
කිතුල හා සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් අපට හිමිය. එම ඉතිහාසය වර්තමානය හා විද්‍යාවත් සමඟ මුසු කරමින් ලියූ පුරෝගාමී පර්යේෂණ කෘතියකි, කිතුල හා පැණි හකුරු. සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ මෙහි කර්තෘවරු වන්නේ සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම සහ ඔහුගේ දියණිය වන කෘෂි විද්‍යා (විශේෂ) උපාධිධාරිනී උමයංගනා පූජනී ගුණසේකරයි. මේ එම පර්යේෂණය ගැන උමයංගනා පූජනී අප සමඟ දැක්වූ අදහස්ය.
කිතුල හා පැණි හකුරු ලියන්න පෙළඹුණේ කෙසේද?
මම අධ්‍යාපනය හදාරන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ. කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය විෂයයි. මේ අධ්‍යයනය කිරීමේදී කිතුලත් අපේ කප්රුකක් බව මට තේරුණා. කිතුල් ගසේ සෑම කොටසක්ම අපි ප්‍රයෝජනයට ගන්නවා. කිතුල් කෙන්ද පවා ප්‍රයෝජනවත්. නමුත් කිතුල් ගස ගැන පූර්ණ අධ්‍යයනයක් මෙතෙක් පළ වෙලා නැහැ.
ඔබ මේ අධ්‍යයනය කළේ මොන ප්‍රදේශ ආශ්‍රිතවද?
ප්‍රධාන ක්ෂේත්‍රය වශයෙන් යොදා ගත්තේ රත්නපුරයයි. ඊට අමතරව දෙනියාය ප්‍රදේශයේත් මම සමාජ විද්‍යා අධ්‍යයනයක් කළා. එහි අත්දැකීම්ද මෙම පොත ලිවීමේදී උදව් කර ගත්තා.
ඔබේ පියා වන ගුණසේකර ගුණසෝම මොන ආකාරයෙන්ද මෙම කෘතියට දායක වුණේ?
කිතුල හා සම්බන්ධ ජනශ්‍රැතිය හා සංස්කෘතිය පැත්ත අධ්‍යයනයට තාත්තා දායක වුණා. මම කිතුලේ කෘෂි විද්‍යාත්මක පැත්ත ගැන විමර්ශනය කළා. කිතුල හා සම්බන්ධ ජන සම්ප්‍රදාය, කිතුල හා සම්බන්ධ භාෂාව, ජන කවි, කෙම්පහන්, යන්ත්‍ර මන්ත්‍ර, ජනවහර ඇතුළු ක්ෂේත්‍රවලට පියාගේ දායකත්වය ලැබුණා.
මෙවැනි ගවේෂණාත්මක අධ්‍යයන කෘති අද එළිදැක්වෙන්නේ කලාතුරකින් නේද?
ඔව්. ගවේෂණාත්මක කෘතියක් සැකසීමට කැපවෙලා වැඩකළ යුතු වෙනවා. මම මෙය ආරම්භ කළේ විශ්ව විද්‍යාලයේ පළමු වසර පටන් ගත්ත විටයි. එය නිමවීමට වර්ෂ තුනක් ගියා. මම අධ්‍යයන නිවාඩුව පවා මේ පොතට වෙන් කළා. මෙවැනි පොත් මුදල් බලාගෙන ලියන ඒවා නෙවේනේ. මානසික සතුට තමයි වඩාත් වැදගත්.
අද තරුණ පරපුර වැඩිපුරම ඉන්නේ ෆේස්බුක් වගේ සමාජ ජාලවලයි. ඒ ගැන ඔබේ අදහස?
මම ඒකේ වැරැද්දක් දකින්නෙ නැහැ. නමුත් අපට පුළුවන් පොතපත කෙරෙහි උනන්දුවන්න. තාක්ෂණය හරහාම ඊ බුක් වගේ පහසුකම් අද ලබාගැනීමේ අවස්ථාව තිබෙනවා. අද ජනකතා වගේ දේවල් අහන්න ජනශ්‍රැති අධ්‍යයනයට තරුණ පරපුරේ උනන්දුවක් නැහැ. අපට ආච්චිලා සීයලා කතන්දර කියලා දුන්නා. ඒ නිසයි පොතපත කියවන්න ජනශ්‍රැතිය අධ්‍යයනයට උනන්දුවක් ඇති වුණේ.

