2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

මාකට් එකේදි පරද්දන අපේ ටින් මාළු

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 307

විදේශීය රටවල නිෂ්පාදනය කළ විවිධ ටින්මාළු අද වෙද්දී දේශීය වෙළෙඳපොළේ ආක්‍රමණය කොට ඇත. නමුත් මුහුදෙන් වටවූ රටක ටින් මාළු නිෂ්පාදකයන්ට වෙළෙඳපොළේ පවතිනුයේ කුඩම්මාගේ සැළකිලිය. විදේශීය රටවල නිෂ්පාදිත තත්ත්වයෙන් බාලවූ ටින්මාළු බොහෝමයක් අද වෙද්දී පාරිභෝගිකයන් මිලදී ගන්නේ අපේ දේශීය නිෂ්පාදනවලට අද වෙළෙඳපොළේ තරගකාරීත්වයට මුසු වෙන්නට නොහැකිවීම හේතුවෙනි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ටින්මාළු නිෂ්පාදකයින්ගේ සංගමය මැසිවිලි නගයි.

“මේ වෙද්දී දේශීය මාළු නිෂ්පාදනය කරනා ආයතන හතරක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා... අපි රජයට පිටරටින් ටින්මාළු ගෙන්වන්න එපා කියලා කියන්නේ නෑ... අපි කියන්නේ එහෙම ගෙන්වන එක ටිකක් අඩුකරලා දේශීය නිෂ්පාදනවලටත් ශ්‍රී ලාංකික වෙළෙඳපොළේ තැනක් ලබා දෙන්න කියලයි.”

මෙසේ මේ පිළිබඳව අදහස දැක්වූයේ ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ ටෙස් ලංකා සම්ගමේ අධ්‍යක්ෂ ශිරාන් ප්‍රනාන්දු මහතායි.

ලංකාව වටේම මුහුද තියෙනවා. ඉතින් අපි පිටරටින් ටින්මාළු ගේනඑක අපරාධයක් නේද... චීනයෙන් බිලියන විස්සක මාළු ප්‍රමාණයක් අවුරුද්දකට ගෙන්වනවා. ඉන්දියාව වගේ රටවල්වලින් අපේ මුහුදෙන් මාළු අල්ලගෙන ඒ රටට අරගෙන යනවා. පිටරටවලින් ඇසුරුම් කළ බාල ටින්මාළු වෙළෙඳපොළේ අඩු මිලට පවතිද්දී අපේ ධීවරයින් මාළු ඇල්ලීමට මෙන්ම ටින්මාළු නිෂ්පාදකයන් තම නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අකමැති වෙනවා.

උතුරේ පසුගිය කාලයේදී යුද්ධය පැවිතිණි. එම නිසා උතුරු මුහුදේදී මාළු ඇල්ලීමට ධීවරයන් වැඩි වශයෙන් යොමු නොවුණි. යුද්ධය අවසන් වීමත් සමඟම වර්තමානයේ උතුරේ ධීවරයන් මාළු ඇල්ලීමට වැඩිවශයෙන් යොමුවෙමින් සිටින බවයි. එය ශ්‍රී ලාංකික අපිට ඉතා සුභ ආරංචියකි.

මේ පිළිබඳව ශිරාන් මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“අපේ නිෂ්පාදනය වෙනුවෙන් සුබදායි වෙළෙඳපොළක් රට තුළ පවතිද්දී අපේ ටින්මාළුවලට ඉතාමත් අඩු සහනදායි මිලක් නියම කළ හැකියි.”

මේ පිළිබඳව රජය මගින් දේශීය නිෂ්පාදකයා නගා සිටවීමට යම් යම් ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත් ශිරාන් මහතා පැවසීය. මේ වෙද්දී සතොස සුපිරි වෙළෙඳසැල්වල පාරිභෝගිකයාට මිලදී ගත හැකිවන්නේ දේශීය නිෂ්පාදනය කරන දේශීය ටින්මාළුයි. ඒ නිසා එය දේශීය නිෂ්පාදකයන්ගේ ජීවිතවලට ලොකු අස්වැසිල්ලක්. මේ කාර්යය නගා සිටවිය නොහැකි නිෂ්පාදනයක් නොවන බවත් ශිරාන් මහතා වැඩිදුරටත් පැවසීය.

