
පසුගිය වර්ෂවල ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් වර්ධනය වුවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ 2017 මැයි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම සියයට 2.5කින් පහළ වැටී ඇති බවය. ප්‍රමාණාත්මකව බැලීමේදී ජූනි මාසයේ ඔවුන්ගේ පැමිණීම 121,891ක් බවද වාර්තා කරයි. 2017 මැසි මාසයේ විදේශිය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විග්රහයක යෙදෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මෙම කරැණු අනාවරණය කර සිටී.
එසේම එම මාසයේ සංචාරක ඉපැයීම්ද, පැමිණීම මෙන්ම පහළ වැටී ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 209.1ක් ලෙසද දක්වා ඇත. කෙසේ වුවද වසරේ පළමු මාස 5 තුළ මුළු සංචාරක පැමිණීම පෙර 2016 වසරේ සමාන්තර කාලය හා සැසැඳීමේදී 887,093 දක්වා සියයට 4.8කින් වර්ධනය වී ඇති බවද මහ බැංකුව කියයි. ඒ සමඟම වර්ෂයේ මුල් මාස 5 තුළ ඔවුන් නිසා වූ ඉපැයීම්ද අමෙරිකානු ඩොලර් මිලියන 15,219 දක්වා 4.8ක ප්‍රතිශතයකින් වර්ධනය වී තිබෙන බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ අනුව පෙනී යන්නේ මෙතෙක් පැවැති වර්ධනය අඩපණ කරමින් 2017 මැයි මාසයේ මෙම අහිතකර තත්ත්වය උද්ගතව ඇති බවය. එසේ වුවද මෙය දිගටම සිදුනොවන අතර ඉදිරියට නිවැරදි වනු ඇතැයි යන්න මැදහත් විශ්ලේෂකයන්ගේ අදහස වෙයි. ජුලි මාසයේ සංඛ්‍යා ලේඛන මෙතෙක් ප්‍රකාශයට පත් නොවුණු අතර එහිදී මෙම තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ.
මෙම වසරේ සංචාරකයන් මිලියන 2.5ක ඉලක්කයක් ළඟා කර ගැනීම සඳහා කටයුතු කරන බව සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පසුගියදා පවසා සිටියේය. මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 800ක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඇමැතිවරයා පවසයි. කෙසේ වුවද 2016 මුල් හය මාසය සමඟ සැසඳීමේදී 2017 ජනවාරි සිට ජූනි මාසය දක්වා සංචාරකයන්ගේ පැමිණීම සියයට 4.5ක සුළු වර්ධනයක් පෙන්නුම් කරයි. 2016 මෙම කාලය තුළ 964267ක් වූ සංචාරක සංඛ්‍යාව 2017දී 1010,444 දක්වා වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. මෙම වර්ධනය පිළිබඳ සෑහෙීමකට පත් වීමට නොහැක්කේ මේ වසර තුළ සංචාරකයන් මිලියන 2.5ක ඉලක්කයකට පැමිණීමට මෙම තත්ත්වය ප්‍රමාණවත් නොවන නිසාය.
2016 වසරේදී රටට සංචාරකයන් මිලියන 2.5ක් ළඟා කර ගැනීමට සංචාරක අමාත්‍යංශය බලාපොරොත්තු වුවද ආකර්ෂණය කරගත හැකිවූයේ මිලියන 2කි. 2015 වසරේදී පැමිණි සංඛ්‍යාව මිලියන 1.8කි. එයද වසරේ බලාපොරොත්තු වූ මිලියන 2ක ඉලක්කයට වඩා පහළය.
පසුගිය කාලයේ රටට සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට හේතුවූයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාස 4කට අධික කාලයක් ගුවන් ගමන් පිළිබඳ සීමාවන් ක්‍රියාත්මක වූ නිසාය. ගුවන් තොටුපොළට පැමිණීමට සහ පිටවීමට පැය 5-6කට අධික කාලයක් බලා සිටින්නට සිදුවූ නිසා මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයෝ වෙනත් රටවල් කරා යොමුවූහ.
