2017 ජනවාරි 07 වන සෙනසුරාදා

101 කාමරේ පිහි ඇනුම

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සේවයේ නියුක්තව සිටි ප්‍රසිද්ධ විශේෂඥ මනෝ වෛද්‍යවරයකුට රෝගියකු ලෙස පෙනී සිටිමින් පැමිණි අයකු විසින් උල් පිහියකින් පහර දී තුවාල සිදු කිරීම පිළිබඳව රටේ බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලීස් පොතේ සටහන් විය.

දැනගන්නට ඇති පරිදි සිදුවීම මෙසේය.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ මෙකී රෝහල පෞද්ගලික අංශයට අයත් වූවකි. ප්‍රමුඛ පෙළේ දක්ෂ වෛද්‍යවරුන් රාශියකින් සැදුම්ලත් රෝහල නිතිපතා කාර්යබහුලය. සති අන්තයට මත්තෙන් එන සිකුරාදා දිනය රෝහලට සෙසු දිනයන්ට වඩා සේවා අධිකය.

මේ ආකාරයට ගෙවෙමින් තිබුණේ තවත් සිකුරාදා දවසකි. හරියටම දිනය ඉකුත්ව ගිය 30 වැනිදාය. රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයද සිය සේවාවන්හි නිරතව සිටියේ ප්‍රතිකාර සඳහා පැමිණ සිටි බාහිර රෝගී අංශයේ විශාල පිරිසක් අතරය.

රෝහල් පරිශ්‍රයේ පළමු මහල වෙන්වී තිබුණේ බාහිර රෝගී අංශය සඳහාය. එහි එකිනෙකට වෙන් වූ කාමර අංකනය කර තිබුණි. එම කාමර සියල්ල ඉදිරියේ එක පෙළට අසුන්ගෙන සිටියේ රෝගීන් සහ ඔවුන් කැටුව ආ පිරිස්ය. එම කාමර සංකීර්ණය එක් කෙළවරක පිහිටි කාමරය අංකනය කර තිබුණේ අංක 101 වශයෙනි. එහි බිත්තිය ඉදිරියේ වූ පුවරැවක නම සටහන් වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය නිරෝෂන් මහේන්ද්‍ර මෙන්ඩිස් ලෙසය. 

එම කාමරය ඉදිරියේ සිටි වෛද්‍යවරයාගේ කාර්ය මණ්ඩල සහායකයකු විසින් නියමිත වාරය පැමිණි පසු එක් එක් රෝගියා බැගින් වෛද්‍යවරයා හමුවට යවනු ලැබීය. වෛද්‍යවරයා සිය සායන කාමරයේ තනිවම රැඳී සිටිමින් සුපුරුදු විශේෂඥ මනෝ වෛද්‍ය සේවය සපයමින් සිටියේය.

සුපුරුදු පරිදි වෛද්‍යවරයා හමුවට ගිය රෝගියකු අවශ්‍ය ප්‍රතිකාර ලබා එම ස්ථානයෙන් පිටවී ගියේය. අනතුරුව නියමිත වාරය පැමිණ තිබුණේ එහි රැඳී සිටි තරුණයකු වෙතය. සෙසු රෝගීන් මෙන්ම කාමරය ඉදිරියේ වූ අසුන් පෙළේ රැඳී සිටි ඔහු තම අවස්ථාවේ නැගී සිට වෛද්‍යවරයා වෙත ගියේය. වෛද්‍යවරයා හමුවට එම පුද්ගලයා ගිය සැණින් කාමරයේ දොර වසනු ලැබීය.

අනතුරුව මිනිත්තුවක් හෝ ගතවන්නට වූයේ නැත. වෛද්‍යවරයා රැඳී සිටි කාමරය තුළින් ඇසෙන්නට වූයේ මරලතෝනියකි. නුපුරුදු ශබ්දයක් වුවද ඝෝෂාත්මකව හඬකින් කෑගසා උදව් ඉල්ලන්නේ විශේෂඥ වෛද්‍යවරයා බව හැඳිනගන්නට දොරටුව අසල උන් කාර්ය මණ්ඩල සාමාජිකයාට කල්ගත වූයේ නැත. හදිසියේ ඇතිවූ කලබලය කුමක්දැයි බලන්නට ඔහු වහා දොර ඇරියේය.

