
පරිගණකය අද වනවිට අප සියලු දෙනාගේ ජීවිතවලට අනිවාර්ය අංගයක් වී හමාරය. මීට අවුරුදු දහයකට විස්සකට අතීතයේදී ලිපිගොනු මැද ගෙවුණු කාර්යාල ජීවිතය අද පරිගණක තිරයකට ලඝු වී ගොසිනි. ලිපි ගොනු තොග ගණනේ එකතු කරමින් කටයුතු කරනවාට වඩා පරිගණකය නිසා මහත් පහසුවක් නිර්මාණය වී තිබේ. සියල්ල එකම උපකරණයකින් කරගැනීමට පුළුවන. එසේ වුවද ඕනෑම දෙයක දෙපැත්තක් තිබේ යන කියමන සැබෑ කරමින් පරිගණක භාවිතය නිසා හට ගන්නා අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් ගැන ද දැන් අසන්නට ලැබේ.
අධික පරිගණක භාවිතය හා පරිගණක භාවිතයේදී පවතින නොසැළකිලිමත්භාවය නිසා ඇති වන රෝග තත්ත්වයන් පොදුවේ හැඳින්වෙන්නේ Computer Vision Syndrome හෙවත් පරිගණක දෘෂ්‍ය ව්‍යාධිය ලෙසිනි. එහි රෝග ලක්ෂණ වන්නේ ඇස් රතුවීම, ඇස් අධික ලෙස වියැළීම නිසා වේදනාවට පත්වීම, බෙල්ලේ සහ උරහිසේ වේදනාව, පෙනීම බොඳවීම, හිසේ වේදනාව ආදියයි.
පරිගණක දෘෂ්ටි ව්‍යාධිය ඔබට වැළඳී ඇත්නම් මේ රෝග ලක්ෂණ අතුරින් එක් ලක්ෂණයක් හෝ දක්නට ලැබේ නම් අක්ෂි වෛද්‍යවරයකු කරා යොමුවීමට සෞඛ්‍යයට හිතකර ය. නමුත් ඊට ප්‍රථම ඔබටම ඇසට සහනයක් උදා කරගැනීමේ හැකියාව තිබේ.
පළමුව ඔබ කළ යුත්තේ පරිගණක තිරයත් ඔබත් අතර පවතින දුර නියමිත මට්ටමට ගෙන ඒමය. පරිගණක තිරය හා ඇස අතර අවම දුර අඟල් 20ක්වත් විය යුතුය. දෙවැනුව පරිගණක තිරයේ ආලෝක තත්ත්වය (Brightness) හැකි පමණ අඩු කිරීම ද කළ යුතුය. එය ඔබ සිටින තැන පවතින ආලෝකය හා අනුරූපී වීම ද අවශ්‍යතාවකි. අඳුරු පසුබිමක හිඳ පරිගණක භාවිතය නුසුදුසු වන්නේ එනිසා ය. ඔබේ ඇසට ආලෝකය ලැබෙන එකම ප්රභවය බවට පරිගණක තිරය පත්වීම යනු ඉතා කෙටි වේලාවකින් ඇසට පීඩා එල්ලවීමකි.
ගත හැකි තවත් පියවරක් වන්නේ ඔබේ ඇස් මට්ටමේ සිට පරිගණක තිරයේ මධ්‍ය ලක්ෂ්‍යය දක්වා ඇති ලම්භ උස අඟල් අටක්වත් විය යුතු ය. එය අසුන්ගෙන සිටින පුටුව නිසි පරිදි උස්පහත් කිරීමෙන් මෙන්ම නිවැරදි ඉරියව්වෙන් පරිගණක භාවිත කිරීමෙන් සලසා ගත හැක.
එමෙන්ම පරිගණක භාවිතයෙන් සෑම මිනිත්තු 20කට වරක්ම තිරයෙන් ඇස් ඉවත් කරගනිමින් මීටර 20ක් දුරින් පිහිටි දෙයක් දෙස බැලීම ද ඇසට සහනයක් උදා කරන්නකි. ඇසේ නාභි ශක්තිය ද එමගින් නිසිපරිදි පවත්වාගෙන යා හැකි වනු ඇත. මේ අතර එකදිගට පරිගණක තිරය මත ඇස යොමාගෙන සිටීම නිසා ඇසේ මාංශපේශී ඇදීමකට ලක්ව වේදනාවක් ඇති වේ. එම තත්ත්වය මඟ හරවා ගැනීමට කිහිප විටක් ඇස් වසගෙන ඇස් බෝලය දක්ෂිණාවර්තවත් වාමාවර්තවත් නැටවීම තුළින් හැකි ය.
