2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

බුලත් - ගම්මිරිස් ගොවියෝ මකර කටේ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 456

අපේ රටට විදේශ විනිමය ගෙන දෙන නිෂ්පාදන දෙකක් වන බුලත් සහ ගම්මිරිස්වලට මේ වනවිට කනකොකා හැඬීමට පටන් ගෙන ඇත. රටේ ඇතැම් දේශපාලනඥයන්ගේ දූෂිත ක්‍රියා පිළිවෙළද එයට සමහර නිලධාරින් සහය පළ කිරීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ. මෙම නිෂ්පාදනවලින් අප රට ලබා තිබූ කීර්තිය අපකීර්තියක් බවට පත්වෙමින් පවතී. එසේම මිල අඩුවීම නිසා දේශීයව අලෙවිකරන ගොවීහු අසීරුතාවකට පත්ව සිටිති. අවුරුද්දක පමණ කාලයක සිට රටේ බුලත් මිලද සීග්‍ර ලෙස පහළ බැසීමට පටන් ගෙන තිබේ. වෙනදා රුපියල් 15000-18000කට මිල නියම වූ අපනයන බුලත් වට්ටිය අද වන විට රුපියල් 10000ටත් වඩා පහළ මිලකට වැටී ඇත. 

මෙලෙස මිල පහළ වැටීම නිසා නිෂ්පාදන අඩුවී තිබේ. බුලත් ගොවියන් වෙනත් අංශ කෙරේ මාරුවීමටද මෙය හේතුව වී ඇත. 

දැඩි නියඟය ගොවියාට බලපා ඇති අතර ජලය නොමැති වීමෙන් වගාව විනාශ වී තිබේ. පොහොර මිලද ඉහළ ගොස් ඇති අතර කොල පුල්ලි රෝගයට නිසි ප්‍රතිකර්ම නොමැති වීමෙන් වගාව මිය ගොස් තිබේ. එසේම නව බුලත් ප්‍රභේද හඳුන්වා නොදීම නිසා සම්ප්‍රදායික වගාවට යොමුවීම සිදුව ඇත. බුලත් ඉන්නක මිල රුපියල් 25-30 දක්වා ඉහළ ගොස් ඇති අතර පන්දලම් බැඳීමට අවශ්‍ය පුවක් පටි සහ උණ ලී වල හිඟයක් ඇති වී මිලද ඉහළ ගොස් තිබේ. 

වෙනත් වගාවලට මෙන්ම මෙයටද අතරමැදියන් බිහිවී ඇති අතර ගොවියා සහ අපනයනකරුවා අතරට පැමිණ ඇති අතරමැදියා මිල ඉහළ දැමීමට හේතු වී තිබේ. බුලත්වලට අවම මිලක් නියම කළ යුතු යැයි සෑහෙන කාලයක සිට ගොවියන් ඉල්ලුවද එයට වගකිව යුත්තන් කර අරින බව පෙනේ. 

ලෝක වෙළෙඳපොළේ බුලත් ඉල්ලුමෙන් සියයට 5ක් තරම් සුළු ප්‍රමාණයක් මේ වනවිට ශ්‍රී ලංකාව සපයයි. මෙම තත්ත්වය ඉහළ නැංවීමට කිසිදු සැලසුමක් වගකිවයුත්තන් සතුව නොමැත. අපේ ප්‍රධාන ගැණුම්කරු පාකිස්ථානය වන අතර බුලත් කිලෝවකට අයකරන අපනයන බද්ද රුපියල් 292කි. මේ අනුව අපනයනය කරන බුලත් කූඩයක් සඳහා ගෙවිය යුතු බද්ද රුපියල් 2900කට වැඩිවේ. දෙරට අතර සාකච්ඡා කර මෙම බද්ද අඩුකිරීමට කටයුතු කළ යුතුය. නමුත් එය සිදුවී නොමැත.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි 2016-18 වසර තුළ දියත් කෙරෙන කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එම වැඩසටහන තුළින් බුලත් ගොවියාට සහනයක් සැලසිය යුතුව ඇති බවය. ඵලදායිතාව ඉහළ නැංවීම, ඉහළ මිල ගණන් සහතික කිරීම, තරඟකාරි දේශීය සහ විදේශීය වෙළෙඳපොළවලට බාධාවකින් තොරව ප්‍රවිශ්ටවීමට ඉඩ සැලසීම, පසු අස්වනු හානි අවම කිරීම වගාබිම් ප්‍රමාණ පුළුල් කිරීම මෙහි පරමාර්ථ වේ. 

