
වර්තමානයේ ශ්‍රී ලංකාව පිළිබඳව, ලෝකයේ විවිධ ජාතීන් වඩාත් උනන්දුවක් දක්වන සමයකි මේ. විශේෂයෙන් චීනය, ඉන්දියාව, අමෙරිකාව අප රට පිළිබඳව මෙසේ උනන්දුවක් දක්වන රටවල් බවට පත්ව තිබේ. අප රටේ පිහිටීම, අප රට තුළ පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ස්වභාව සෞන්දර්ය, ඉපැරැණි ඉතිහාසගත තොරතුරු හා මූලාශ්‍ර, සමාජ සිරිත් - විරිත්, ආගමික වශයෙන් ලද හික්මීම, අප රට කෙරෙහි ලෝක ජනතා ආකර්ෂණය දිනා ගැනීමට එදාමෙදා තුර හේතු කීපයකි.
අන් කවරකටත් වඩා ලෝකයේ හොඳම තේ, කුරුඳු, මැණික් ඇත්තේද ශ්‍රී ලංකාවේය. එමෙන්ම සංග්‍රහශීලී ආගන්තුක සත්කාරය අනුගමනය කරන ජනතාවක් අප රටේ සිටීම ද මේ සියල්ල පරයා බෙහෙවින් කැපී පෙනේ. එහෙයින් විශේෂ සංචාරක ආකර්ෂණයක් ශ්‍රී ලංකාව තුළ නිතැතින්ම පිහිටා තිබේ. වර්තමානයේ වසරකට සංචාරකයන් දශ ලක්ෂයක් ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින්නේද අප රට තුළ ඇති මෙම පසුබිම නිසාය.
එහෙත් මේ අතරිනුත් යම් සංචාරකයකු නොකඩවා 55 වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ තිබීම ඉතාමත් සුවිශේෂි කාරණාවක් වනු නිසැකය. ඔහු 1978 වසරේ සිට මේ දක්වා කාලය තුළ අඛණ්ඩව 55 වතාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබීම, ලෝක වාර්තාවක් වන්නටද පුළුවන. සාමාන්‍යයෙන් සංචාරකයකු යම් රටකට යන්නේ වරක් හෝ දෙවරක් පමණි. එහෙත් දිගින් දිගටම මේ ආකාරයට එම රටට පැමිණීමට නම් සංචාරකයකුට විශේෂ හේතු තිබිය යුතුය. එනම් සිය බිරිය, දුවා- දරුවන් එරට සිටීම හෝ නැතිනම් එරට, තම මව්රට වීම එම කරුණු විය හැකිය. එහෙත් මේ කිසිදු කරුණක් බල නොපෑවද යම් සංචාරකයකු අපේ රටටම 55 වතාවක් නොකඩවා සෑම වසරකම පැමිණීම ලොව අවධානයට ලක් විය යුතු සුවිශේෂි සිදුවීමක් විය යුතුය. එම සිදුවීම අපේ රටට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ලෝකයා හමුවේ පිරිනමන ලද මහඟු සම්මානයක්, කීර්තියක්, ගෞරවයක් වන්නේද විය යුතුය.
අපේ රටේ ශ්‍රමිකයන් විවිධ රටවල රැකියා සඳහා ගොස් සිටින අතර, ඔවුන් යළි මව්බිම වෙත පැමිණෙන්නේද, සාමාන්‍යයෙන් වසර දෙකකට වරකි. එවන් පසුබිමක් තිබියදී මෙම සංචාරකයා අපේ රටට මේ ආකාරයට පැමිණිම විමසා බැලිය යුතු සුවිශේෂි සිදුවීමකි. මොහු ඩෙන්මාර්ක් ජාතිකයෙකි. කයි සැන්ඩර් ජේසන් නම් වන මොහු 74 හැවිරිදි අවිවාහකයෙකි. ඔහු ඩෙන්මාර්කයේ බ්‍රෙඩ්-බෝ පළාතේ රජයේ ගණකාධිකාරීවරයකු ලෙස සේවය කොට 2002 වසරේ දී විශ්‍රාම ලැබූවෙකි.
