2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

අම්මාගේ ඇඟිලි තැලූ අජාසත්ත පුතා

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

සමහරු අම්මා සඳට උපමා කරති. තවත් වරෙක ඇය බුදුන්ට පමණක්ම දෙවැනි වූවාය. “ගෙදර බුදුන් අම්මා” වූයේ ඇයයි... දස මසක් කුසේ හොවාගෙන ලේ කිරට පෙව් අම්මාගේ අතේ ඇඟිලිවලින් එල්ලී ජීවිතේ නැගිටින්නට වෙර දැරූ අත අතහරීනම්... එය මොනතරම් පාපයක්ද...?

නමුත් පියාණන්ගේ දෙපා පලා ලුණු දමා වදහිංසා කළ පාපකාරී අජසත්තලා එදා මෙන්ම අද ද සිටිති. එවන් වූ අජාසත්ත පුතකු ගැන තොරතුරු පසුගිදා දිනෙක කඳාන ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. තම වයෝවෘද්ධ අම්මාට අඩන්තේට්ටම් කරමින් ඇයට තුවාල කළ මේ අජාසත්ත පුතා විශ්‍රාමික ක්‍රෝප්‍රල්වරයෙකි.

කඳාන ශාන්ත සෙබස්තියන් පාරේ එල්. ඇලිස් සිල්වා මාතාව ජීවත් වන්නීය. ඇගේ තනිනොතනියට ඇගේ නිවෙසේ වෙසෙන්නේ විවාහ වී බිරිඳගෙන් වෙන්වී සිටිනා ඇගේ පුතනුවනුයි. ඇලිස් මාතාවට වයස අවුරුදු හැත්තෑ හයකි. තම දරුවන්ගේ ආදරය, රැකවරණය ලැබිය යුතු වයසේ අද ඇය පසුවුවත් ඇයට සිදුව තිබුණේ අත පය හතර යසට හදා උස්මහත් කොට ජීවිතය දුන් තම පුතාගේ අතපයවල හිරි ඇරගැනීම් පුතාගේ හිතට ඇතිවන කේන්තිය පිටකර ගැනීම් හමුවේ නිහඬව සිටීමටයි.

වරෙක් මේ පුතා තම කේන්තිය පිටකරන්නට ඇලිස් අම්මා වත්තේ ගහක ගැට ගැසුවේය. පුංචි දරුවකුට කළ දඬුවමකට ඇතැම් අම්මාලා තාත්තලා දරුවන් මිදුලේ දණ ගැස්වීම සාමාන්‍ය දෙයක් වුවත් කිසිම වරදක් නොකළ තම මෑණියන් ගස් බැඳීමට හිත හදාගත්තේ කෙසේද, අපිට ඇතිවන පැනය එයයි. ඒත්... ඇලිස් අම්මාට මේ පුතාගෙන් එවැනි දඬුවම්ද ලැබුණි.

නිතරම ඔහු තම අම්මාට බැණ වැදුණේය. අම්මා සමඟ රණ්ඩු වුණේය. ඒත්... මහ පොළව දරාගන්නට තරම් ශක්තිය තිබූ ඒ මාතාව මේ හැමදෙයක්ම දරාගත්තාය. ඔහුගේ බැණ වැදීම ඒ අහළ පහළ නිවෙස්වලටනම් හුරුපුරුදු සිදුවීමක විය. පුතා නිවෙසේ සිටින බොහෝ දිනවල මේ අම්මා හිටියේ එළියට වීය. ඒ තරමටම පුතාගේ මේ කෑ ගැහිල්ල අම්මාට හිසරදයක් විය.

අවුරුදු හැත්තෑ හයක් වයසැති මේ මවගේ ශරීරය දුර්වල විය. වයසට යාමත් ඇයට ඇතිවන රෝගී තත්ත්වයත් නිසා ඈ නිතර නිතර පීඩා වින්දාය. බොහෝ දුරට ඈ අසල බත් කඩයකින් බත් පතක් හෝ පාන් කෑල්ලක් හෝ කා තම කුසගින්න නිවාගත්තාය. ඇතැම් දිනවලදී අහළ පහළ නිවෙස්වලින් ඈ වෙනුවෙන් බත් පතක් ලැබුණි. ඒත්... දරු දුක දන්නා ඇලිස් අම්මා ඒ ගෙනෙන බත් එකෙන් කටක් දෙකක් කා ඉතිරිය තම පුතු වෙනුවෙන් වෙන් කළාය. එවන් අම්මාව ගස් බඳින්න තරම් පුතා හිත හදාගන්නේ කොහොමද...?

දරු පැටියෙක් මෙළොව බිහිවුණාට පසුව පුංචි ගවුම් පොඩි අම්මා හෝදන්නේ ආසාවෙන් බව අපි දන්නෙමු. දරුවකුගේ ඇඳුමක් පැළඳුමක් අම්මා කෙනෙක් සේදීම වරදක්යැයි අපි නොකියමු. නමුත්... ළමා වියේදී එසේ වූවාට කම් නැත. නමුත් උස්මහත් වී දීග ගිය පුතකු තම වයසක මවට කියා තම ඇඳුම් පැළඳුම් සෝදා ගැනීම මොනතරම් නම් සැහැසි ක්‍රියාවක්ද...?

ඇලිස් අම්මාට සිදුවූවේත් එයමයි. ඇයට තම පුතුගේ ඇඳුම් පැළඳුම් පවා සේදීමට සිදුවිය. අවුරුදු හැත්තෑ හයක් වයසැති ඇලිස් අම්මාට මේ ඇඳුම්, පැළඳුම් සේදීම එතරම් ලේසී පහසු දෙයක් වූයේ නැත. ඒත් පුතාගේ තර්ජන හා අණ දීම නිසාම ඇලිස් අම්මා නිහඬව මෙම රෙදි සේදීමේ රාජකාරියේ නිරත වූවාය.

පසුගිය 27 වැනිදා ද ඇයට වැඩක් පැවරිණි. ඒ පුතාගේ රෙදි කන්ද සේදීමයි. නමුත්... අවුරුදු හැත්තෑ හයක් වයසැති මේ ඇලිස් අම්මාට එය ලේසි පාසු කටයුත්තක් නොවීය. ඉඳහිට හටගැනෙන කොන්ද අමාරුව ඇයට එදින තදින්ම දැනුණේය. කියාගන්නට කෙනෙක් සිටියේ නැත. කහට උගුරක් හදා බිවු ඇලිස් අම්මා ඇඳේ ටික වේලාවක් හාන්සි වී සිටියාය. ඒත්... කොන්ද අමාරුවේ අඩුවක් නොවීය. ඇයට පුතාගේ රෙදි සේදිල්ල අමතක විය. සැබැවින්ම අමතක කළාටත් වැඩිය ඇගේ ඇඟේ පතේ අමාරුව එයට හේතුව විය.

බොහෝ දුරට ඈ අසල බත් කඩයකින් බත් පතක් හෝ පාන් කෑල්ලක් හෝ කා තම කුසගින්න නිවාගත්තාය. ඇතැම් දිනවලදී අහළ පහළ නිවෙස්වලින් ඈ වෙනුවෙන් බත් පතක් ලැබුණි. ඒත්... දරු දුක දන්නා ඇලිස් අම්මා ඒ ගෙනෙන බත් එකෙන් කටක් දෙකක් කා ඉතිරිය තම පුතු වෙනුවෙන් වෙන් කළාය. එවන් අම්මාව ගස් බඳින්න තරම් පුතා හිත හදාගන්නේ කොහොමද...?

පුතා ගෙදරට ආවේය. ඇඳුම් සෝදා නැති බව ඔහු දුටුවේය. ඔහුට යක්ෂාවේෂ විය. දසමසක් කුසේ තියන් හැදූ අම්මා හතුරෙක් සේ දැනුණේය. පුංචි කාලේ බත් අනමින් බත් කටවල් කැවූ... අම්මාගේ ඇඟිලි මේ පුතාට අමතක විය. ඒ බත් රහ වූයේ අම්මගේ ඇඟිලිවලින් එකතු වුණ ආදරය නිසා බව මේ පුතාට අමතක විය. සැබැවින්ම ඔහු අජාසත්ත පුතෙක්ම විය.

ඔහු හනික පොල්ලක් ගෙන ඒ ඇඟිලිවලට තඩි බෑවේය. ඇඳුම් හෝදන්න බැරිවුණු හේතුවෙන් අම්මා පුතාගෙන් දඬුවම් ලැබුවේය. මෙය අහස පොළව නුහුලන අපරාධයක්ම විය. අම්මාට දඬුවම් කළ පුතා ගෙයින් එළියට බැස යන්නට ගියේය.

අම්මාගේ අතේ ඇඟිලි තුවාල විය. මේ සිදුවීම නිසා ඇගේ අසල්වැසියෝ වහා ඇය රැගෙන ගොස් කඳාන පොලීසියේ පැමිණිල්ලක් සටහන් කොට ඇගේ අතේ තුවලවලට බෙහෙත් දැමීමට කටයුතු කළහ.

කඳාන පොලිසිය වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක විය. පුතා අල්ලා පොලීසියට රැගෙන එන්නට සැරසෙද්දී අම්මාගේ ඇස්වලට කඳුළු පිරිණි.

“අනේ... මහත්තයෝ... පුතාට ගහන්න එපා... මොනවා වුණත් ඌ මගේ කොල්ලනේ...”

දරු දුක අම්මාගේ හැම දුකටම වඩා ඉස්සර විය.

මේ සම්බන්ධයෙන් අපි කඳාන පොලිසියෙන් විමසීමක් කළෙමු. කඳාන පොලීසියෙ වැඩබලන පොලිස් ස්ථානාධිපති නිශ්ශංක මහතා මෙසේ පැවසුවේය.

“ඔය අම්මා පොලීසියට ඇවිත් පැමිණිල්ලක් කළා. හරි අසරණ අම්මා කෙනෙක්. ඊට පස්සේ අපි පුතාවත් පොලීසියට ගෙන්වුවා. දෙන්නම තියලා අපි කතාබහ කළා. අන්තිමට අම්මයි පුතයි දෙන්නම කැමැති වුණා මේක උසාවි නොගිහින් සමාදාන කරගන්න. මේ නිසා අපි ඒ අම්මාගේ පුතාට දැඩිව අවවාද කරලා දෙන්නවම ගෙදර යැව්වා. අම්මත් කැමැති වුණා ආයෙමත් පුතා ළඟට යන්න...”

ඇලිස් අම්මාගේ අතේ තුවාලවල රිඳුම හෙට සුවපත් වේවී... ඒත්... හිතේ ඇතිවුණු තුවාලය කවදානම් සුවපත් වේවිද...

♦ දිශානි ජයමාලි කරුණාරත්න