2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ෆේස්බුක් දරුවන්ගේ ආදර කතාවක් - ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 257

ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරගේ අලුත්ම නවකතාව ප්‍රේමානිශංස පසුගියදා නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. කැනඩාවේ වාසය කරන චන්ද්‍රරත්න කෙටිකතා, නවකතා මෙන්ම කාව්‍ය කෘතිද පළකළ ලේඛකයෙකි. ඔහුගේ මෙරු නවකතාවට 1990 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර, වනසපුමල නවකතාව ඩී.ආර්. විජේවර්ධන සම්මානයෙන් පිදුම් ලැබීය.

• ප්‍රේමානිශංස පොත ගැන හැඳින්වීමක් කළොත්?

ශත වර්ෂ දෙකක පමණ කාල රාමුවක දිග හැරෙන නවකතාවක් විදිහට ප්‍රේමානිශංස එක අතකට හඳුන්වන්න පුළුවන්. ෆේස්බුක් පරම්පරාවේ දරුවන් දෙදෙනකුගේ ආදර කතාවක් යානය කර ගනිමින් සියවස් දෙකක අතීතය මෙමගින් විනිවිදිනවා. තවමත් ගොඩ නැගෙන්නට වලිකන ලංකාවේ ධනපති ක‍්‍රමය හා එහි අනුයුක්ත අංගයන්හි මූලාරම්භය මෙමගින් සාකච්ඡා වෙනවා කියන්න පුළුවනි. හැබැයි මම මෙම නවකතාවේ සෞන්දර්ය ගුණය තේමාවේ ස්වරෑපය නිසා යටපත් වෙන්න ඉඩ දුන්නෙ නෑ කියලා මම හිතනවා.

• ඔබ මෙහිදී අපේ අතීතය සහ වර්තමානය මුසු කිරීමට උත්සාහ කරන බව පෙනෙනවා?

මෙහි කතානායක දෙපළ ඔස්සේ ලංකාවේ සිංහල ධනපති හා දෙමළ ධනේෂ්වරයේ උපතේ සිට වර්තමානය දක්වා වන ගමන් මග සාකච්ඡා කිරීමට මා උත්සාහ කළා. ඒ උත්සාහය ලංකාවේ සමාජ දේශපාලන හා සංස්කෘතික අර්බුදයේ ස්වරෑපය වටහා ගන්නට කවුළු දොරක් වේවි කියලා මට හිතෙනවා. අපි දෙගොල්ල අතර ඇති නොහොඳ නෝක්කඩුකම් නිසා ධනේෂ්වර ක‍්‍රමයේ ආර්ථික ප‍්‍රතිලාභවත් උකහා ගැනීමට රටක් වශයෙන් අපට බැරි වුණා. ඉතිං අපි කොහොමද සංස්කෘතික හෝ සමාජමය ප‍්‍රතිලාභ ගැන හිතන්නේ. 

• ඔබ බොහෝවිට අපේ අතීතය මුසු සංකල්ප තම නවකතාවලට යොදාගන්නා බව පෙනෙනවා.

විය හැකියි. වරක් දිවංගත ආචාර්ය ජයලත් මනෝරත්නයන් මාව හැඳින්නුවේ උඩරට ග‍්‍රාමීය පරිසරයේ විපරිණාමය හොඳින්ම දුටු නවකතාකරුවා ලෙස. පේ‍්‍රමානිශංස දක්වා වන සියලු නවකතා හා බොහෝ කෙටිකතාවල තේමාව ලෙස උඩරට ගම හා එහි විපරිණාමය මම තෝරා ගත්තා. මම දකින්නේ මඩවල එස් රත්නායක හෝ ටී.බී. ඉලංගරත්න දුටු උඩරට ගම නොවේ. අපේ පරම්පරාවට මුණගැහෙන්නේ වැඩවසම් ක‍්‍රමයේ අවශේෂ හා ධනපති ක‍්‍රමයේ අවශේෂ විකෘති ලෙස හැල හැප්පෙන ගමක්. පංච මහා බලවේගයම ඒ හැල හැප්පීම හරහා සිය පුරුෂාර්ත අහිමි කර ගත් සමාජයක්. ඒත් අතීතයට එබිකම් කළ හැකි නිර්මල සංකේත ටිකක් ගමේ තිබුණා. ඒවාත් මහනුවර යුගයේ නිර්මාණය වූ දේපල හා කලා ශිල්ප. 

• ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

ගමෙන්, පාසලෙන් මට ලාංකික සංස්කෘතියේ ඉතිරි අවශේෂයන් පිළිබඳ අවබෝධයක් ලැබුණා. එහෙත් එය හුදු ආගම්වාදී හා ජාතිකවාදී එකක්. නමුත් එය පවා ආශ්වාද ජනකයි. මේ ආශ්වාදය ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරීමට මාව යොමුකළා. මා උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ මෙම විෂයයන් දෙක සහ දූපත් අධ්‍යයනය යන විෂයයන්. මුල්කාලීනව ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් පසුව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයන්හි ආනුභාවය ලැබූවෙකු ලෙසත් ඉතිහාසය වර්ගවාදයෙන් ගලවා හඳුනා ගන්නට මට හැකියාව ලැබෙනවා. යටගියාව හැදෑරීම යනු කාලය හා අවකාශය ඔස්සේ  මුළු මනුෂ්‍ය චර්යාවම තේරුම් ගන්නට පුළුවන් දෙයක්. මගේ නිර්මාණ විෂයෙහි ගැඹුරක් ඇත්නම් එයට පදනම් වෙන්නේ මේ සියල්ලෙන් මා ලද ආනුභාවයයි.

• වර්තමාන සාහිත්‍ය ප්‍රවණතා ගැන ඔබේ අදහස?

දැන් ප‍්‍රකාශයට පත්කෙරෙන පොත් වැඩියි. ඒ ඔක්කොම හොඳයි කියලා මම කියන්නෙ නෑ. ඒත් අතීතය සමතික‍්‍රමණය කළ කෘති බොහොමයක් තියෙනවා. උදාහරණ ලෙස ගත්තොත් පසුගිය දශකය තුල බිහි වූ සුනේත‍්‍රා රාජකරුණානායකගේ ‘කවි කඳුර’, කෞශල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය‘ වැනි නවකතා සමස්ත සිංහල නවකතා විෂයෙහිම ආනුභාව සම්පන්න කෘති. කවිය ගත්තොත් නූතනම පරපුරේ රුවන් බන්දුජීව, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල, ටිම්රාන් කීර්ති වැනි කවීන් වස්තු විෂයයන් තෝරා ගැනීම අතිනුත් කාව්‍ය රීතිය පැත්තෙනුත් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් තමන්ගේ සමීප පූර්ව පරම්පරාව වූ ආරියවංශ රණවීර, රත්න ශ‍්‍රී විජේසිංහ, නන්දන වීරරත්න ආදි උසස් කවීන් හෙළි කළ මගෙහි අපූරුවට ඉදිරියට යනවා.

• ඔබ වාසය කරන කැනඩාවේ සාහිත්‍යකරුවා සහ අපේ සාහිත්‍යකරුවා සැසඳුවොත්?

ඒක සසඳන්නට අමාරු දෙයක්. කැනඩාව බහු වාර්ගික සමාජයක්. මා දන්නා තරමින් රටවල් එකසිය හතළිස් අටක සංක‍්‍රමණික ජනතාවක් කැනඩාවෙ ඉන්නවා. අපේ රටේ ඉපදුණු මයිකල් ඔන්ඩච්චි ඉන්නෙ කැනඩාවෙ. ඔහු කැනඩාවෙ සම්භාව්‍යත්වයට පත් ලේඛකයන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. ශ්‍යාම් සෙල්වදෙරේත් අපේ රටේ ඉපදුනු කෙනෙක්. ඒ වගේම පසුගියදා ලෝක අවධානයට පත් The Boat People ලියූ ෂෙරොන් බාලා තරුණ ලේඛිකාව තව එක්කෙනෙක්. මේ බොහොමයක් ලේඛකයන් සිය රටවල්වලින් ගෙනා වස්තු විෂයයන් මේ රටේ දී ලියනවා. ඔවුන් විශ්ව සාහිත්‍යයට එකතු වෙනවා.

• මේ තත්ත්වය යුරෝපීය රටවල සාහිත්‍යයටත් අදාළද?

ඔව්, යුරෝපයේ හා ඇමෙරිකාවේ බොහෝ රටවලට අදාළ කාරණයක්. ඒ රටවල ජීවත් වෙන සංක‍්‍රමණීය ලේඛකයන් සිය රටේ අත්දැකීම් නිදහස් පරිසරයක දී නිර්මාණ විෂයයක් බවට පත් කරගන්නවා. 2021 නෝබෙල් ත්‍යාගය දිනු අබ්දුල් රසාක් ගුර්හාන් සැන්සිබාරයෙන් එංගලන්තයට පැමිණි ලේඛකයෙක්. ඔහු ලේඛකයෙක් ලෙස ලෝක පරිමාණ කරන්නේ එංගලන්තය විසින්. ඔන්ඩච්චි හා සෙල්වදොරේ ලෝක පරිමාණ කරන්නේ කැනඩාව විසින්. මේ අරුතින් ගත් කළ කැනේඩියානු සාහිත්‍යයේ වැඩි කොටසක් මේ වනවිට සංක‍්‍රමණිකයන් විසිනුයි නියෝජනය කරන්නේ. එය කැනේඩියානු ජනතාව සලකන්නේ තමන්ගේ දෙයක් ලෙසයි. ඒත් අපේ රටේ දෙමළ හා මුස්ලිම් සාහිත්‍යයවත් පොදු සාහිත්‍යයේ කොටසක් කරගෙන නෑ. එකිනෙකා හඳුන්වාදීමේ වැඩ පිළිවෙළක් නෑ.

 කුසුම්සිරි විජයවර්ධන

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00