කයි සැන්ඩර් ජේසන් මහතා සිය 55 වැනි ශ්‍රී ලංකා සංචාරය ඇරඹීම සඳහා 2017 ජනවාරි 05 දින උදෑසන 9.25 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ Q.R.- 664 දරන යානයෙන් ඩෙන්මාර්කයේ සිට පැය 18ක ගුවන් ගමනකින් පසු කටුනායක ගුවන් තොටුෙපාළට පැමිණියේය. කයි සැන්ඩර් මහතා මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 1978 වසරේදීය. ඩෙන්මාර්කයේ සිට විශේෂ සංචාරකයන් පිරිසක් රැගෙන පැමිණි, චාටර් ගුවන් යානයක් වන චෙර-බෝ නැමැති ගුවන් යානයෙනි. එම යානය එකල සෑම වසරකම මුල් මාසවල එසේ සංචාරකයන් ඩෙන්මාර්කයේ සිට රැගෙන පැමිණ තිබේ.

එසේ පැමිණි කයි සැන්ඩර් මහතා මුලින්ම බෙන්තොට ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන තිබේ. ඉන්පසු ඔහු දිගින් දිගටම ශ්‍රී ලංකාවට පැමිණීම සිදු කොට ඇති අතර, ඒ අතරතුර ඔහුට ශ්‍රී ලාංකික මිතුරන් 20 ක් පමණ මුණගැසී ඇත. ඔවුන් කයි සැන්ඩර් මහතාගෙන් යළි පැමිණෙන විට යම් යම් දෑ රැගෙන එන ලෙස ඉල්ලීම් කර ඇති අතර, කයි සැන්ඩර් මහතාද ඒවා නොපිරිහෙලා ඉටු කර තිබේ. මේ අතර ඔහුට ශ්‍රී ලංකාවේ සිටින කුළුපගම මිතුරා, ජෝන් ජෙයරාජ් රත්නම් මහතා මුණගැසෙන්නේ එවකට බෙන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විපුල බතික්ස් ආයතනයේ සේවකයකු ලෙස කටයුතු කරමින් සිටියදීය. ඔහු කිසි විටෙකත් කයි මහතාගෙන් කිසිවක් නොඉල්ලූ අතර, මිත්‍රත්වය මෙන්ම ශ්‍රී ලංකාවට දිගින් දිගටම පැමිණීම පමණක් අපේක්ෂා කරන්නෙක් විය. මේ නිසාම කයි මහතා ඔහුගේ අව්‍යාජභාවය අගය කරමින්, තමන්ගේ හොඳම මිතුරා ලෙසින් ඉතා සමීපව ඇසුරු කරන්නට විය.
මේ අතර 1982 වසරේ දී පමණ කයි මහතා තවත් ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් විසින් හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලය වෙත හඳුන්වා දී තිබේ. එතැන් සිට එදා-මෙදා තුර කාලය තුළ මෙම හෝටලය කයි සැන්ඩර් මහතා 50 වරක් පැමිණ නැවතී ආගන්තුක සත්කාර විඳගත් හෝටලය බවට පත්විය. මෙය ලෝකයේ හෝටලයක, එකම සංචාරකයකු පැමිණ 50 වතාවක් නවාතැන් ගැනීම පිළිබඳ ලෝක වාර්තාවක් ද විය හැකිය. එමෙන්ම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එදා සිට අද වනතුරැම කයි මහතා ලැගුම් ගන්නේ, මෙම හෝටලයේ අංක 403 දරන කාමරයේම වීමයි.
