2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

පුතාට අපල නිසා බයික් එකත් අල්ලන්නවත් දෙන්න එපා කිව්වා

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

පිළියන්දල අනතුරින් මියගිය ෂෙහාන්ගේ මව වැළපෙමින් කියයි

ටික දවසකට කලින් පුතාගේ වෙලාව බැලෙව්වා.... පුතාට ගොඩක් අපල තියෙනවා කියලා පරිස්සම් වෙන්න කීවා. බයික් එකක් නම් අල්ලන්නවත් දෙන්න එපා කියලා කීවා... එහෙම තියෙද්දී යාළුවෙක්ගෙ බයිසිකලේ පිටිපස්සෙ ගිහින් පුතා නැතිවුණේ... යතුරුපැදි අනතුරකින් මියගිය ෂෙහාන් තිළිණ නාකන්දල (17) තරුණයාගේ මව වූ සාගරිකා මහත්මිය හැඬූ කඳුළින් එසේ පැවසුවාය.

ආරක්ෂිත හිස්වැසුම් රහිතව එකම යතුරුපැදියක ගමන් කළ තරුණයන් තිදෙනකු පිළියන්දල මඩපාත මාර්ගයේ එනසාල්වත්ත 3 වැනි සැතැපුම් කණුව ආසන්නයේදී පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීම හේතුවෙන් ෂෙහාන් තිළිණ එම ස්ථානයේම මියගොස් තිබිණි. අනෙක් තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූහ. එම තරුණයන් දෙදෙනාගෙන් අයෙක් බරපතළ තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් තරුණයා උකුල් ඇටය බිඳී ප්‍රතිකාර ලබමින් සිටී.

අසල්වැසි ගම් දෙකක පදිංචි ගයාෂාන් හා එමින්ද ෂෙහාන්ගේ ළඟම පාසල් මිතුරෝ වෙති. නිවාඩුවක් ලද වහාම කොතැනක හෝ තිදෙනා හමුවීම පුරුද්දය. සිය නිවසේ නිදාගෙන සිටි ෂෙහාන් සොයා පැමිණි මිතුරන් දෙදෙනා යෝජනා කොට තිබුණේ සරුංගල් යවන්නට යමුයි කියාය.

“පුතා කලින් දවසෙ රෑ වැඩකරලා පාන්දර ආවේ. නිදිමතයි කියලා පන්ති යන්නත් බෑ කියලා නිදාගෙන ඉද්දි පුතාගෙ යාළුවො දෙන්නෙක් ආවා. එයාලත් එක්ක සරුංගල් අරින්න යනවා කියලා දවල් 2ට විතර තමයි එදා ගෙදරින් ගියේ. හවස 4.30ට විතර පුතාගේ යාළුවෙක්ගේ අම්මයි තාත්තයි දෙන්නෙක් අඬාගෙන ඇවිත් කීවා... ”ඔයාලගේ පුතා වෙන්න ඇති ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා ගිහින් බලන්න කියලා. ඒ ගමන්ම ගෙදරින් කට්ටිය ගිහින් බලද්දි පුතා පාරේ වැටිලා හිටියාලු යැයි ෂෙහාන්ගේ මව වන සාගරිකා මහත්මිය කීවාය.

ෂෙහාන්ගේ මිතුරන් දෙන්නා පැමිණ තිබුණේ යතුරුපැදිය නිවසට මඳක් දුරින් නවතා තබාය. ෂෙහාන් කැටුව ඔවුන් දෛදනා යතුරුපැදියක නැගී යන බව ෂෙහාන්ගේ මව හෝ නිවැසියන් දන්නේ නැත. යහළුවන් තිදෙනා ෂෙහාන්ගේ නිවසේ සිට මඩපාත පාරේ කිලෝමීටර් දෙකකට පමණ එහායින් පිහිටි ස්ථානයට ගොස් තිබුණි. පැය දෙකක් පමණ එහි ගතකළ තරුණයන් නැවත එන අතරමඟදී ඉන්ධන පිරවුම්හලකට ගොස් යතුරුපැදියට ඉන්ධන සපයාගත් ආකාරයද එහි තිබූ සී.සී.ටී.වී. කැමරාවක පටිගත වී තිබුණි.

ඉන් පිටත්වූ යතුරුපැදිය ගිය අධික වේගය දුටුවන් මවිත කළ බව කියති. ඇතැම් තැනෙක යතුරුපැදිය ධාවනය කර තිබුණේ නියමිත මංතීරුවට පිටිනි. දෙදෙනකුට පමණක් ගමන් කළ හැකි යතුරුපැදියේ තිදෙනකු ගමන් කිරීම වරදකි. හිස්වැසුම් නොමැතිව ගමන් කිරීම තවත් වරදකි. එය මාරක අනතුරකට බරපතළ හේතුවකි. ඒ සියල්ල අතර අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදිය පිළියන්දල දෙසට පැමිණෙමින් සිට ඇත.

