2017 මාර්තු 18 වන සෙනසුරාදා

පොළොවේ හැප්පෙන වළං කර්මාන්තය

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1572

ඇය සකපෝරුව ඉදිරියේ හරිබරි ගැසී වාඩිවූවාය. ඕ නමින් දීපානිය. මේ වනවිට ඇයගේ වයස අවුරුදු තිස් හතකි. වයස අවුරුදු පහළොව, දහසය පිරෙන විටම ඇය මහ පොළොව සමඟ හරි හරියට ඔට්ටු වූවාය. ඇයගේ එක් පසෙක ඇත්තේ හොඳට පදම් වී ඇති මැටි ගොඩකි. ඒ ලෙස පදමට සකස්කොට ඇති මැටි ගුලියක් ගෙන ඇය සකපෝරැව මත තැබුවාය. ඇය තමන්ගේ වමතින් සකපෝරුව දැන පමණට කරකවන්නීය. දකුණතින් සකපෝරුව වටා කැරකැවෙන මැටි ගුලියෙන් ඇය නා නා මාදිලියේ මැටි වළං ඇතුළු භාණ්ඩ රැසක් තම සහජ හැකියාවෙන් නිපදවූයේ අපගේ දෑස් පනාපිටමය.

දීපානි සිය දෑතින් විවිධ හැඩතල දමමින් මැටි වළං, හට්ටි, මුට්ටි, ඇතිලි, මල් බඳුන් මෙන්ම මැටි පහන්ද නිර්මාණය කරන්නීය. සිංහල අලුත් අවුරුද්ද අත ළඟටම පැමිණ ඇති බව මේ දිනවල කොහාගේ නාදයෙන් අපිට මතක් වෙයි. සිංහල අලුත් අවුරුද්ද නිසාවෙන්ම මේ දිනවල ඇයගේ දෑතින් වැඩිපුර නිමවෙන්නේ නැකතට කිරි උතුරවන කුඩා මුට්ටිය. එමෙන්ම සිංහල අලුත් අවුරුද්දට කිරිබත් උයන තරමක විශාල ප්‍රමාණයේ වළංද ඇය තම අතින් නිපදවන්නීය. දීපානිගේ දෑත් අනිකුත් කාන්තාවන්ගේ සේම සියුමැලි නොමැත. දෑත් පුරාම ඇත්තේ කරගැටය. දෑත් සියුමැලි නොවුණද ඇය විසින් නිපදවන මැටි වළං, මුට්ටි, ඇතිලි ආදිය ඉතා අලංකාරය.

මුළුතැන්ගෙයි ආහාර පිසීමේදී භාවිත වන රතු මැට්ටෙන් තනන ලද මැටි වළඳ වඩාත් රසවත්, ගුණාත්මකබවෙන් යුත් ඉහළ ආහාරයක් පිළියෙල කරගැනීමට උපකාරී වෙයි. එමෙන්ම අතීතයේදී සෑම නිවසකම පාහේ ගෘහණියන් ආහාර පිසින විට මැටි වළං භාවිත කරන්නට බොහෝ සෙයින් පුරුදුව සිටියද අද වනවිට මැටි වළඳ අභාවයට යමින් ඇති බවක් පෙනෙන්නට ඇත. මෙරට ජන සමාජයේ කුඹල් කර්මාන්තය යකඩ යුගය දක්වා දිගහැරෙන අතර මැටි කර්මාන්තය ආර්යයන්ගේ පැමිණීම තුළ විනාශ වන්නට ඇති බවට බොහෝ දෙනාගේ විශ්වාසයයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙන්ම දිවයිනේ පාරම්පරික මැටි කර්මාන්තයට හිමිකම් කියන කඩුවෙල රණාල ප්‍රදේශයේ සම්ප්‍රදායික මැටි කර්මාන්තකරුවන් මේ වනවිට එම කර්මාන්තයේ ඇති දුෂ්කරතා හේතුවෙන් සම්ප්‍රදායික මැටි ආශ්‍රිත නිෂ්පාදන අතහැර දැමීමට සිදුවී ඇති බවට මැසිවිලි නගති.

මෙලෙස කෙමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින මැටි වළං ඇතුළු නිෂ්පාදනවල අඩුවීම පිළිබඳව දැන ගැනීමට අපි මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන කිහිප දෙනකු සොයා ගියෙමු.

එහිදී අදහස් දැක්වූ කඩුවෙල රණාල ප්‍රදේශයේ එම්.ආර්. සමන්තිලක.

මම අවුරුදු 25-30ක් විතර දැන් මේ කර්මාන්තයේ නියැලෙනවා. ඉස්සරට වඩා ඔක්කොම දේවල් දැන් ගණන් වැඩියි. මේ වළං එහෙම හදන්න අපිට මැටි නැහැ. අපි පිටින් තමයි මැටි ගේන්නේ. නමුත් දැන් මැටි ප්‍රවාහනයේත් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ කර්මාන්තය කරගෙන යන්න හරි දුෂ්කරයි. දැන් මැටි කියුබ් එකක් රුපියල් 9000ක් විතර වෙනවා. අපි මුල් කාලයේ මේ කර්මාන්තයට එනකොට වෙල් වලින් මේ මැටි නිකම් දුන්නේ. නමුත් දැන් මේ කර්මාන්තය හැමතැනම කරනවා. දැන් ඉස්සර වගේ මැටි නිකම් දෙන්නේ නැහැ.