මෙම කාමරය මුහුද දෙසට මුහුණලා පිහිටි, මනරම් දසුනක් නෙතට ළං කරවන කාමරයක් වීම නිසාම කයි මහතා මෙම කාමරයම ඇණවුම් කරන අතර, හෝටලයේ කළමනාකරණ අධිකාරියද, කයි මහතාටම මෙම කාමරය ඔහු පැමිණෙන විට, කෙසේ හෝ ලබාදීමට කටයුතු සූදානම් කරයි. කයි මහතා මෙම කාමරයේ සිට දිනපතා දුම්වැටියක් දල්වා ගෙන පැය ගණනාවක් මුහුද දෙස බලා සිටී. තවත් වරෙක ඔහු රැගෙන එන පොත් පත් එහි සිට කියවයි. මේ ඔහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයකි. මෙම හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයට කයි මහතා පැමිණීමත් සමඟ, එහි කළමනාකරණ අධ්‍යක්ෂ සිරි ගුණවර්ධන මහතාත් ඔහුගේ කළණ මිතුරෙකු බවට පත් විය. කයි මහතා ශ්‍රී ලංකාවට පැමිණි මුල් වසරවල සති දෙකක පමණ කාලයක් මෙහි ගත් කර තිබෙන අතර, 1983 වසරේ සිට ඔහු වසරකට දෙවරක් බැගින් පැමිණීමද සිදු කර තිබේ.
කයි මහතා මෙවර සිය 55 වැනි සංචාරය සඳහා පැමිණෙන විට, ඔහුගේ හොඳම මිතුරා වූ ජෝන් ජෙයරාජ් රත්නම් මහතාත්, හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයට 50 වතාවක් පැමිණීම හේතුවෙන් ඔහුගේ කළණ මිතුරා වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ සිරි ගුණවර්ධන මහතාත් කටුනායක ගුවන් තොටුෙපාළට පැමිණ විශේෂ පිළිගැනීමක් සිදුකොට, මෝටර් රථයකින් රැගෙන යාමට තරම් සංග්‍රහශීලී වී තිබුණි.
කයි සැන්ඩර් මහතා සහෝදරයන් 5 දෙනකුගෙන් යුත් පවුලක සාමාජිකයෙකි. ඔහු මීට වසර 5 කට පමණ පෙර සිය මව සමඟ ද තුන් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ තිබේ. මේ වනවිට සිය මව මියගොස් ඇති අතර, මේ වසරේ පෙබරවාරි මාසයේ කයි මහතාගේ සහෝදරයාත්, සිය බිරිය හා දරුවනුත් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව ඔහු කියයි. ඔවුන් ද එම කාලය තුළ නතර වීමට අදහස් කොට ඇත්තේද හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයේ වීම විශේෂත්වයකි.
කයි සැන්ඩර් මහතා කිසිවිටෙකත් මත්පැන් පානය නොකරයි. ඔහුට එරෙහිව වෙනත් පැමිණිලිද නැත. විශේෂයෙන්ම ඔහු සමලිංගිකයෙක් නොවේ. ඒ අනුව කයි මහතා 100% ක්ම මහත්මා ගතිගුණ වලින් හෙබි නියම මහත්මයකු බව මෙම මිතුරන් දෙදෙනා ගුවන් තොටුෙපාළේ දී ප්‍රකාශ කළෝය. එමෙන්ම ඔහු දුම් පානය සිදු කරන්නේ ද ඉතා සීමිත ආකාරයට බවද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළෝය. වර්තමානයේ බොහෝ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේම ඉහත කරුණු මුල් කරගෙනය. එහෙත් කයි මහතා එවැන්නකු නොවීම, ඔහුගේ අඛණ්ඩ පැමිණීම්වල ගුණාත්මක බව තවත් ඉහළ නංවන්නට හේතු වී තිබේ.