මිතුරන් තිදෙනා රැගත් යතුරුපැදියට ඉදිරියෙන් ධාවනය වන රථවාහන කීපයකි. ඔවුන්ගේ අදහස වන්නට ඇත්තේ වාහන පෙළ අභිබවා ඉදිරියට යන්නටය. වේගයෙන් යන යතුරුපැදිය දුටු සෙසු වාහනවල ඇතැම් රියදුරන් සිය රථ මාර්ගයෙන් ඉවතට ගෙන තිබුණේ තම වාහනයට අනතුරක් වේයැයි සැකයෙනි. වේගයෙන් එන යතුරුපැදිය දකුණු පසින් ඉදිරියට ගියේ තවත් මෝටර් රථ පෙළක් පසුකරමිනි. තවදුරටත් නිරුපද්‍රිතව යන්නට වාසනාවක් නොතිබූ යතුරුපැදිය මාර්ගය හරහා පෙරළී ගියේ ඇසිපිය හෙලන නිමේෂයකිනි. මේ දුටු ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයේ රියැදුරු වහාම සිය රථය වම්පසට කොට නවතා හමාරය. යතුරුපැදිය පෙරළීමත් සමඟ උඩින් විසිවී ගිය තරුණයන් තිදෙනා මීටර් ගණනාවක් ඈතින් තිබූ ලොරිරථයේ ඉදිරිපසට ඇද වැටී තිබුණේ එකම ගොඩකටය. ලොරි රථයත් මාර්ගයේ අනෙක් පසත් අතර වූ ඉඩකින් පෙරළී ඇදීගිය තරුණයන් රහිත යතුරුපැදිය තවදුරටත් මාර්ගයේ ඈතට ධාවනය වී අවසානයේ වම්පසට පෙරළී නතර වී තිබුණි. යතුරුපැදියේ කොටසක් ලොරි රථයේ ඉදිරිපස දකුණු කෙරළවරේ ගැටී ඇති බවද පෙනෙන්නට විය. ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණයන් දෙදෙනකු රෝහල් ගත කරන්නට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබිණි. ෂෙහාන් එම ස්ථානයේදීම මියගොස් සිටි බව දකින්නට ලැබිණ.
අනතුර වූ ස්ථානයට පැමිණි පිළියන්දල පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.එම්.යූ.කේ. බණ්ඩාර මහතා විමර්ශන සිදුකොට තොරතුරු සටහන් කළේය. යතුරුපැදිය බිම පෙරළුණු ස්ථානයේ සිට විසිවී ගිය තරුණයන් බිම වැටුණු ස්ථානයට දුර මීටර් 19කි. ලොරි රථය නවතා තිබුණේ එතැනය. ලොරි රථයේ ඉදිරියේ දකුණු පස කෙළවර ගැටුණු යතුරුපැදිය තවදුරටත් මීටර් 23ක් ඈතට විසිවී ගොස් නතර වී තිබුණි. ඒ අනුව යතුරැපැදිය පෙරළී බිම දිගේ ඇදී ගිය දුර ප්‍රමාණය මීටර් 42කි.

අනතුරින් මියගිය ෂෙහාන් තිළිණ අංක 46/3, කෙළමුන්න, පිළියන්දල ලිපිනයේ පදිංචිව සිටි යෞවනයෙකි. ඔහු හෝටල් පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර පුහුණුව සඳහා ගල්කිස්ස මහ හෝටලයට සේවයට ගොස් සිටියේය. මෙරට හයමාසික පුහුණුවෙන් පසුව ලබන ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියාව බලායාමට නියමිතව සිට ඇත්තේ ඉදිරි වසරක පුහුණුව සඳහාය. අංක 70/2, බටකැත්තර, පිළියන්දල ලිපිනයේ පදිංචි ගයාෂාන් දුලංග (19) සහ අංක 2/A, හල්ගහවත්ත, බටකැත්තර පදිංචි ධනුජ එමින්ද (17) අනතුරින් තුවාල ලබා සිටිති.

පසුගිය 19 වැනිදා වූ මේ අනතුර පාසල් නිවාඩු සමයේ සරුංගල් යවන්නට හා සෙල්ලමට සිත් යොමුකරන දරුවන්ට හා තරුණයන්ටද මාපියන්ටද ජීවිතයේ අවදානම කියාදෙන පාඩමකි.

♦ කතාව / සේයාරූ: සමන්ත ප්‍රදීප් විල්තෙර