එසේම මෙම වසරේ ජූලි, අගෝස්තු මාසවල පෙරහැර සමයේ සංචාරකයන් විශාල වශයෙන් පැමිණිය යුතු නමුත් තවමත් ඒ පිළිබඳ වර්ධනයක් පෙනෙන්නට නැතැයි සංචාරක මඟ පෙන්වන්නෝ පවසති. විශේෂයෙන් පෙරහර සමයේ මහනුවර නගරයේ සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල් වෙන වසරවල පිරී ඉතිරී යන නමුත් මෙවර එවැනි තත්ත්වයක් නොමැති අතර බොහෝ හෝටල්වල කාමර තවමත් සෑහෙන කොටසක් හිස්ව ඇති බවද හෝටල් හිමියෝ පවසති.
මෙම වර්ෂයේ මුල සිට ශ්‍රී ලංකාවට බලපා ඇති ඩෙංගු උවදුර සංචාරකයන්ගේ පැමිණීමට අහිතකර ලෙස බලපා අති අතර ජර්මනිය ආදි සමහර රටවල් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවන සංචාරකයන්ට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ. එසේම රටේ නිරතුරුව පවතින වර්ජන උද්ඝෝෂණ ආදි ගැටුම්කාරී තත්ත්වයන්ද සංචාරකයන්ට අහිතකර ලෙස බලපායි. උද්ඝෝෂණ නිසා මහා මාර්ග අවහිර වූ අවස්ථාවල ඇතැම් සංචාරකයන්ට පැය ගණන් පාරේ ගත කරන්නට සිදුවූ බවද පෙනෙන්නට තිබේ. මෙවැනි අවහිරතා හා රෝග ආදිය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවිය හැකි නමුත් ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට තවම කල් වැඩි බව පැවසිය යුතුය.
අපේ රටේ සංචාරක කර්මාන්තයේ තත්ත්වය පිළිබඳ 2016 ශ්‍රී ලංකා මහ බැකු වාර්තාව පවසා තිබුණේ පසුගිය වසර කිහිපය තුළ සිදුකරන ලද ප්‍රබල ප්‍රවර්ධන වැඩසටහන් හා සංචාරක කර්මාන්තය ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ගන්නා ලද පියවර මෙරටට විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට උපකාරි වුවද ශ්‍රී ලංකාව තවමත් ගෝලීය වෙළෙඳපොළ තුළ තම පූර්ණ විභවතාව ළඟාකරගෙන නොමැත. වශයෙනි.
ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවට ඇතැම් දේශපාලනඥයන් පසුගියදා පුන පුනා ප්‍රකාශ කළද තවමත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සැලකිය යුතු පියවර ගෙන නොමැති බවක් පෙෙනන්නට තිබේ. මෙයට පෙරදී සංචාරකයන් සඳහා අවශ්‍ය කාමර සහ හෝටල් පහසුකම් ප්‍රමාණවත්ව නොතිබූ අතර මේ වනවිට එම තත්ත්වය සතුටුදායක වී ඇත්තේ පෞද්ගලික ව්‍යවසායකයන් ඒ සඳහා මැදිහත්වීම නිසා මිස ආණ්ඩුවේ උත්සාහයක් නිසා නොවේ. එසේ වුවද මෙවැනි ආයතන නියාමනය කිරීම සඳහා හෝ විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අපට සතුටු විය නොහැකිය.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව (173 පිට) පසුගිය වසරේ සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයක් පෙනෙන අතර 2016 පැමිණීම 2050832 කි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල 14කි. ලොව ප්‍රධාන සංචාරක ගමනාන්තවල භූගෝලීය සහ දේශපාලනික අවිනිශ්චිතතාව වර්ධනය වීම නිසා ශ්‍රී ලංකාවට පසුගිය සමයේ වැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හැකිව තිබේ. අප්‍රිකාව හැර සෙසු ප්‍රධාන කලාප සියල්ලෙන්ම පැමිණීම වර්ධනය වූ අතර බටහිර යුරෝපය සංචාරක පැමිණීම්වලින් 31.4%ක් නියෝජනය කරයි. මේ කලාපයේ පැමිණි සංඛ්‍යාව 643,333 දක්වා සියයට 16.5කින් වැඩිව තිබේ.
