාස් කන්නයේ වී වගාව අසාමාන්‍ය ලෙස සීමාවී තිබිණි. ඉකුත් මහ කන්නවලට සාපේක්ෂව සමහර ප‍්‍රදේශවල මෙවර වී වගාව 20ක් තරමට පහත බැස තිබිණි. යම් යම් ප‍්‍රදේශවල වී වගාව මුළුමනින්ම අතහැර දමා තිබීමද විශේෂත්වයක් විය. කරුණු මෙසේ වූ හෙයින් ලද ඉඩ අවකාශය තුළ විකල්ප ජල සම්පාදන ක‍්‍රම ඔස්සේ සිදුකළ එළවළු වගාව ඉහළ ප‍්‍රතිශතයක් දක්වා වැඩි වර්ධනය විය.

කිසිවෙකුගේ නිසි මඟ පෙන්වීමක් හෝ උපකාරයක් නොලැබුණද මෙසේ සිදුකළ එළවළු වගාවේ අස්වනු වෙළෙද පොළ වෙත පැමිණෙත්ම තොග මිල අසාමාන්‍ය ලෙස පහත වැටීම ගොවීන් කබලෙන් ළිපට ඇද දමන්නක් වී ඇත. ආර්ථික මධ්‍යස්ථානයෙන් දෛනිකව ඉවතලන එළවළු තොග විශාල ප‍්‍රමාණයක් ගවයින්, ඌරන් ආදි සතුන්ගේ ආහාර බවට පත්වනුයේ එම අභාග්‍යය තවදුරටත් තීව‍්‍ර කරවමිනි. තලාව, 
තලාකොළවැව ප‍්‍රදේශයේ එළවළු වගාකොට, වෙළෙදාමේ නියැලෙන එම්. ජයරත්න මහතා මෙසේ පැවසීය.

මේක එක පැත්තකින් බලනකොට අසාමාන්‍ය තත්ත්වයක්. මිනිස්සු කල්පනා කෙරැවේ පෑවිල්ල තදවෙන කොට මේ පාර ඒ තරම් ලොකු එළවළු අස්වැන්නක් එන එකක් නෑ කියලා. ඒත් සිද්ධ වුණේ හිතපු දේ නෙමෙයි. මිනිස්සු මොන විදිහකින් හරි එළවළු ටික ටික හරි හදලා තියෙනවා. අස්වැන්න එනකොට තමයි රඟේ දැනෙන්න ගත්තේ. කොහොම බැලුවත් ගොවියයි, වෙළෙන්දයි, පාරිභෝගිකයයි ආරක්ෂා වෙන හැමෝටම සාධාරණයක් වෙන වැඩපිළිවෙළක් අපේ රටේ නෑනේ. මේ වෙලාවෙත් කොහෙන් හරි පැන්න අතරමැදියෝ තමයි ලාභ ගන්නේ. 

අපතේ යෑම, වර්ග කිරීම, ප‍්‍රවාහනය, නඩත්තු වියදම්, වැටුප් ආදි හේතු කර්ණ කොටගෙන තොග මිලට සාපේක්ෂව එළවළු සිල්ලර මිල කිහිප ගුණයකින් ඉහළට පැමිණෙන වග නොරහසකි. එහෙත් පවතින තත්වය හමුවේ අසීමිතව ලාභ උපයන අතරමැදි සිල්ලර වෙළෙඳුන් පිරිසක් බිහිව ඇති බව පාරිභෝගිකයෝ පවසති. යම් දේශපාලන හයියක්ද සහිතව මොවුන් මඟ දිග රැඳෙමින් රුපියල් දහය පහළොවට තොග වශයෙන් ගන්නා එළවළු රුපියල් හැට හැත්තෑවට අලෙවි කරන බව ජනතාව පවසති. ඉකුත් දින කිහිපය වනවිට &තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග සහ  සිල්ලර එළවළු කිලෝවක මිල ගණන් පහත පරිදි විය.

මේ අතර සියලුම කෙසෙල් වර්ගවල තොග සහ සිල්ලර මිල ඉහළ ගොස් ඇත. පැවැති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි කලාපය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කෙසෙල් කොටු විනාශ වී ඇති බව ගොවිහු පවසති. ඒ අනුව දෛනිකව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එන කෙසෙල් තොග විශාල ලෙස අඩුවීමෙන් මෙසේ මිල ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පවසති. අලුත් අවුරැදු උත්සව සමය ළඟාවෙත්ම තවදුරටත් කෙසෙල් මිල ඉහළ යා හැකි බවද ඔවුහු සඳහන් කරති.

මේ වනවිට ඇඹුල් සහ සීනි කෙසෙල් කිලෝවක තොග මිල රුපියල් 70ත් 80ත් අතර මිලක පවතින අතර, කෝලිකුට්ටු කිලෝවක තොග මිල රුපියල් 120ත් 130ත් අතර මිලක පවතී. මාලු (අළු) කෙසෙල් කිලෝවක තොග මිල රැපියල් 45ත් 55ත් අතර පවතී. මීට සාපේක්ෂව බාහිර වෙළෙඳ පොලේ කෙසෙල් සිල්ලර මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව කියති.  

I සටහන හා ඡායාරූප - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග