
ධර්ම යුද්ධය නරඹා පැමිණි මම යූ ටියුබ් හරහා එහි ඉන්දියානු දෙමළ නිෂ්පාදනය වන පාපනාසම් නැරඹුවෙමි. පාපනාසම් තරමටම ධර්ම යුද්ධයේ චරිතවලට පණ පිහිටුවීමට අපේ නළු නිළියන් ද සමත්ව තිබෙන බව පෙනිණි. සෑම පවුලකම පාහේ ජීවිතයට සම්බන්ධ කතා තේමාවක් රැගත් මෙම මලයාලම් චිත්‍රපටය ඉන්දියාවේ වාණිජමය වශයෙන් ලැබූ සාර්ථකත්වය නිසාම දෙමළ (පාපනාසම්) හා හින්දි බසින් ද නිෂ්පාදනය කෙරිණි.
ධර්ම යුද්ධය ඉන්දියානු අධ්‍යක්ෂකවරයකු වන චෙයියර් රවි හා කැමරා අධ්යක්ෂ එස්. සරවනන් යටතේ අපේ නළු නිළියන් යොදා කළ ප්රතිනිෂ්පාදනයකි. කොටින්ම අමුම අමු කොපියකි. මෑතකදී ඩොනල්ඩ් ජයන්තගේ ප්‍රවේගයත්, අතීතයේදී මාතලන්, අල්ලපු ගෙදර වැනි චිත්‍රපටත් ප්රතිනිෂ්පාදන වශයෙන් අපගේ මතකයට එයි. සිංහල සිනමාව ප්රේක්ෂකයන්ගෙන් ඈත්ව යන අර්බුදකාරී වාතාවරණයක මෙවැනි ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනයෙන් හෝ එය ගොඩගැනීමට තැත් දැරීම යහපත්වේ. එහෙත් තාක්ෂණික අංශ පවා ඉන්දියානුවන්ට බාරදීමෙන් නම් සිනමාවට වන සෙතක් නැත. දක්ෂ අධ්‍යක්ෂකවරු, කැමරා ශිල්පීන්, සංගීතඥයින්, සංස්කරණ ශිල්පීන් අපට සිටිනා බැවිනි.
හරිස්චන්ද්‍ර (ජැක්සන් ඇන්තනී) පාසලේ හතරේ පන්නියට උගත් නෑදෑයන් කිසිවෙක් නැති තම හැකියාවෙන් දියුණු වුණු ව්‍යාපාරිකයෙකි. ඔහු මුල අමතක නොකළ නිතර අරපිරිමැස්මට මුල් තැන දෙන්නෙකි. ඔහු දිනකට චිත්‍රපට තුන හතරක් නරඹන සිනමා පිස්සෙකි. කඳුකරයට යාබද නගරයක ජීවත් වන ඔහුට ජීප් රථයක් තිබුණත් ගමන් බිමන් යන්නේ මෝටර් බයිසිකලයෙනි. ගමේ කාගේත් ගෞරවය දිනා සිටින ඔහුට ඇති එකම අරියාදුකාරයා සාජන් විමල් (කුමාර තිරිමාදුර) ය. තම බිරිය (දිල්හානි ඒකනායක), දියණියන් දෙදෙනා වන අචිනි (තිසුරි යුවනිකා), සචිනි (විනුමි වත්සදි), ඔහුගේ වටිනාම සම්පතයි. විමල්ගේ පොලිස් දූෂණවලට එරෙහි වන එකම පුද්ගලයා හරිස්චන්ද්රය. මේ නිසා විමල් තම හොර ජාවාරම්වලට බාධකයක් වන හරිස්චන්ද්‍රගෙන් පලිගැනීමට මානබලයි. අචිනිට අධ්‍යාපන චාරිකාවකදී ෂේන් නම් තරුණයා හමුවෙයි. ඔහු ඇය නාන කාමරයේදී ඇඳුම් ඉවත් කරන අයුරු හොරෙන් දුරකථනයෙන් රූපගත කරයි. ඊට පසු එය පෙන්වා ඇය සමඟ යහන්ගතවීමට අවශ්‍ය බවත් නැත්නම් එම දර්ශනය ප්‍රසිද්ධ කරන බවත් පවසයි.
ඔහු හරිස්චන්ද්‍ර නැති වෙලාවක නිවසට පැමිණ දියණිය නැත්නම් බිරිය හෝ ඉල්ලා සිටී. ඒ අවස්ථාවේදී වන ගැටුමෙන් අචිනි අතින් අත්වැරදීමකින් ෂේන් මියයයි. ෂේන්, විශාඛා සමරනායක (කුසුම් රේණු) නම් පක්ෂ ලේකම්වරියක හා මන්ත්‍රීවරියගේ එකම පුතාය. හරිස්චන්ද්‍ර තම පවුලේ සාමය බිඳවැටි දියණියගේ ජීවිතය විනාශ වන මෙම අපරාධය සැඟවීමට විශාල යුද්ධයක් කරයි. මිනීමැරුමක් සිදුවුණද එය ප්‍රේක්ෂක මනස සාධාරණීකරණය කරන්නේ අචිනිගේ පැත්තට ඡන්දය දෙමිනි.