 

පසුගිය වර්ෂ පහ තුළ බුලත් අපනයනය සහ ලැබූ ආදායම වගුෙව් දැක්ෙව්. ඒ අනුව 2014 වසරේ සිට ක්‍රමයෙන් අපනයනය අඩු වී ඇති අන්දම සනාථ වේ. 

ගම්මිරිස් මිලටද පසුගිය දිනවල හෙනහුරු දසාව ලැබීම ආරම්භ වූයේ අවස්ථාවාදින් බාල ගම්මිරිස් ආනයනය කර අපේ ගම්මිරිස්වලට මිශ්‍ර කර ප්‍රති අපනයනය කිරීමට පටන් ගැනීම නිසාය. මෙම තත්ත්වයට එරෙහිව උද්ඝෝෂණ පැවැති අතර ගම්මිරිස් කිලෝව රුපියල් 600 පමණ පහළ බැස තිබුණි. ගොවියන් සමඟ කළ සාකච්ඡාවකදී කිලෝව රුපියල් 900 බැගින් මිලට ගැනීමට ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන ඇමැති දයා ගමගේ එකඟ වූ අතර මිලදී ගැනීමට මධ්‍යස්ථාන 24ක් පිහිටුවීමටද වූ පොරොන්දු ඉටු නොවූ බව ගොවි සංවිධාන කියයි. එසේම පිටරටින් ගම්මිරිස් නොගෙන්වන බවටද ඇමැති පොරොන්දු වී තිබේ. 

පසුගියදා පැවැති ගොවි උද්ඝෝෂණ නිසා රජයට යම් පමණක බලපෑමක් එල්ල වී තිබෙන බව දක්නට ඇත. පසුගිය වසරේ වියළි ගම්මිරිස් කිලෝවක අලෙවි මිල රුපියල් 1485ක් වූ අතර අමු ගම්මිරිස් කිලෝව රුපියල් 400-450 අතර අලෙවි කෙරුණි. එහෙත් බාහිරින් පෙනෙන කිසිදු හේතුවක් නොමැතිව මේ වසරේ වියළි ගම්මිරිස් කිලෝව රුපියල් 600 දක්වාද අමු ගම්මිරිස් රුපියල් 200ටද පහළ බැසීම මෙම ගොවි උද්ඝෝෂණවලට හේතුවිය. මිද්දෙණිය, වැලිපිටිය, හෙල්ලල, පසුගහයාය, ජුලම්පිටිය, ගල්පොත්තාය, කුඩගල්ආර ආදි ප්‍රදේශවල ගම්මිරිස් සාර්ථකව වගා කරන නමුත් බලාපොරොත්තු නොවූ පරිදි මිල පහළයාම ජනතාවගේ ආර්ථිකයට දැඩිව බලපා තිබේ. ගම්මිරිස් කිලෝ 50ක් නිෂ්පාදනය කළ අයකුට ලැබෙනුයේ රුපියල් 30000කට අඩු මුදලක් බව ගොවීහු කියති. 2015-16 වසරවල මෙම ප්‍රමාණයට රුපියල් 70000කට වැඩි ආදායමක් ලැබී තිබේ. ගොවීන් කියන්නේ තවදුරටත් මිල අඩුවුවහොත් තමන්ට ජීවත්වීම සඳහා වෙනත් ආදායම් මාර්ගයකට යොමුවන්නට සිදුවන බවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ මිල බරපතළ ලෙස පහළ වැටීමෙන් පීඩාවට පත්ව සිටින ගම්මිරිස් ගොවීන් සහ අසාධාරණයට ලක් වූ බුලත් ගොවියන් වෙනුවෙන් තම සංවිධානය දිගටම සටන් වදින බවය.

බුලත් ගොවීන් මුහුණපා සිටින ගැටලුව පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා සමඟ අපි පසුගිය 9 හා 14 දිනවල සාකච්ඡා කළා. එහිදි අපේ ඉල්ලීම වුණේ බුලත් වෙළෙඳාම රජය අතට අරගෙන මිල පහළ වැටීම නවත්වන්න කියලයි. එහෙත් රජය එයට අකමැති වූ අතර ඇමැතිවරයා පැවසුවේ රජය වෙළෙඳපොළ තැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් මැදිහත්වීම් සිදුකරන බවයි. මිල පහළ වැටීම වැළැක්වීමට අපනයනය දිරිගන්වා අවශ්‍ය විදේශ වෙළෙඳපොළවල් නිර්මාණය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසුවා. එසේම රජය මැදිහත් වී බුලත් නිෂ්පාදන සමාගම් ඇතිකර එමගින් නිෂ්පාදනය වැඩිකර අපනයනය වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් ඇති කරන බවද කීවා.

ඔහු පවසන්නේ මෙය පවතින තත්ත්වයට යම් පමණක හෝ විසඳුමක් බැවින් ගොවියන් එයට කැමැති වූ බවයි. එහෙත් මෙහිදී රජය කටයුතු කර ඇත්තේ සියල්ලේම වගකීම ගොවියා මත පැටවීමට බව ඔහුගේ අදහසයි. ඉදිරිය දෙස උනන්දුවෙන් බලා සිටින බව ඔහු කියයි. 

කෙසේ වුවද බුලත් ගොවියා ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු කියයි. නිෂ්පාදනය වැඩිවීමෙන් මිල පහළ ගිය බවට රජය පවසන අදහස පිළිගත නොහැකි බව පවසන නාමල් කරුණාරත්න වැඩිදුරටත් අවධාරණය කරන්නේ 2016 වසරේ බුලත් අපනයනය අඩුවී ඇති බවයි. කොල පුල්ලි රෝගය නිසා නිෂ්පාදනය පහළ බැසීම මෙයට හේතුව වේ. එසේම නිෂ්පාදනය වැඩි කරන ක්‍රමවේද අනුගමනය කිරීමත් සිදුනොවන අතර සම්ප්‍රදායික ක්‍රම තවදුරටත් පවත්වාගෙන යාමට ගොවීහු කටයුතු කරති. බුලත් වෙළෙඳපොළ පුළුල්කිරීම සඳහා වගකිව යුත්තන් මෙතෙක් පියවර නොගැනීමද නිෂ්පාදනය අඩුවීමට හේතු වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි. 

ගම්මිරිස් මිල පහළ වැටීම අවම කිරීමට රජයේ මැදිහත්වීම අල්ප බව ජාතික සංවිධායක පෙන්වා දෙයි.

“පසුගිය 14දා සිදුකළ සාකච්ඡාවේදී ඇමැතිවරයා ඇතිකරගත් එකඟතා මේ වනවිට කඩ කරලා. ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900ක් කිරීමට රජය කටයුතු කර නැහැ. ගම්මිරිස් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000ක් දින 10ක් තුළ වෙන්කරන බවට ඇමැති දුන් පොරොන්දුවද කඩකරලා. 14දා පැවැති සාකච්ඡාවේදී ඇමැති දයා ගමගේ පැවසුවේ රජය සෘජුවම ගම්මිරිස් මිලට නොගන්නා නමුත් රජය නියම කළ මිලට වඩා වෙළෙඳපොළ මිල අඩුව ගියහොත් උපරිම ප්‍රමාණය කිලෝ 200කට යටත්ව මිලේ වෙනස රජය ගෙවීමට කටයුතු කරන බවයි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිවේද යන්න සැකසහිතයි”.

ඔහු පවසන්නේ නිවැරදි ලෙස වෙළෙඳපොළ කළමනාකරණය කරනවා නම් මෙලෙස අනවශ්‍ය බරක් දැරීමට රජයට සිදු නොවන බවයි. මහජන මුදල් වැය නොකර, ගොවියා රජයෙන් යැපෙන්නකු නොකර නිදහස් පුද්ගලයකු බවට පත්කරන්නේ නම් වඩා යහපත් බව ඔහුගේ පිළිගැනීමයි. ගම්මිරිස් වලට මුලදී තිබූ තත්ත්වය ඇතිකිරීම රජයේ වගකීමවේ. 