කයි මහතා ඉස්සෝ, කකුළුවන්, පොකිරිස්සන් සහ මාළු අනුභව නොකරයි. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒවායින් ඔහුට දුර්ගන්ධයක් වහනය වීම නිසා බැව් තමන්ට ප්‍රකාශ කර ඇතැයි මෙම මිතුරන් දෙදෙනා කියති. කයි මහතා පිළිබඳව මෙවන් චරිත සහතිකයක් තම සෙවණැල්ල මෙන් සිටින මිතුරන් දෙදෙනා නිකුත් කරන්නේ ඉතාමත් ගවේෂණාත්මක නිරීක්ෂණයන් ගෙන් අනතුරුව වීම විශේෂත්වයකි.
කයි මහතා ඩෙන්මාර්කයේ වසර පුරා වෙහෙස මහන්සි වී සේවය කරන අතර, ඔහු ශ්‍රී ලංකාවට පැමිණ විවේකය අර්ථාන්විතව ගත කරයි.
කයි මහතා ශ්‍රී ලංකාවට පැමිණි විට උදේ ආහාර ගන්නවා. සැන්ඩ්විච් කීපයක්, මස් පෙත්තක්, බිත්තරයක් වැනි දෙයක්. තව තේ හෝ පළතුරු බීම වීදුරුවක්. ඉන් පසු උදෑසන 9.00 සිට 11.30 පමණ වනතුරු අව්ව තපිනවා. ඊට පස්සේ මුහුදෙන් ටිකක් නාගෙන ඇවිත්, දහවල් 2.30 ට පමණ සුප් එකක් බොනවා. ඒ ඔහුගේ දහවල් ආහාරයයි. ඉන් පසුව ටිකක් නිදා ගන්නවා. සවස 4.00 පමණ අවදි වී පොත් - පත් කියවමින් කාලය ගත කරනවා. රාත්‍රියට ඔහුට ලබාදෙන කුමන හෝ ආහාරයක් ඔහු ගන්නවා. ජෝන් ජෙයරාජ් මහතා ප්‍රකාශ කළේය .
ජෝන් ජෙයරාජ් මහතාගේ කොළඹ නිෙවසේ දින කීපයක් ගත කරන කයි මහතා, ජෝන් ජෙයරාජ් මහතාගේ බිරිය විසින් සාමාන්‍යයෙන් පිළියෙළ කර දෙන පරිප්පු සමඟ බත් පවා කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ආහාරයට ගන්නේ, ඔහුගේ නිහතමානී බව නිහඬව ප්‍රකාශ කිරීමක් ලෙසින් බව ජෝන් මහතාගේ අදහසයි. කයි මහතා සිය විශ්‍රාම යෑමෙන් පසු සෑම වසරකට වරක් පැමිණීම සිදුකරන අතර, එසේ පැමිණි විට ශ්‍රී ලංකාවේ මාස තුනක පමණ කාලයක් ගත කරයි. ඔහු කතරගම, තිස්සමහාරාමය, බදුල්ල, බණ්ඩාරවෙල, මස්කෙළිය, මහනුවර ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට බෙහෙවින් ප්‍රිය කරයි. එම ගමන් සඳහා බොහෝ විට ජෝන් ජෙයරාජ් මහතා ද සහභාගි කර ගැනීමට ද කටයුතු කරයි.
කයි සැන්ඩර් ජේසන් මහතා සිය 55 වන ශ්‍රී ලංකා සංචාරය ලබන මාර්තු මස 11 දින නිමා කොට, සිය නවාතැන වූ හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයේ 403 වැනි කාමරයට 50 වැනි වරටත් සමුදෙමින්, යළි ආපසු ඩෙන්මාර්කය බලා යෑමට නියමිතය. ඒ යළිත් 2018 වසරේ ජනවාරි මාසයේ, සීතල දුරුත්තේ ශ්‍රී ලංකාවට 56 වැනි වතාවටත් පැමිණීමේ අපේක්ෂාවෙනි.
♦ කටුනායක ටී.කේ.ජී. කපිල