විශේෂඥ වෛද්‍යවරයා අසුන්ගෙන සිටියේ තරමක කුඩා මේසයක් අසලය. කෑගසමින් තමා ඉදිරියේ උන් අයගෙන් බේරෙන්නට උත්සාහ ගනිමින් සිටි ඔහු හිස, මුව, ගෙල පුරා ලේ ගලමින් සිටියේය. වෛද්‍යවරයා ඉදිරියේ සිටි පුද්ගලයා ඉවක් බවක් නොමැතිව ඔහු අතවූ උල් පිහියකින් වෛද්‍යවරයාට පහර පිට පහර එල්ල කරමින් සිටියේය. වෛද්‍යවරයාගේ හිස මත්තෙන් ගලනා ලේ පහර ඔහුගේ ඇඳුම් තෙතබරිත කරන්නට විය.

මෙය දුටු වහාම වෛද්‍යවරයාගේ කාර්ය මණ්ඩල සහායකවරයාද හඬ නගන්නට විය. එසැණින් ඔහු දිව ගියේ පහර කෑමට ලක්වෙමින් සිටි වෛද්‍යවරයා බේරා ගැනීමටය. මේ නුපුරුදු කාලගෝට්ටිය ඒ මොහොතේ රෝහල් පරිශ්‍රය කළඹද්දී වෛද්‍යවරයාට පහර දෙමින් සිටි පුද්ගලයා වහාම කාමරයෙන් එළියට විත් පැන දිවීමට උත්සාහ කළේය. එසැණින් ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් පලායන පුද්ගලයා පසුපස පන්නා ගියහ. රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීහුද වහා එම පුද්ගලයා ලුහුබැඳ ගියහ. අවසානයේ පැමිණ සිටි පිරිස් සහාය ඇතිව පලායමින් සිටි පුද්ගලයා අල්ලා ගනු ලැබුවේ දැඩි පරිශ්‍රමයකින් පසුවය. එසැණින් ක්‍රියාත්මක වූ රෝහල් ආරක්ෂක අංශ නිලධාරීහු එම පුද්ගලයා කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත බාරදෙන්නට කටයුතු කළහ.

මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ වෛද්‍ය නිරෝෂන් මහේන්ද්‍ර මෙන්ඩිස් මහතා හදිසි ප්‍රතිකාර අංශය වෙත යොමුකොට තිබූ අතර ඉන් පසුව වෛද්‍යවරයා එම රෝහලේම දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරන්නට වෛද්‍යවරු කටයුතු කළහ. පසුගිය දෙසැම්බර් 30 වැනිදා පස්වරැ 4ට පමණ වෛද්‍ය සායනයක් අතරතුර සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් තුවාල ලැබූ මහේන්ද්‍ර මෙන්ඩිස් මහතාගේ හිස, මූණ සහ ගෙල ආශ්‍රිතව බරපතළ කැපුම් තුවාල දහයක් පමණ සිදුව තිබුණි.

සිද්ධිය පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර වෛද්‍යවරයාට පහරදුන් සැකකාර පුද්ගලයා රත්තනපිටිය, බොරලැස්ගමුව පදිංචි 27 හැවිරිදි අයකු බවට හඳුනා ගැනිණ. ඔහු කාලයක සිට මානසික රෝගයකින් පෙළෙන අයකු බවටත් දීර්ඝ කාලයක සිට මෙම වෛද්‍යවරයාගෙන්ම ප්‍රතිකාර ලබාගනිමින් සිටි අයකු බවටත් කරුණු හෙළිවිය.
මෙම සැකකාර තැනැත්තා මීට ඉහතදී 2016 ඔක්තෝබර් 9 වැනිදා මේ අයුරින්ම වෛද්‍යවරයාගේ සායනයට පැමිණ සිටි බවත් එදිනද ඔහු වෛද්‍යවරයාට අතින් පයින් පහර දී පලාගොස් සිටි බවත් වාර්තා වී ඇත. එදින පහර දීම හේතුවෙන් වෛද්‍යවරයාගේ දතක් ගැලවී ඇති බවද සඳහන්ය. නමුත් වෛද්‍යවරයා එහිදී පවසා තිබුණේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම අනවශ්‍ය බවකි. වෛද්‍ය මතය අනුව එහිදී සිදුව ඇත්තේ වෛද්‍යවරයා විසින් සිදු කරන ප්‍රතිකාර රෝගියා සලකා ඇත්තේ ඔහුට හිරිහැරයක් සිදුකරන කටයුත්තක් ලෙසින් බවය. එසේ තමන්ට වද හිංසා කරන බව සිතා ඊට පළිගැනීමක් වශයෙන් රෝගියා විසින් වරෙක වෛද්‍යවරයාට පහර දී ඇති බවත් දෙවැනි වරට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවත් අනාවරණය වී ඇත.

සිදුවීම අධිකරණය වෙත වාර්තා කරන්නට පියවර ගනු ලැබූ අතර ඒ පිළිබඳ විමර්ශනය කොම්පඤ්ඤ වීදිය පොලිස්ථානය විසින් සිදු කෙරිණි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර