
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ගම්මානයක් වූ උඩමත්තල ගම්මානයට රාජපක්ෂ ගුණසේකරගේ පේමාවතී මාතාව 50 දශකයේදී පැමිණියේ තම විවාහය හේතුවෙනි. ඕ තොමෝ දරුවන් පහළොස් දෙනකු මෙලොවට දායාද කළ උත්තම මාතාවක් ලෙසින් අද ද එම ගම්මානයේ පදිංචිව සිටින්නීය. 1942/10-26 දින තණමල්විල පෑවූවැව ගම්මානයේ උපත ලබා ඇති පේමාවතී අම්මා දැනට 75 වැනි වියේ පසුවෙන්නේ නීරෝගීවය. ඈ ගත රෝගී තත්ත්වයක් කිසි අයුරකින්වත් නොමැත්තේය.
හොඳට ඇවිදින, හොඳට කන් ඇසෙන, හොඳට ඇස් පෙනෙන, නිරෝගී භාවය ප්‍රේමාවතී අම්මාට උපතින්ම දායාද වී තිබේ. පේමාවතී මාතාව පවසන පරිදි ඈ වයස අවුරුදු දාහතරේදී උඩමත්තල සුප්‍රසිද්ධ ගල්වැව ගම්භාරයා වන සිංආරච්චිගේ අමරජීව තරුණයා සමඟ විවාහ ගිවිස ගත්තීය. අනතුරුව දැනට විවාහ දිවියේ 60 වැනි සංවත්සරයද පසුකර ඇති මාතාව එදා මෙදා කාලය තුළ ඉතාමත් සතුටින් විවාහ දිවිය ගෙවන්නට දෙදෙනාම කටයුතු කළ බවත් එය නව පරම්පරාවේ තරුණයන්ටත් හොඳ පාඩමක් බවත් ප්‍රකාශ කළාය.
තමන් දරුවන් පහළොස් දෙනකුගේ දයාබර මෑණියන් කෙනකු වන අතර පුතාලා අටදෙනෙක් සහ දූවරු හත්දෙනෙක් මෙලොවට බිහිකළ බව ඇය පවසනුයේ දැඩි සතුටකිනි.
තමන් පළමු දරුවා මෙලොව බිහිකරද්දී වයස අවුරුදු පහළොවක් තරම් වයසේ පසුවූ බවත්, පහළොස්වැනි දරුවා අවුරුදු හතළිස් පහ වයසේදී බිහිකළ බවත් පේමාවතී මාතාව පවසයි.
මේ වනවිට ගල්වැව ගම්භාරයා වන පේමාවතීගේ ස්වාමීපුරුෂයා 77 වියේ පසු වෙයි.
පේමාවතීගේ ස්වාමිපුරුෂයා වන ගල්වැව ගම්භාරයා එදා අතීතයේ එළහරක්, මීහරක් බාන් සිය ගණනක හිමිකරුවෙකි. හම්බන්තොට වැනි ප්‍රදේශවල ඒ කාලයේ ගව සම්පත් තියෙන පුද්ගලයන් හට විශාල ලෙස මුදල් හදල් තිබී ඇත. ඒ අය සමාජයේ විශේෂ පැලැන්තියක සල්ලිකාර පුද්ගලයන් වූ අතර ඔවුහු ගම්භාර යන නමින් හඳුන්වනු ලැබූහ.
පේමාවතී මාතාවගේ ස්වාමියා එලෙස මහා ගම්භාරයෙක් වනවිට මෙම අම්මා දරුමල්ලන්ද හදාවඩාගෙන කුඹුරු හේන් පිටිවලද වැඩකරමින් කාලය ගතකර තිබේ.
“එදා අපි දරුවෝ බිහිකළේ අපේ ගෙදරදීම. මගේ ගම්භාර දෙයියාගේ අම්මා මගේ නැන්දම්මා තමයි වින්නඹුකම කළේ. ඒ නිසා දරුවන් ලැබෙනකොට ඉස්පිරිතාලේ ගියේ නැහැ. මම මේ සෑම දරුවකුටම අවුරුදු තුනක් විතර තන කිරි විතරමයි දුන්නේ. දරුවෝ හොඳට මව් කිරි බිව්වා.
ඒකාලේ අපි කෑවේ කුරහන් තලප එක්ක දඩමස් හොදියි, මුං ඇට ආනමයි.