එහෙම කළත් අපෙන් පස්සේ මේ කර්මාන්තය කරගෙන යන්න කවුරුත් නැහැ. අනික දැන් මැටි වළං ඇතුළු භාණ්ඩ විකුණන්න තියෙන තැන්වල පවා මේ නිෂ්පාදන හදනවා. එහෙම වෙනකොට ඉතින් අපේ කර්මාන්තයේ බිස්නස් කඩා වැටෙනවා. මේ මැෂින් එහෙම මම තමයි තනියම හදාගත්තේ. පැවතුණු කිසිම රජයකින් අපිට සහනයක් ලබාදුන්නේ නැහැ. පහුගිය ගංවතුර වෙලාවේ මඩුව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. අනික මේ ගැටලු නිසා අපේ ගම්වල තරුණ තරුණියන් මේ රුකියාවට එන්නේ බොහොම අඩුවෙන්.

එම්.ජී. හේමසිරි

මම රැකියාවක් කරන ගමන් තමයි ඇවිත් මේ වැඩේ කරන්නේ. දවසට රුපියල් 1200ක් විතර මේකෙන් හොයන්න පුළුවන්. මමත් තව කෙනෙක් යටතේ තමයි වැඩකරන්නේ. මේ කර්මාන්තය දැන් කෙ‍මෙන් කෙ‍මෙන්  අභාවයට යනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් මැටි එහෙම හොයාගන්න හරි අමාරුයි. මැටි ගේනකොට පර්මිට් තියෙන්න ඕන. එහෙම පර්මිට් නැත්නම් පොලීසියෙන් අල්ලනවා. වැස්ස කාලයක් ආවොත් මේවා වේලගන්න අමාරැයි. අනිත් එක දැන් කාලේ ළමයි මේ කර්මාන්තෙට එන්නේ නැහැනේ ලැජ්ජයි කියලා.

දීපානි විජේතිලක

මේ කර්මාන්තය අපේ පාරම්පරික කර්මාන්තයක්. මගේ ගම මෙහෙමයි. රණාලේ. මම බැන්දේ දැඩිගමට. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේ කර්මාන්තය කරන්න පටන් ගත්තා. වළං, ඇතිලි, මුට්ටි, මැටි පහන් මේ ඕනෑම භාණ්ඩයක් මට හදන්න පුළුවන්. මහන්සිවෙලා වැඩ කළොත් දවසකට රුපියල් 1500ක් විතර හොයන්න පුළුවන්. දැන් ඉස්සරහට එන්නේ අලුත් අවුරුද්ද. ඒකෙන් පස්සේ වෙසක් එක. ඉතින් අපි මේ දවස්වල වැඩිපුර හදන්නේ පුංචි මුට්ටි. මොකද අවුරුද්දට කිරි උතුරවන්න ගන්න නිසා. ඒ වගේම තමයි මැටි පහන් එහෙමත් අපි දැන් හදනවා. මොකද වෙසක් පෝයත් ළඟ එන නිසා. සකපෝරුවෙන් දවසකට මැටිපහන් දාහක් විතර හදන්න පුළුවන්. ගාමන්ට් ගිහින් හැමෝගෙන්ම බැනුම් අහං වැඩකරනවාට වඩා පුරුදු රස්සාවම මෙහෙම කරන් යන එක හොඳයි.

“අපි වළං හදනවා කිව්වම අපි දිහා සමහරු බලන්නේ හරිම අමුතු විදිහට. ඒත් මේ කර්මාන්තය අපිට ලැජ්ජාවක් නෙමෙයි. ඒත් වෙලා තියෙන්නේ තවමත් අපි පුරුදු විදියට තමයි වළං හදන්නේ. හදිසියට එහෙන් මෙහෙන් අටවාගත්ත මඩුවල තමයි අපි මේ රස්සාව කරන්නේ. සමහර පෝරණු තියෙන්නෙත් මේ මඩු ඇතුළෙමයි. රස්නෙ දරාගන්න බැහැ.”
“අනෙක වැහි කාලෙට මේ රස්සාව කොහෙත්ම කරන්න බැහැ. ගොඩක් දෙනෙක් ඒ කාලෙට මේ රස්සාව අතහැරලා දානවා.” යනුවෙන් එතැන සිටි කාන්තාවන් කිහිප දෙනෙකුම අපට පැවසුවේ දුක්මුසු ස්වරයෙනි. එක් පසෙකින් මැටි වළං භාවිතය සුලබ කරන පසුබිමක මෙරට මැටි වළං අවශ්‍යතාවයෙන් සැලකිය යුතු අගයක් සපුරණ රණාල මැටි කර්මාන්තකරුවන්ගේ සිතැඟි ආයාචනා රුසකින් පිරී ඇත.

අවසානයේ රොබට් නොක්ස් පුරාතන මැටි කර්මාන්තකරුවන් ගැන කියූ වදනක් මෙලෙස සටහන් කොට තබමි. “සිංහලයෝ උණුකිරීම, තැම්බීම, බැදීම හා දිය ගෙන ඒම පිණිස විවිධ මැටි බඳුන් තැනීමෙහි දක්ෂයෝය.”

♦ හසිත් අංජන
සේයාරූ I සුමුදු හේවාපතිරණ