
වර්ෂ 1874 තරම් ඈත කාලයක එංගලන්තයේ නොටිංහැම් නගරයේ ඇල්බට් ප්රයර් අමුතු වැඩකට අතගසා සිටියේය. එහෙන් මෙහෙන් යකඩ කෑලි මූට්ටු කරමින් කළ ඔහුගේ වැඩේ ගැන කවුරුත් අවධානයක් යොමුකළේ නැත. ඔහුගේ නව නිපැයුම වූයේ කසළවලින් විදුලිය නිපදවන යන්ත්‍රයකි. ප්ලාස්ටික්, පොලිතින්, රිජිෆෝම් දක්නට නොතිබූ ඒ කාලයේ ප්රයර්ගේ සොයාගැනීමට කවුරුත් ඉහළ ප්‍රතිචාර නොදැක්වුවත් අද නම් (කසළ) යයි කී විට කාගෙත් ඇඟ හිරිවැටෙන තරමට එය හිසරදයක් වී තිබේ.
පසුගිය 10දා කසළවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියකට මුතුරාජවෙල කෙරවළපිටියේ දී මුල්ගල තැබීමත් සමඟ අප රටටද තවත් අලුත් මාතෘකාවක් ලැබිණි. ශ්‍රී ලංකාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8000ක් පමණ වන අතර, කොළඹ නාගරික බල ප්‍රදේශයේ එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600-800 අතර වේ. බස්නාහිර පළාත තුළ ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 3200ක් පමණ වේ. නමුත් සාමාන්‍යයෙන් සිදුවන්නේ නිසි කළමනාකරණයකින් තොරව මේවා තැන්තැන්වල ගොඩගැසීම පමණි. නමුත් මීතොටමුල්ලේ කසළ කන්දේ ඛේදවාචකයත් සමඟ බලධාරීන්ටද ඇස් ඇරුණි.
මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කසළ කළමනාකරණය සඳහා දියුණු රටවල භාවිත කරන තාක්ෂණික ක්‍රමවේද හා මෙවලම් භාවිතයට ගැනීමට කඩිනම් සැලසුම් සකස් කරන්නේද ඉන්පසුවය. ඊට දීර්ඝකාලීන විසඳුමක් ලෙස සනීපාරක්ෂක බිම් පිරවුම් ක්‍රමය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේදී දියත් කිරීමේ ව්‍යාපෘතියක් යෝජනා වී තිබේ. ඊට සමගාමීව ඉවත ලද කසළවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.
මේ සඳහා ආයෝජකයන් තිදෙනකු තෝරාගෙන ඇති අතර කෙරවළපිටිය හා කරදියාන එම බලාගාර ඉදිකිරීමට යෝජිතය. කෙරවළපිටියේ ඉදිකරන බලාගාර සඳහා මූලික වශයෙන් සමාගම් දෙකක් ඉදිරිපත්ව සිටී. කොළඹ නගරයේ එකතුවන කසළවලින් විදුලිබලය නිපදවන්නේ එයිට්කන් ස්පෙන්ස් අනුබද්ධිත වෙස්ටන් පවර් ආයතනයයි. ඒ සඳහා කොළඹ මහ නගර සභාව කසළ ලබාදීමට නියමිතය. ගම්පහ දිස්ත්‍රික්කයේ එකතුවන කසල ටොන් 700ක් බැගින් දිනකට ලබාගෙන විදුලිය නිපදවන්නේ කේ.සී.එච්.ටී. ලංකා ජැන්ග් ආයතනයයි. එය කොරියානු සමාගමක් සමග ඒකාබද්ධව දියත් කරන ව්‍යාපෘතියකි.
