2017 මාර්තු 18 වන සෙනසුරාදා

රන්කරඬුව වැඩමවූ වාසනාවන්ත ඒකදන්ත

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 499

 

දෙව්පුර ඇතෙකී... කුඹු දහසයකී... ගජගා වන්නම් තාලයට අනුව පාද තබමින් දළදා පෙරහරේ ගමන් කළ ඒකදන්ත හස්තියා පසුගිය මැදින් පෝ දින (12දා) හදිසියේම මියගියේය. ඒ බුදුදහමේ සඳහන් ජීවිතයේ අනිත්‍යබව සනාථ කරමිනි. හදිසියේ අසනීප වූ හස්තියා ආහාර ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රතිකාර කිරීමට පෙරම මිය ගොස් තිබේ. 

 

මියයන විට ඌ බැඳ සිටියේ දළදා මාලිගයේ ඇත්ගාලේය. එය පිහිටා ඇත්තේ මහනුවරට නුදුරු පල්ලේකැලේ ප්‍රදේශයේය. මාලිගයේ ඇත් පන්තියට අයත් හස්තීන් 13 දෙනෙකුගෙන් එක් උද්යෝගිමත් සාමාජිකයෙක් වූයේ ඒකදන්තය. ඉන්දිරාජා, කාවේරි රාජා, බුරුම රාජා, මියන් රාජා, විජය රාජා, අවිත්ත, සිංහ රාජා, මිගාර, එරමිණියේ අලියා නාලක සහ කණ්ඩුල සෙසු අලිඇතුන් අතර වෙති. 

ඒකදන්ත හස්තියා දළදා මාලිගාවට පූජා කර තිබෙන්නේ 1978දී හිටපු ඇමැතිවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසිනි. ඒ වනවිට උගේ වයස අවුරුදු හතරකි. ජීවිත කාලයෙන් දශක තුනකට වැඩි කාලයක් වාර්ෂිකව ඇසළ පෙරහරේ ගමන් කර ඇත. අවසන් රන්දෝලි පෙරහරින් පසු පැවැත්වෙන දවල් පෙරහරේද අවස්ථා ගණනාවකදී කරඬුව වැඩම කරවීමට ඒකදන්ත හස්තියා සහභාගි වී තිබේ.

දළදා කරඬුව වැඩම කරවීමට තෝරාගැනෙන හස්තීන් උසස් ලක්ෂණ දරන හස්තියකු විය යුතු බවට විශ්වාසයක් පවතී. අලි ඇතුන්ගේ ගති ස්වභාවය අනුව මංගල ලකුණු සහ අව ලකුණු සහිත වශයෙන් වර්ග කෙරේ. කරඬුව වැඩම කරවීමට යොදා ගන්නේ මංගල ලකුණු වැඩි හස්තියෙකි. ඒකදන්ත හස්තියාද මංගල ලකුණු සහිත ඇතෙකි. එක් දළයක් පමණක් වැඩී තිබූ නිසා ඌට ඒකදන්ත යන නම ලැබී ඇත. කුඩා කල දළ දෙකම පිහිටා තිබුණද පසුව එක් දළයක් වැටී තිබේ. ඒ අනුව දැනට මෙරට හීලෑ ඒකදන්ත ඇතුන් සිටින්නේ තවත් දෙදෙනෙකු පමණි. ඒ හෙයියන්තුඩුවේ ඇතා සහ මල්වතු නාහිමියන්ට අයිති ඇතාය. 

දවස් දහයක් පෙරහරේ යනවිට හැම අලියෙකුටම මහන්සිය දැනේ. එවන් අවස්ථාවලදී දළදා කරඬුව ගෙනයාමට විශ්වාසය තැබිය හැක්කේ ඒකදන්තයා වෙත බව පැවසේ. ඒකදන්තයා වාසනාවන්ත අැතෙකු බවද පිළිගැනේ. ඒ හස්තියා මාලිගාවට ලැබුණු පසු මාලිගාවේ ඇත්පන්තිය සීඝ්‍රයෙන් වර්ධනය වූ බවටද විශ්වාසයක් පැතිර පවතී. 

කරඬුව වැඩම වූ රාජා හස්තියා මියගියේ වයසට යාමෙනි. එහෙත් ඒකදන්තයාට තව වර්ෂ ගණනාවක් ජීවත්වීමට අවස්ථාව තිබුණි. මේ හස්තියා මියයාම පිළිබඳ හේතුව දැනගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විණි. පැය 3 1/2½ක කාලයක් පැවැති එම මරණ පරීක්ෂණයට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය කවීන්ද්‍ර ජයසුන්දර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවේ වෛද්‍ය විජිත සහ වෛද්‍ය බණ්ඩාර පශු වෛද්‍යවරැන් සම්බන්ධ වූහ. පේරාදේණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෝ රැසක්ද මේ අවස්ථාව නිරීක්ෂණයට එක්වූහ. 

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද අංශයේ ආචාර්ය කවීන්ද්‍ර ජයසුන්දර මෙසේ පැවසුවේය.

අපි මුලින්ම ඇතාගේ සිරුරේ මතුපිටින් පේන වෙනස්කම් නිරීක්ෂණය කළා. ඇතා මද කිපිලා ඉඳලා තිබෙන්නේ. ඌ ආහාර අරන් තිබෙනවා. නමුත් මද කිපුණු විට ගන්නා ආහාර ප්‍රමාණය තරමක් අඩුවෙනවා. ඌගේ ආහාර ජීර්ණ පද්ධතියේ වෙනස්කම් පරීක්ෂා කළා. අන්ත්‍රවල හැර වෙනත් ඉන්ද්‍රියන්වල වෙනස්කම් තිබුණේ නැහැ. ආහාර පද්ධිතියේ පසුපස කොටසේ රුධිර වහනයක් වෙලා තිබුණා. මරණයට හේතුව අන්ත්‍රවලට රුධිරය වහනය වීමයි.

එලෙස අභ්‍යන්තර රැධිර වහනයට හේතුවක් තිබෙනවාද?

ඔව්. අපි හිතනවා බැක්ටීරියා ආසාදනයක් නිසා මෙය සිදුව ඇති බවට. නමුත් නිශ්චිත හේතුව දැන ගැනීමට සෛල පටක තවදුරටත් විද්‍යාගාර පරීක්ෂණවලට යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සාම්පල පශු වෛද්‍ය පීඨයට අරන් ආවා. පරීක්ෂණ නිමවී ප්‍රතිඵල දැන ගැනීමට සති දෙකක් පමණ යාවි ආචාර්ය කවීන්ද්‍ර පැවසුවේය.

නැදුන්ගමුවේ රාජා, ඉන්දිරාජා හා කතරගම වාසනා හස්තියාට ලැබුණු දළදා කරඬුව වැඩම කරවීමේ වාසනාව ලත් ඒකදන්ත හස්තියා පසුගිය 13දා අවසන් ගමන් ගියේය. ඒ දළදා මාලිගාවේ ඇත්ගාලේදීය. මහා සංඝරත්නය වැඩම කර මතක වස්ත්‍ර පූජාවක්ද එහිදී සිදු කළහ. කුණ්ඩසාල රජමහා විහාරයේ රඹුක්වැල්ලේ විපස්සි හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා එයට සහභාගි වූහ. 

දළදා පෙරහර මෙවරත් සුපුරැදු පරිදි ඉදිරියේදී පැවැත්වෙනු ඇත. එහෙත් ඒ හේවිසි නාදයට අනුව පය තබමින් යන එක් දළයක් සහිත ඒකදන්තයා නොමැතිවය.

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - ජේ.ඒ.එල්. ජයසිංහ