ගම්මිරිස් මෙට්‍රික් ටොන් 500ක් ශ්‍රී ලංකාවට ගෙනා බව ඇමැති දයාගමගේ පිළිගත් බව ජාතික සංවිධායක පවසයි. එසේ වුවද ඒවා ශ්‍රී ලංකා ගම්මිරිස් ලෙස ප්‍රතිඅපනයන කරන බව හරියටම සනාථ කරගැනීමට නොහැකි වූ බවද ඔහු කියයි. එහෙත් එවැනි දූෂිත ක්‍රියාදාමයක් දේශපාලන බලපෑම් මත පසුගිය දිනවල සිදුවූ බවද දැනගන්නට තිබේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ අත්සන් කළ ගිවිසුමකට අනුව මෙට්‍රික් ටොන් 500 ලැබුණු බවත් පසුව ගිවිසුම අවලංගු කළා යැයි ඇමැතිවරයා පැවසූ බවත් ඔහු කියයි. 

“කොහොම වුණත් මෙම ගම්මිරිස් කොටසක් අපේ වෙළෙඳපොළට පැමිණීම නිසා පසුගිය දා අපේ මිල පහළ ගියා. මේවා ප්‍රතිඅපනයනය නිසා අපේ අපනයන ගම්මිරිස්වල ප්‍රමිතිය අඩුවෙනවා. එය අපේ රටට අපකීර්තියක්. එය දිගටම රටට බලපාන අතර අපේ නිෂ්පාදනවල මිලද අඩුවිය හැකියි. තවද අපේ ගම්මිරිස් කෝටාව අඩු වීමටද හේතුවෙනවා. උදාහරණයක් ලෙස පැවසුවොත් ඉන්දියාවට මෙට්‍රික් ටොන් 6000ක් අපනයනය කරන විට එයට පිටරට ගම්මිරිස් ටොන් 2000ක් දැම්මොත් අපේ අපනයන ප්‍රමාණය ටොන් 4000ක් දක්වා අඩු වෙනවා. එය අපට පාඩුවක්”.

ඔහු පවසන්නේ අපේ ගම්මිරිස් ලොව හොඳම ඉස්තරම් ඒවා බවයි. අපේ ගම්මිරිස්වල විශේෂ ලක්ෂණ 3ක් ඇත. ඒවා සැර වැඩිය. වියට්නාම ගම්මිරිස් ඇට 4ක සැර අපේ එක ඇටයක තිබේ. එසේම තෙල් වැඩි අතර සුවඳින්ද ඉහළය. වසරකට ගම්මිරිස් ටොන් 20000ක් නිෂ්පාදනය කරන අතර එයින් ටොන් 2000-2500 පමණ පාරිභෝජනයට කරන බව ඔහු කියයි. අපේ ප්‍රබල ගැනුම්කරු ඉන්දියාව වන අතර මෙට්‍රික් ටොන් 6000 පමණ එරට මිලට ගනී. ටොන් 3500ක තෙල් නිෂ්පාදනය කෙරේ. ගම්මිරිස්වල ප්‍රමිතිය බලන්නේ (ෆයිබරින්) පරික්ෂණයෙනි. ඒ අනුව වියට්නාමය, ඉන්දුනීසියාව යනාදි රටවල ගම්මිරිස්වලට වඩා දෙගුණයක ඉහළ මට්ටමක අපේ නිෂ්පාදන පවතී. වියට්නාමයේ ප්‍රතිමිය 7 වනවිට අපේ ස්ථානය 11යි. ඒ නිසාම අපේ ගම්මිරිස් එකකට එකක් මිල ඉහළය.

ඔහු පවසන්නේ මේ නිසා ලෝක වෙළෙඳපොළේ ගම්මිරිස් මිල අඩු වුවද අපේ නිෂ්පාදනවල මිල පහළ නොයන බවය. මේ වනවිට ගම්මිරිස් මිල අඩු වී ඇති අතර එයට හේතුව ප්‍රතිඅපනයනය බවට සැක මතුවී තිබේ. මේ නිසා ප්‍රමිතියෙන් යුතු ගම්මිරිස් අපනයනය කර අපේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීම වැදගත් බව ඔහු කියයි. එසේ වුවද ආත්මාර්ථකාමී ඇතැම් දේශපාලනඥයන් හා වෙනත් අය නිසා අපේ ගම්මිරිස්වලට හානි සිදුවේනම් තම සංවිධානය ඒ සඳහා ප්‍රබල ලෙස මැදිහත්වන බව ඔහු කියයි. 

♦ යසවර්ධන රුද්රිගු