2016 වසරේදි 271,577 සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි චීනය දෙවැනි ස්ථානය ලබාගෙන ඇති අතර ඔවුන් 356729ක් පැමිණි ඉන්දියාව සංචාරක පැමිණිම අතින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවල් ඊළග ස්ථාන පිළිවෙළින් ලබාගෙන ඇති අතර 2016 වසරේ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාවෙන් සියයට 51කි. මේ රටවල් 5න් පැමිණීම නිසා මේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙම රටවල්වල විශාල සම්බන්ධයක් ඇති වූ බවක් පෙනෙන්නට ඇත. ඉදිරියේදී චීනයේ සිදුවෙමින් පවතින සමාජ ප්රබෝධය හේතුවෙන් තව වසරක් දෙකක් යනවිට අපේ රටට විශාලතම සංචාරක සංඛ්‍යාව චීනයෙන් පැමිණීමට ඉඩ ඇති බව සංචාරක කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන්නෝ පවසති. ඒ නිසා මෙයින් ප්‍රයෝජන ගැනීමට වගකිව යුත්තන්ගේ ක්‍රියාශීලීබව අවශ්‍යය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 83.4ක් විවේකය ගත කිරීමට පැමිණෙන අතර සියයට 14.8ක් සම්මන්ත්රණ, ප්‍රදර්ශන, රැස්වීම්, ක්‍රීඩා සහ පෞද්ගලික හේතු නිසා පැමිණෙන අය වෙති. මෙලෙස වැඩි වශයෙන් විවේකය සහ විනෝදය සඳහා සංචාරකයන් පැමිණෙන්නේ ලෝකයේ ප්‍රධානතම හා වඩාත්ම ආකර්ෂණීය සංචාරක ගමනාන්ත වලින් එකක් ලෙස ශ්‍රී ලංකාව නමක් දිනාගෙන තිබෙන බැවිනි. ඒ නිසා මෙම වාසි සහගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන රටේ සංචාරක පැමිණීම වර්ධනය කිරීම සඳහා ඔවුන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම වගකිව යුත්තන්ගේ යුතුකමකි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට විඳින්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ කරුණු දක්වන ශ්‍රීලංකා සංචාරක මඟ පෙන්වන්නන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ ජාතික ආයතනයේ ලේකම් ආසිරි සමරවීර මෙසේ පවසයි.
මෙම විවිධ ව්‍යාපෘති සඳහා පැමිණ සිටින චීන ජාතිකයන් ඇතැම් දෙනා සංචාරකයන්ට මඟ පෙන්වීමට පටන්ගෙන තියෙනවා. ඔවුන් ඇවිත් තිබෙන්නේ විවිධ චීන කොන්ත්රාත්වල වැඩ කරන්නයි. සංචාරක වීසා ලබාගෙන සිටින ඔවුන් විශේෂයෙන් මෙරටට පැමිණෙන චීන ජාතික සංචාරකයන්ට උදවු කිරීමට ඉදිරිපත් වී අමතර වාසි ලබාගන්නවා. මෙරටට එන සංචාරකයන්ගෙන් දෙවැනි ස්ථානයට පැමිණ ඇත්තේ චීන ජාතිකයන්. මේ අය චීන භාෂාව දන්නා නිසා සහ රටේ විවිධ ස්ථාන පිළිබඳ දැනුම්වත් වී සිටින නිසාද ඇතැම් පෞද්ගලික සම්බන්ධතා නිසාද සංචාරකයිනුත් සමඟ කුළුපගවී ඔවුන්ට හෝටල් ලබාදීමද, විවිධ ස්ථානවලට රැගෙන යාමද සිදුකරනවා. ඇතැම් චීන ජාතිකයන් තම වියදම අඩුකර ගැනීමටද මේ අයට යොමුවෙනවා. සංචාරක මඟ පෙන්වන්නන් සංචාරක කාර්යංශයේ ලියාපදිංචි විය යුතුයි. එත් මේ අය එහෙම ලියාපදිංචි වූ අය නෙවෙයි. අවිධිමත් කණ්ඩායමක්. මෙම තත්ත්වය දුරු කිරීම සඳහා ආණ්ඩුව මැදිහත්විය යුතුයි. එහෙත් එවැන්නක් පෙනේනනට නැහැ.
