2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

රට අමාරුවේ දමන විරෝධතා උද්ඝෝෂණ තහනම් වෙයි?

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

 

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල සතියේ සෑම දිනකම පාහේ විරෝධතා උද්ඝෝෂණ අපට දැකගත හැකිය. දිනෙන් දිනම විවිධ දේශපාලන ව්‍යාපාර, ශිෂ්‍ය සංගම්, වෙළෙඳ සංගම් ආදී සංවිධාන විසින් දියත් කරන මෙම උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්වෙති.

මහජනතාව පීඩාවට, අපහසුතාවයට පත් කරවමින් සිදුකරන විරෝධතා, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට මේ වන විට රජය සූදානම්ව සිටී. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ මහජනතාවට අවහිර නොවන ලෙස නීතිය හා සාමය පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බවත්, නගරවල මහා මාර්ගයන්හි පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණ නිසා මහජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මඟහැරවීම සඳහා මෙම නව පනත කෙටුම්පත් කිරීමට අවධානය යොමු වී ඇති බවත්ය.

මහජනයාට පීඩාකාරී අයුරින් සංවිධානය කෙරෙන මෙම විරෝධතා උද්ඝෝෂණ තහනම් කළ යුතු බවට යෝජනාවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව මරික්කාර් මහතා පසුගියදා මෙම උද්ඝෝෂණවලදී මහජනතාවට ඇතිවන පීඩාව සම්බන්ධයෙන් සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

2015 ජනවාරි මස 08 වැනිදාට පෙර අද මෙන් උද්ඝෝෂණය කරන පිරිස්වලට මෙලෙස උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.  ඒ කාලය තුළ මේ වගේ උද්ඝෝෂණ කළානම් සුදු වෑන් එකකින් උස්සනවා. එහෙම නැත්නම් අතපය කපනවා. උද්ඝෝෂණය කරන පිරිස්වලට පහර දෙනවා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති මානව අයිතිවාසිකම්වලට ගරු නොකරන නීතියේ ආධිපත්‍යය රජ නොකරන සමාජයක් තමයි තිබුණේ. ඒ තත්ත්වය නැති කරන්න තමයි 2015 ජනාධිපතිවරණයේ දී මහජනතාව යහපාලනයට ඡන්ද දුන්නේ.

අද වන විට මේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙගලන තත්ත්වයට පත්වෙලා තියෙනවා. නමුත් මේ ලැබී තිබෙන නිදහස හා නීතියේ ආධිපත්‍ය ලැබිය යුත්තේ රටේත් මේ ජන සමාජයේත් දියුණුව සඳහා මිසක රටේ පරිහානියට නෙවෙයි කියන එක තමයි අපගේ අදහස. අද මේ රටේ දිනෙන් දිනම ඇති උද්ඝෝෂණ ව්‍යාපාර නිසා විදේශයක සිට ආයෝජකයෙක් ආවත් ඔවුන් පවා හැරිලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ.

විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය පිළිබඳව අපි ගරු කරනවා. නමුත් වෙනත් අයිතීන් කඩ කිරීමට ඔවුනට අයිතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) වගන්තිය සමඟ කියවිය යුතු 14 වැනි වගන්තියෙන් මූලික අයිතිවාසිකම්වල ඇති සීමා පැහැදිලි වෙනවා. ඒ වගේම 14 වැනි ව්‍යවස්ථාවෙන් කතා කිරීමේ, අදහස් පළ කිරීමේ, සාමකාමීව රුස්වීමේ නිදහස සහතික කෙරෙනවා. නමුත් ඒ සමඟම එම අයිතින් භාවිත කළ යුත්තේ පුරවැසියන්ගේ නිදහසට ගරුකරමින් බවද 15(7) වගන්තියේ සඳහන් වෙනවා.

සමාජයේ මේ ඕනෑම විරෝධතාවයක් පැන නගින්නේ යම් පිරිසක් මුහුණදෙන පීඩාවක් හේතුවෙනි. ඕනෑම සමාජ කොටසක් තමන් මුහුණදෙන පීඩාවන් හමුවේ ඊට විරෝධය දැක්වීමක් සිදුකළ හැකිය. ඒ තම තමන් සමාජයේ එදිනෙදා කරන කටයුතුවලින් ඉවත්ව තනිව හෝ පිරිසක් ලෙස හෝ කිසියම් ක්‍රියාකාරකමක් හරහා පොදු සමාජය වෙත තමන්ගේ ගැටලුව සන්නිවේදනය කර සමාජ අවධානය ලබාගැනීමටය.

වසර ගණනක් මුළුල්ලේම පැවත එන මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබඳව ජනතාවගෙන් ඇසූ විට ඔවුන් එයට බැණ වදින්නේ නම් ඔවුන් මෙතෙක් කළ එම අරගලය පිළිබඳ මෙන්ම අරගලකරුවන් සමාජගත කළ මතය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ නිසා මේ මහජනයාට පීඩාවන උද්ඝෝෂණවලට වැට බඳින නව පනත පිළිබඳව මේ මොහොතේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්වනු ඇත.

 හසිත් අංජන