එහෙත් නීතිය එයට වෙනස්ය. එහි බලවතාගේ පැත්තට වැඩි බරක් වැටෙන බව හරිස්චන්ද්‍ර දනී. ඔහු තමා දන්නා සියලු උපක්‍රම යොදා (මේවා ඔහු චිත්‍රපටවලින් ඉගෙනගත් කරුණුය) දියණිය නීතියෙන් බේරාගැනීමට උත්සාහ කරයි. විමල් ඔහුට එරෙහිව ප්‍රබල සාක්ෂි මතු කරමින් නැගීසිටිය ද නීතියේම දුර්වලතා හරිස්චන්ද්රට වාසියට සිටී. අවසානයේ ඔහු ජය ලබයි. හරිස්චන්ද්රට විරුද්ධව පෞද්ගලික මැරයන් පවා යොදවන විශාඛාට රට හැරයාමට සිදුවේ.

මෙම කතාව ශ්‍රී ලංකාවට ද කදිමට ගැලපෙන තේමාවකි. රටේ සුලබ සිද්ධි වන දේශපාලකයන්ම නඩු ඇසීම, පොලිස් නිලධාරීන් නීතිය තමන්ට අවශ්‍ය පරිදි පාවිච්චි කිරීම මෙහි කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කෙරේ. නිතරම සත්‍යය ජය ගනී යයි පවසන හරිස්චන්ද්‍ර අවසානයේ අසත්‍යයට ජය අත්කර දෙන්නේ බලවන්තයා තම සූක්ෂම ඥානයෙන් පරාජය කරමිනි. එයට හේතුව සාමාන්‍ය පුද්ගලයාට යුක්තිය ඉටුකරගැනීමට විශාල සටනක් කිරීමට සිදුවන බව ඔහු දන්නා හෙයිනි.
ඉන්දියානු අධ්යක්ෂවරයා අපේ නළු නිළියන් වෙතින් උපරිම රංගනයක් ලබාගෙන ඇති බවට ධර්ම යුද්ධය සාක්ෂි දරයි. එය වේගවත් ගලායාමක් සහිතය. කමල් හසන්, අජේ දේව්ගන් වැනි දැවැන්තයන් හා කරට කර සිටින සේ ජැක්සන් ඇන්තනි ඉහළ මට්ටමේ රංගනයක් ඉදිරිපත් කරයි. තම දරු පවුල නීතියෙන් ද, සමාජ අපකීර්තියෙන් ද බේරාගැනීමට ඔහු දරන තැත මුහුණේ ඉංගිතවලින් ද, වචන හැසිරවීමෙන්ද මනාව ගම්‍ය වේ.
දිල්හානි අශෝකමාලා දියණියක වෙනුවෙන් බියපත් මවකගේ චරිතයට කදිමට ආරෝපණය වෙයි. කුසුම් රේණු බලය සහ මව් සෙනෙහස අතර අතරමං වී හිතුවක්කාර තම එකම පුතු වෙනුවෙන් කඳුළු සලන මවකගේ චරිතයට පණ පොවයි. දිල්හානි සහ කුසුම්ගේ අප දුටු හොඳම රංගනය ධර්ම යුද්ධයයි. තිසුරි යුවනිකා ද සෑහෙන තරමකට තම චරිතයේ ජීවත් වෙයි. කුමාර තිරිමාදුර අනර්ඝ රංගනයක යෙදෙන්නේ විටෙක දූෂිත පොලිස් නිලධාරියෙක් ද තවත් විටෙක සත්‍ය සාක්ෂි හෙළකිරීමට කැපවන පුද්ගලයෙක් ද, මැරයෙක් ද වශයෙනි.
වර්තමාන මාධ්‍ය භූමිකාව ද හරිස්චන්ද්‍රගේ සහයට පැමිණේ. පොලිසියේ අනවශ්‍ය පහරදීම් මැර තර්ජන ජනතාවට හෙළිකරන මාධ්‍ය නිසා විශාඛාගේ දේශපාලන බලය බිංදුවටම බසී.
චිත්‍රපටයක ජනප්‍රිය අංගවන ගීත, සටන් ජවනිකා වෙනුවට පියෙකුගේ අරගලය තේමා කරගත් ධර්ම යුද්ධය තවත් ජනප්‍රිය සිනමාවකට මග පාදනු ඇතැයි අපට සිතේ.
කුසුම්සිරි