මේ අනුව කෙරවළපිටියේ රජයට අයත් අක්කර 20ක ඉඩමක විදුලි බලාගාර දෙකක් ඉදිකෙරේ. පසුගිය 10 දා ජනාධිපතිවරයා පැමිණ මුල්ගල තැබීම සිදුකළේ එම ඉඩමේය. එක් පෞද්ගලික ආයතනයක් මගින් මෙගාවොට් 10 බැගින් මෙගාවොට් 20ක විදුලියක් මෙම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙනු ඇත. මේ සඳහා රුපියල් බිලියන 27ක ආයෝජනයක් සිදුකරන අතර මාස 24ක් තුළ විදුලි බලාගාර ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතින්වලට අනුව පරිසරයට, ජනතාවට හානියක් නොවන අයුරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
“කසළින් විදුලිය නිපදවිය හැකියි. නමුත් එය ලාබ උපයන ව්‍යාපාරයක් නොවෙයි. කසළ කිලෝවකින් ලැබෙන්නේ කිලෝජූල් 5000-6000ක ශක්තියක්. නමුත් ගල්අඟරු කිලෝවක තිබෙනවා කිලෝජූල් 25000කට අධික ශක්තියක්. ඩීසල් කිලෝවක කිලෝජූලි 45000ක ශක්තියක් තියෙනවා. නමුත් කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් අපි ආරම්භ කළා. යම් ලෙසකින් පුද්ගලික අංශය අසාර්ථක වුවහොත් අපි අමාත්‍යංශ මට්ටමින් එය පවත්වාගෙන යනවා.” යයි මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
18 වැනි සියවසේ නිපදවූ කසළින් විදුලිය ජනනය ලත් තැනම ලොප් වුවත් අද එය ලෝකයේ රටවලට ආශීර්වාදයක් වී තිබේ. ජපානය සහ චීනය කසළ බලාගාර රුසකට හිමිකම් කියයි. වර්ෂ 2016 වනවිට චීනයේ එවැනි බලාගාර 434ක් ක්‍රියාත්මකව පැවතුණි. ජපානය කසළ ටොන් මිලියන 40ක් විදුලි බලාගාරවලට යොමුකරයි. ඉන්දුනීසියාව කසළ බලාගාරවලින් මෙගාවොට් 93.5ක් විදුලිය නිපදවයි.
ලෝකයේ මෙම බලාගාරවල තාක්ෂණය වර්ධනය කිරීමේ පර් යේෂණද නිරන්තරයෙන් සිදුවේ. කසළ කිලෝග්‍රෑමයකින් වැඩි බලශක්තියක් ලබා ගැනීමටත් පරිසරයට හිතකර ලෙස දහන ද්‍රව්‍ය ඉවත් කිරීමත් එහිදී අපේක්ෂා කෙරේ. ලංකාවේ ඉදිකරන බලාගාර සඳහා භාවිත කරන්නේ Moving gate Incinerator නම් දියුණු තාක්ෂණයයි. අපද්‍රව්‍ය සෙල්සියස් අංශක 850ක උෂ්ණත්වයෙන් පුළුස්සන අතර එම අධික උෂ්ණත්වයෙන් යුත් තාපය භාවිතයෙන් ජල බොයිලේරුවක් රත්වීමට සලස්වයි. කසළ දැවීම ආරම්භ කරන්නේ ඩීසල්වලින් වන අතර කසළ ඇවිලුණු පසු ඩීසල් සැපයීම නතර වේ. රත්වන ජල බොයිලේරුවේ ජල වාෂ්පවලින් ටර්බයිනයක් ක්‍රියාත්මක වීම ඇරඹේ. විදුලිය නිපදවන්නේ එම ටර්බයිනයෙනි.
මෙහිදී කසළ අධික උෂ්ණත්වයෙන් දැවීමේදී දුම සමඟ පිටවන අළුවල හානිකර වායුන් නිෂ්ක්‍රීය කිරීමටද එම අළු අරුවක්කාලු කසළ රඳවනය වෙත යැවීමටද නියමිතය. දුම සමඟ චිමිනියෙන් පිටවන අළු ඉහළට යා නොදී පැකට් වශයෙන් එකතු කෙරේ. පතුළේ තැන්පත් වන අළු ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ගඩොල් වර්ග නිපදවීම සඳහා යොදා ගැනේ. කසළ ටොන් 600ක් පිළිස්සුවහොත් ඉන් දූවිලි අළු ටොන් 6ක් පමණ නිපද වේ.
කසළවලින් විදුලිය නිපදවීම රටේ අනෙක් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කළයුතු කාලයකට අපි පැමිණ සිටිමු. ඒ අතරම කසළ විධිමත්ව ඉවත් කිරීමට මෙන්ම කසළ ජනනය අවම වන පරිදි ජීවිතය පුරුදු කර ගැනීමටත් අපේ ජනතාව උනන්දු විය යුතුය.
♦ කුසුම්සිරි විජයවර්ධන