ඔහු පවසන්නේ වර්තමානයේ චීනයේ ආර්ථික පිබිදීම නිසා සංචාරකයන් විශාල වශයෙන් එන බවයි. මුලදි මෙරටට සංචාරක චීනුන් ආවේ වසරකට 20000 පමණයි. දැන් ඒ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බව ඔහු කියයි. ඒ නිසා මේ අය නිසි ලෙස මෙහෙයවීම ආණ්ඩුවේ වගකීමක් බවයි ඔහු කියන්නේ. අද මඟපෙන්වන ඇතැම් අයට එම බලපත්‍රය නොමැති අතර බොහෝ නොදැනුවත් සංචාරකයන් ඒ කණ්ඩායමේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාව වැඩිබව ඔහු කියයි. තම සංවිධානයට 1968 වසරේ ආරම්භ කළ අතර දැනට 1300ක් පමණ සාමාජිකයන් ඇති විශාලතම සංවිධානය බවද ඔහු කියයි.
මේ ජූලි අගෝස්තු මාසවල කොහොමත් සංචාරකයන් පැමිණීම අඩුයි. ඒ නිසා මේ කාලයේ සංචාරකයන් ස්වල්පයක් අඩුවීම සාමාන්‍ය තත්ත්වයක්. ඇතැම් සංචාරකයන් පෙරහර සහ උත්සව අවස්ථා නැරඹීමට තමා මේ කාලයේ එන්නේ. ඒ නිසා අපට දැනගන්නට ලැබී තිබෙන හැටියට මේ දවස්වල පැමිණීමේ විශේෂ පහළයාමක් දක්නට නැහැ. එසේම වර්ධනයක්ද නොමැති අතර සාමාන්‍ය තත්ත්වයක් තමා පවතින්නේ. සංචාරක ව්‍යාපාරය සමඟ වඩාත් සම්බන්ධ වී ඇත්තේ අපේ රටේ පෞද්ගලික අංශයයි. ඒ අය සංචාරකයන් තමා වෙත අද්දා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීම කොහොමත් සිදුකෙරෙන දෙයක්.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මල්රාජ් කිරිඇල්ල
අපේ සංචාරක පැමිණීමට ඩෙංගු රෝගය බැලපෑවේ නැහැ. ඩෙංගු පැතිරයාම පිළිබඳ ජර්මනිය පමණක් සංචාරකයක් දැනුම්වත් කිරීමේ නිවේදනයක් නිකුත් කළා පමණයි. එහි කොතැනකවත් ශ්‍රී ලංකාවේ ඩෙංගු තිබෙනවා. ඒ හින්දා එන්න එපා කියලා නැහැ. පසුගිය කාලයේ එංගලන්තයේද මෙවැනි ආන්දෝලයක් ඇතිවුණා. ඒත් බලපෑමක් නැහැ. සාමාන්‍යයෙන් මේ මාස සංචාරකයන් වැඩියෙන් පැමිණෙන කාල නොවෙයි. නොවැම්බර්වලින් පසු අප්‍රේල් දක්වා තමා වැඩිපුර පැමිණෙන්නේ. එම කාලවලට අපේ රටට ඔවුන්ගේ පැමිණීම අඩුවක් වෙලා නැහැ. පසුගිය ජූනි මාසයේ සියයට 4.1ක වර්ධනයක් පෙන්නුම් කළා. මේ මාස 6ට මිලියනයකට වැඩි පිරිසක් ඇවිත් තියෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ පසුගාමිත්වයක් දක්නට නැහැ. අනාගතයේදී සංචාරක ව්‍යාපාරය නැංවීමට සැලසුමක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එහි ප්‍රතිඵල ඉක්මණින් ළඟාකර ගත හැකියි.
චීන සංචාරක මඟපෙන්වන්නන් ඇතිවීම ගැන විමසූ විට අධ්යක්ෂවරයා පැවසුවේ මේ පිළිබඳ තමාටද සැලවී ඇති අතර මෙය මැඩ පැවැත්වීමට ඉක්මණින් නීති සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
යසවර්ධන රුද්‍රිගු