මේ තත්ත්වයන් උදාවන්නේ පරිගණක භාවිතය නිසා පමණක්ම නොවේ. ජංගම දුරකථන භාවිතය නිසාද ඇසට මෙම රෝගී තත්ත්ව වැළැඳීමේ ඉහළ හැකියාවක් පවතී. විශේෂයෙන්ම අඳුරේ ජංගම දුරකථන භාවිතයේදී වඩා ප්‍රවේශම් විය යුතුය. අද බොහෝදෙනා භාවිත කරන්නේ ස්මාට් ජංගම දුරකථන ය. එවැනි දුරකථන හරහා ඇමැතුම් ලබාගැනීම මෙන්ම කළ හැකි කාර්යයන් රැසකි. එනිසා සාමාන්‍ය ජංගම දුරකථනයට වඩා ස්මාට් ජංගම දුරකථනයක් දෙස ඇස් යොමු කරන කාලසීමාව විශාල ය.
ටැබ්ලට් ද අද වනවිට ජනප්‍රිය උපාංගයකි. ටැබ්ලට් හරහා පොත් කියැවීම මෙන්ම වීඩියෝ ක්‍රීඩාවල නියැළීම ද බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. එය කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබේ. මෙනිසා කුඩා දරුවන්ගේ ද ඇස් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් මෙම නිසි භාවිතාවන් ඔවුන්ට හුරු කිරීම අවශ්‍යතාවක්ව පවතී.
විෂන් 20-20 ව්‍යාපෘති සම්බන්ධීකාරක වෛද්‍ය අසේල අබේධීර
මේක ඇත්තටම කොහේවත් සඳහන් වන අපි විශේෂ ප්‍රතිකාරයක් ලබාදෙන රෝග තත්ත්වයක් නෙමෙයි. ඒ බව මුලින්ම කියන්න ඕන. හැබැයි උපැස් යුවල අලෙවි ආයතන, ඒ ගැන පර්යේෂණ කරන අය මේ වගේ රෝග තත්ත්වයක් ගැන කතා කරනවා. නමුත් මේ තත්ත්වය භයානක රෝගයක් කියල කවුරු හරි හිතනවනම් ඒක වැරදියි.
මෙතැනදී වෙන්නේ ගොඩක් වෙලා පරිගණකය දිහා බලාගෙන ඉන්න කෙනෙක් තමන්ගේ ඇසිපිය ගැසීමේ වාර ගණන අඩු කරගන්නවා. ඒක ඒ පුද්ගලයාටත් නොදැනීමයි සිදුවෙන්නෙ. සාමාන්‍යයෙන් අපි විනාඩියකට හතර පස් වතාවක්වත් ඇසි පිය හෙළනවා. නමුත් පරිගණක තිරය දිහා බලාගෙන ඉන්නා විට ඒ විදිහට ඇසි පිය ගැසීම අපටත් නොදැනීම අඩු වෙනවා. අපේ ඇහේ තියෙන කඳුළු පටලය නිසායාකාරව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ ඇසි පිය ගැසීම හරහායි. මේ කඳුළු පටලය මතයි ඇසිපිය ගැසීම සිදුවෙන්නෙ. ඇසි පිය නොගහ හිටියම මේ කඳුළු පටලය නිසි පරිදි පවත්වාගන්න බැරිවෙලා ඇස මතුපිට වියළි තත්ත්වයක් හටගන්නවා. ඒ නිසා ඇතිවෙන ඝර්ෂණය මගින් කළු ඉංගිරියාවට ඉතාමත් සුළු හානියක් ඇතිවෙන්න පුළුවන්. එතකොට තමයි ඇස රිදුම් දීම වගේ තත්ත්වයක් ඇතිවෙන්නෙ.
මේ තත්ත්වයට විශේෂ බෙහෙතක් නැහැ. නමුත් අපි මෙහෙම දෙයක් කරනවා. කඳුළු පටලයට හානි වුණු කෙනෙක් ආවම අපිට පුළුවන් ඔවුන්ට කෘතිම කඳුළු ලබාදෙන්න. ඇස රිදුම් දෙන විට හෝ පරිගණකයේ දිගු වේලාවක් රුඳී සිටින විට එයින් පුංචි බිංදුවක් ඇසට දමාගෙන කෘතිම කඳුළු පටලයක් පවත්වාගන්න එවිට පුළුවන්.
මේ තත්ත්වය පාලනය කරගන්න අපිට විවිධ ක්‍රම තියෙනවා. රුපියල් විසි දාහක් විතර වියදම් කරලා කණ්ණාඩි යුවළක් පළඳිනවාට වඩා ඒ ප්‍රතිඵලයම අපට පරිගණකයේ ආලෝක ධාරව (Brightness) අඩුකිරීමෙන්, පැය භාගයකට වරක් කෙටි විවේකයක් ලබාගැනීම වගේ දේවල්වලින් ලබාගන්න පුළුවන්. පරිගණකය භාවිතා කරන හැමෝටම මේ තත්ත්වය අඩුවැඩි වශයෙන් පවතිනවා. නමුත් කිසිම භයානක තත්ත්වයක් මෙතැන නැහැ.
රජිත ජාගොඩ ආරච්චි