
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප උවත් රජමැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
මේ පැරැන්නන් අධ්‍යාපනය කෙරෙහි දැරූ මතයයි.
1931 – 1934 යන කාලය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැක. ඒ අන්කවරක් නිසාවත් නොව සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපන අමාත්‍යධුරය හෙබවූ නිසා බව බොහෝදෙනාගේ මතයයි. එහෙයින් බොහෝදෙනා ඔහු හඳුන්වනු ලැබුවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසිනි.
මේ නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් අලුත් අවුරුද්දකට අලුත් පත - පොත රැගෙන අලුත් ඇඳුම් ඇඳ පැළඳ පාසලට පියමනින්ට කුඩා දරුවන් කවුරුත් කැමතිය. පුංචි දරුවන් පාසලට යනවිට ඔවුන් සමනළ රෑනක් සේ දකින සැමටම සිතට දැනීම පුදුමයක් නොවේ.
එදා වසර අවසානයේදී ගුරුතුමිය අතින් නිල ඇඳුම් ලබාගෙන ගෙදර බලා පියමනින කුඩා දරුවන්ට අද සිදුව ඇත්තේ වවුචරයක් අතදරාගෙන සිය නිවස බලා යාමටය.
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම ඇරැඹුණේ 1993 ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එ.ජා.ප. පාලනයක් යටතේය. එය පසුගිය වසර දක්වාම සියලුම රජයන් මගින් නොකඩවා පවත්වාගෙන එනු ලැබුවේය. එහිදී සිදුවූ බවට චෝදනා නැගුණු දූෂණ, වංචාවලට තිත තැබීමේ අරමුණින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව සිදුකළේ පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමේදී අතරමැදියන් විසින් ගසාකන කොමිස් මුදලට තිත තැබීම සඳහා වවුචර් ක්‍රමයක් ආරම්භ කිරීමය.

වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා පවසන පරිදි පසුගිය රජය පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා වෙන්කර තිබූ මුදල රුපියල් මිලියන 2300කි. නමුත් වත්මන් රජයේ අධ්‍යාපනය බාර අමාත්‍යවරයාට අනුව ඒ සඳහා වියදම් වන මුදල රුපියල් මිලියන 1400කි. දරැවන්ට නොමිලයේ ලබාදෙන නිල ඇඳුම්වලින් මිලියන 900ක් හෙවත් කෝටි 90ක් පසුගිය රජයේ නිල ඇඳුම් ලබාදීමට කටයුතු කළ අතරමැදියන් කොමිස් මුදල් ලෙස ගිලදමා ඇති බවට චෝදනා එල්ලවී තිබුණේය.
අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය සැප්තැම්බර් මාසයේදී සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිවරුන් වෙත ලිපියක් යවමින් කියා තිබුණේ දුෂ්කර පාසල්වල සිසුන්ට නගරයට ගොස් නිල ඇඳුම් සඳහා රෙදි මිලදී ගත නොහැකි බැවින් ඔවුන්ට ආධාර පිණිස ලංකා සළුසල ආයතනය හරහා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවය. ඒ ව්‍යාපෘතිය හරහා රෙදි මිලදී ගත හැකි බවට මව්-පියන් දැනුවත් කරන ලෙසත් ඉල්ලීමක් කෙරිණි.
මෙම වවුචර් ක්‍රමය යටතේ රෙදි ලබාදෙනවිට සතුටුවන නාගරික මව්පියන් මෙන්ම එදිනෙදා තම ජීවනෝපය කර ගනිමින් ඒ සඳහා නගරයට යෑමට දවසක් පාඩුකරගැනීමට අසතුටු මව්-පියනුත් මේ අතර සිටිති.
කෙසේ වුවද වවුචර් ක්‍රමයට පාසල් නිල ඇඳුම් ලබාදීමේදි මහා පරිමාණ වංචාවක් සිදුවන බවට ලංකා ගුරු සංගමය පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මෙම රෙදි ලබාගැනීම සඳහා කිසිදු ආකාරයක ටෙන්ඩර් කැදවීමක් සිදුකර නොමැති බවටද ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් කියැවිණි.
අද වනවිට ලංකා සළුසල ආයතනයේ සේවය කරනු ලබන පිරිස ඉතා අතලොස්සකි. එවැනි පිරිසක් සමස්ත ශ්‍රී ලංකාවේ පාසල් විශාල ප්‍රමාණයකට නිල ඇඳුම් ලබාදෙන්නේ කෙසේද පිළිබඳවද ගැටලුවක් ඇත.
ලංකා ගුරු සංගමය පවසන ආකාරයට අමාත්‍යංශයක ඉහළ පුටුවක සිටින්නකුගේ කැමැත්ත පරිදි ටෙණ්ඩර් පටිපාටියකින් තොරව එක් පුද්ගලයකුට මේ කාර්යය බාරදී ඇත. සරලවම කිවහොත් ව්‍යාපාරිකයකුට සළුසල නම යොදාගනිමින් රෙදි විකුණන්නට අවස්ථාවක් ලබාදී ඇත.
මෙම රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගැටලු මතුවෙන විට මෙය නවත්තන්නට ආණ්ඩුව පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ඒ වනවිට එම ඇඳුම් බෙදාදීමේ ව්‍යාපෘතිය තරමක් දුරට ගොස් හමාරය.
මේ අතර දුෂ්කර පාසල්වල සළුසලේ රෙදි අලවිකළ බව පවසමින් විදුහල්පතිවරුන් කීපදෙනකු සම්බන්ධව විනය පියවර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබුණි. පාසල් දෙකක විදුහල්පතිවරුන්ට තම වැඩ නැවතීමට සිදුවූයේද ඒ අනුවය.
ටෙණ්ඩර් පටිපාටියකින් තොරව සිදුකරනු ලැබූ මෙම නිල ඇඳුම් ලබාදීමේ අක්‍රමිකතාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් පිළිබඳව මෙතෙක් අපට දැනගන්නට ලැබී නැත.
මේ කරුණු පිළිබඳව විමසීමට ලංකා සළුසල ආයතනයේ සභාපති කේ.කේ. චන්ද්‍රෙස්න සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද ඔවුන් දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
දූෂිතයන්ට සහ වංචාකරුවන්ට වැට බැඳීමට පොරොන්දු දෙමින් බලයට පැමිණි යහපාලන රජයට සළුසල ආයතනයේ සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ඇති මෙම කඹ ඇදිල්ලටත් ඒ හරහා යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටත් පිළිතුරු නැතිවීම මහත් කනගාටුවකි. මේ හේතුවෙන් අමාරුවේ වැටී ඇත්තේ රටේ අසරණම පවුල්වල මාපියන් සහ දූ දරුවන් වීම මහත් ඛේදවාචකයකි.
♦ හසිත් අංජන