“අපේ මුහුද තායිලන්ත මුහුදට වඩා දේගුණයක් විශාලයි. ඒත්... අපි මාළු ආනයනය කරනවා. තායිලන්තය මාළු අපනයනය කරනවා. අපි කියන්නේ ලංකාවේ මේ නිෂ්පාදනය දියුණු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් රජයේ සහයෝගය අපිට ඉතා වැදගත් වෙනවා.”

පිටරටවල මාළු වැඩිවශයෙන් ඇල්ලීම හේතුව නිසා ඔවුන්ගේ මිල යම්තාක් දුරකට අඩුය. නමුත් මාළු පිටරට සිට මෙරට ගෙනෙද්දී කල් ගතවීමක් සිදුවේ. එමගින් බොහෝ දුරට බාල නිෂ්පාදන විකිණීමට ඉඩ තිබේ. නමුත් දේශීය ටින්මාළු ඉතා අලුත්ය. ධීවරයන් වැඩිවශයෙන් මේ ටින්මාළු සඳහා මාළු ඇල්ලීමට යොමු කිරීම තුළින්ද මෙම නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට හැකියාව ඇත. මුහුදු ගොස් ගෙන එන මාළුවලට සාධාරණ මිලක් නියම කිරීම තුළින් ධීවරයන්ට වැඩිවශයෙන් මෙම කර්මාන්තය සඳහා උනන්දුව ඇති කළ හැක. එමගින් ධීවරයන්ට මෙන්ම දේශීය නිෂ්පාදකයින්ගේද නිෂ්පාදනය දියුණු කර ගත හැක.

චීනයෙන් මසකට කන්ටේනර් හතරක් පහක් පමණ ටින්මාළු මෙරටට ගෙන්වයි. ඔවුන් හා තරග කිරීමට මේ නිෂ්පාදකයන්ට තනිවම කළ නොහැකි දෙයකි. නමුත් රජය දේශීය නිෂ්පාදකයන් නගා සිටවීම තුළින් මේ තත්ත්වය වෙනස් කරගත හැක.

“අපි රජයෙන් කළ ඉල්ලීමට රජය ඇහුම්කන් දුන්නා. ඒ නිසා අපේ දේශීය නිෂ්පාදකයන්ට යම් සහනයක් ලැබිලා තියෙනවා. පසුගිය කාලයේදී නිසි ඇගයීමක් නිසි වෙළෙඳපොළක් නොමැතිකමින් ගාල්ලේ තිබූ කර්මාන්තශාලාවක් වසා දමන්නට පවා දේශීය නිෂ්පාදකයන්ට සිදුවුණා. නමුත් අද වෙද්දී යම් සහනයක් දේශීය ටින්මාළු නිෂ්පාදකයන්ට ලැබිලා තියෙනවා.” ශිරාන් මහතා පැවසීය.

එමෙන්ම ඔවුහු රජයට යෝජනාවක් හා ඉල්ලීමක් කරති. ඒ ගුණාත්මකතාවයෙන් වැඩි ටින්මාළු පොලිසි හා ත්‍රිවිධ හමුදාවේ පාරිභෝජනය සඳහා වැඩි ඉඩකඩක් ලබා දෙන ලෙසයි. දේශීය ටින්මාළු නිෂ්පාදකයන් දිරිමත් කිරීම තුළින් ලාංකික පාරිභෝගිකයින් පමණක් නොව විදේශී රටවලට පවා ආනයනය කළහැකි බව දේශීය නිෂ්පාදකයෝ පවසති. මේ වනවිට මෙම නිෂ්පාදන ආයතන මුන්නල, කඳාන, පැලියගොඩ යන නගරවලද ගාල්ලේ ආයතන දෙකක් ද පවතී. 
ටින් මාළු නිෂ්පාදනය ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද්දේ කපිල බාලසූරිය මහතායි. අතීතය පිළිබඳව කපිල මහතා මෙසේ අදහස් දැක්වීය.

“ලංකාවේ මුලින්ම එස්.එල්.එස්. සහතිකය ලත් ටින් මාළු කර්මාන්ත ශාලාව මම තමයි මුලින්ම ආරම්භ කළේ. ඒ 2009 වසරේයි. කර්මාන්ත ශාලාව ආරම්භ කර සහතික ගන්න යද්දී ඒ සඳහා බොහෝ බලපෑම්වලට දේශීය නිෂ්පාදකයෙක් විදිහට මට මුහුණ දෙන්න සිද්ධවුණා. ඒ ටින් මාළු මෙරටට ගෙන්වන ආනයනකරුවන්ගේ බලපෑම් මත. නමුත් අවසානයේදී 2010 දී අපිට SLS සහතිකය ලැබුණා. ඒ වෙද්දී ආනයනකරුවන් අපිට බලපෑම් කළා. මේ නිසා ආයතනය අපිට දිගටම කරගෙන යන්න අමාරු වුණා.... ඒ නිසා 2013 වසරේදී පිටරට ආයතනයකට විකුණා දැමුවා...”

තම ආයතනය විකුණා දැමීමට කපිල මහතාට හේතු කීපයක්ම බලපා ඇත. දේශීය නිෂ්පාදනය සඳහා ඔවුන්ට විශාල මුදලක් වැය විය. මාළු පිරවුම ලංකාවේ සිදුකළත් ඒ සඳහා අවශ්‍ය කරන ටින් බොහෝ වෙලාවට පිටරටින් ආනයනය කිරීමට මෙම කර්මාන්ත ශාලා හිමියන්ට සිදුවිය. ඒ වෙද්දී ටින් නිෂ්පාදනය කරනා එක් ආයතනයක් පමණක් ලංකාවේ පිහිටුවා තිබුණි. මේ නිසා ඇතැම් වෙලාවට අවශ්‍ය කරන ටින් පිටරටින් ගෙන්වීමට පවා මේ දේශීය නිෂ්පාදනකරුවන්ට සිදුවිය. ඒ සඳහා විශාල මුදලක් වැය විය.

දේශීය නිෂ්පාදකයන් මේ සඳහා යොදාගනු ලබන්නේ දේශීය මාළු පමණි. දේශීය මාළුන්ගේ නියමිත මිලක් නැත. නමුත් ටින් කළ මාළු කෑන් එකක් සඳහා ස්ථාවර මිලක් නියම කළ යුතුයි.

රජය මඟින් දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ට අනුග්‍රහය දැක්වීමත් සමඟ නැවතත් බොහෝ දේශීය නිෂ්පාදකයෝ මෙම ව්‍යාපාරය සඳහා අතගැසූහ. සතොස මඟින් මොවුන්ට යම් සහනයක් ලබාදුනි. මේ පිළිබඳ කපිල මහතා තම අදහස් දැක්වීය.

“රජය මගින් දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ට යම් සහායක් දැක්වූවා. අපිට සතොස ආයතනය මගින් දේශීය නිෂ්පාදනය විකුණාගන්නට සුදුසු වාතාවරණයක් ඇතිකළා. මේ නිසා මම ආයෙමත් දිවුලපිටියේ ටින් මාළු නිෂ්පාදනය කරන ආයතනයක් ආරම්භ කළා. බොහෝ ටින් මාළු ලංකාවට ආනයනය කරන්නේ චීනයෙන්. මේ වනවිට ලංකාවේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට ටින් නිෂ්පාදන කරන ආයතන කීපයක්ම තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ද ගැටලුවක් නෑ. මසකට දේශීය පාරිභෝගිකයන්ට ලක්ෂ තිහක් තිස්පහක් පමණ ටින් මාළු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම් ලබාදෙන්නටද දේශීය නිෂ්පාදකයන්ට අද හැකිවී තිබේ. නමුත් ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරයි.

“අපි මේ ටින් මාළු පිටරටින් ගෙන්වීම නතර කරන්න කියලා කියන්නේ නෑ... නමුත් අපිට සහයෝගය ලබාදීලා මේ රජයෙන් දේශීය නිෂ්පාදනකරැවන්ට අනුග්‍රහයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.

♦ දිශානි ජයමාලි කරුණාරත්න