ඒ කෑම නිතරම ගෙදර වේල් දෙකක්ම කනවා. ඉතිං ඒවා කෑවම මට හොඳට කිරි එරෙනවා. අපි තලප කාලා නිකං ඉන්නේ නැහැ. කැත්තේ උදැල්ලේ වැඩකරනවා. මිරිස් අඹරනවා, වී කොටනවා. කුරහන් ගලේ දාලා කුරහන් අඹරනවා ඒ වැඩකරනකොට අපේ ඇඟට පුදුම ශක්තියක් එනවා.
දරුවන් වෙනුවෙන් තනකිරි නිතරම වැගිරෙනවා. ඒ බලය තමයි මේ දරුවන් හදන්න අපිට ශක්තියක් වුණේ.
ඒ කාලේ ගෝන මස් වේලලා කෑලි කපලා මී පැණිවල පොඟවාගෙන අපි නිතරම කනවා. කැලේ කටු බටු, වෙද බටු, කටු අල අපේ කෑමවලට වරදින්නේම නැහැ.
කුරක්කන් තලප සමඟින් ජිවුල් හොදි, මලක්කා ගසන මුව කොවුවන්ගේ හොදි, බිබික්කං කැවුම් මී පැණියෙන්ම සැදි කැමැත්තෙන්ම කතහැකි උඩමත්තලදී. මෙන්න මේවාගේ අපේ එදා ආහාර ගැන පැරණි කවි පන්තියක් තියෙනවා.
යලට මෙදේරි මාහට කුරක්කන්
වෙලට බැස විට හිඳ බතුත් කන්
පිනට පහළ වුණු මී පැණි බිබික්කන්
අපට මොකද වුණෙ අහරන් අනෙක්කන්...
අපි දරුවන්ට ඒ කාලේ බිත්තර දුන්නේ නැහැ. පුළුවන් කාලේ එනකොට දරුවන්ට බත් දුන්නා. දරුවෝ කුරහන් තලප කෑවා. මේවා කාලා තමයි උන් ලොකු මහත් වුණේ. අපේ දරුවෝ ජීවිතයටම ලැක්ටෝජන් පිටි, චීස්, සොසේජස් කාලා නැහැ. අපිට ඕනතරම් එදා කොස්, පොළොස්, බත්, මෙදේරි බත් තිබුණා. ඒවා තමයි දරුවෝ කෑවේ. අපිට එදා වාහන බස් තිබුණේ නැහැ. දරුවන්ට ලෙඩක් හැදුණාම හැතැප්ම පහක් විතර පයින් එනවා ලුණුගම්වෙහෙර ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න.
මගේ දරුවෝ තුන්දෙනෙක් මේ වනවිට මිය ගිහින්. එයින් එක් දරුවෙක් යුද හමුදාවේ ඉන්නකොට යුද්දෙදී මිය ගියා.
මම ගොඩාක් ආඩම්බර වෙනවා යුද්දෙ නතර කරන්න රට ජාතිය වෙනුවෙන් මගේ දරුවෙක් දිවිපිදීම සම්බන්ධව.රට වටේම මගේ දරුවෝ දැන් පදිංචිවෙලා ඉන්නවා. කොළඹ, ගාල්ල, අකුරැස්ස, හම්බන්තොට, වගේම මේ ගමේත් දරුවෝ හයදෙනෙක් පදිංචිවෙලා ඉන්නවා.
මේ සෑම කෙනෙක්ම නිතරම වාගේ අපිව බලන්න එනවා. මට දරු මුණුපුරෝ 24 දෙනෙක් දැනට ඉන්නවා.
දැන් නම් මේ ගම්මාන දියුණුයි. එදා අතීතයේ අපි ගොඩාක් දුක් ගැහැට විඳලා තමයි මේ දරුවෝ හදාගත්තේ. අපි එදා හිටියේ මහ ඝන වනාන්තර ප්‍රදේශවල. අද ඒ තත්ත්වය නැහැ.
ඒත් අද තියෙන ප්‍රශ්න හින්දා අපේ දරුවන්ගේ පවුල්වල දරුවෝ ඉන්නේ එකා දෙන්නා විතරයි. එදා වාගේ දරුවෝ හදන්න මේ අයට බැහැ. ඒ තරමටම අද කාලේ වෙනස්වෙලා. පුතේ! හදන එක දරැවාට වූවත් හොඳට මව්කිරි අවුරුදු තුනක්වත් බොන්න දෙන්න. එතකොට නිරෝගී දරුවෙක් රටට දායාද වෙයි.
පේමාවතී අම්මාගේ සෙනෙහෙබර ප්‍රාර්ථනාවයි ඒ.
♦ රුක්මන් රත්නායක