කෘෂිකර්ම උපාධිධාරීන් සෑහෙන පිරිසක් ලංකාවෙ සිටියත් ඔවුන්ගේ පර් ෙය්ෂණ විශ්ව විද්‍යාලවලට පමණක් සීමා වෙලා. ඒවා පොදු පාඨකයා අතරට යන්නේ නැහැ නේද?
ඔව්. ඒකට ප්‍රධාන හේතුව එම පර්යේෂණ සමාජගත කිරීමට යාන්ත්‍රණයක් නැති වීම. විශ්ව විද්‍යාලයේ අවසාන අවුරුද්දේ හැමෝම පර්යේෂණයක් කරනවා. මම නම් කියන්නේ එය තමන් කැමැති මාතෘකාවක් ඔස්සේ සමාජයට ඵලදායක ලෙසින් කළ යුතු බවයි.
අද හුඟක් සරසවි ශිෂ්‍යයෝ පර්යේෂණ මාතෘකා තෝරාගන්නේ විභාගෙන් ගොඩයාම මුල්කරගෙන නේද?
එහෙම එකකුත් තියෙනවා තමයි. රැකියා වෙළෙඳපොළ වගේ කරැණුත් එහිදී බලපානවා. මම නම් හිතන්නේ විෂය වුණත් සංශෝධනය විය යුතු බවයි. කාලයට අනුකූලව.
පොතට ලැබුණු පාඨක ප්‍රතිචාර ගැන කිව්වොත්?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. පොත නිකුත් වී කෙටි කාලයක් ඇතුළත විශ්ව විද්‍යාලයේ නිබන්ධනවලට ලිඛිත මුලාශ්‍ර ලෙසත් භාවිතා කිරීමට පටන් අරන්. මෙය ලියා ඇත්තේ ගෙදර ගෘහණියට පවා ප්‍රයෝජනවත් ලෙසටයි. කිතුල් පැණි හකුරු තෝරා ගැනීම, එහි ඖෂධීය වටිනාකම වගේ සෑම ක්ෂේත්‍රයක්ම මෙයට ඇතුළත්.
අපේ ගවේෂණාත්මක සාහිත්‍යය හා පර්යේෂණ සාහිත්‍යය දුප්පත්. මෙයට හේතුව ඔබ දකින්නේ කෙසේද?
විද්‍යා කෘෂි තාක්ෂණය වගේ අංශ ගැනත් ගවේෂණාත්මක පර්යේෂණ රාශියක් සිදුවෙනවා. ඒවා ජනතාව අතරට ගෙන යෑමට, කෘති පළකිරීමට නිසි වැඩපිළිවෙලක් නැති නිසයි ඒ සාහිත්‍යය දුර්වල වී තිබෙන්නේ.
සරසවි සිසුන් සාහිත්‍ය පොතපතින් ඈත් වී සිටින බවට චෝදනා එල්ල වෙනවා.
විශ්ව විද්‍යාලයට පැමිණි පසු එහි පවතින අධ්‍යාපන ක්‍රමය (ඒකක ක්‍රමය) නිසා පොතපත කියවීමට ලැබෙන කාලය සීමිතයි. නමුත් අපි අනවශ්‍ය දේවල්වලට වැය කරන කාලය පොතපතට යෙදුවොත් එ්වා කියවීමට ඉඩ ලැබෙනවා. විශ්ව විද්‍යාලයේදී වැඩි දෙනෙක් ඉලක්ක කරන්නේ ක්ලාස් එකක් ලබාගැනීමයි. ඒක තරගයක් වෙලා. ඒක අවශ්‍ය බව සැබෑවක්. නමුත් බාහිර කරුණුවලටත් අපි කාලය සොයාගත යුතුයි. තරගකාරී විභාගය උසස් පෙළනේ. දැන් විශ්වවිද්‍යාලයෙත් විභාග තරගකාරී ලෙසයි. හුඟ දෙනෙක් හිතන්නේ. මම හිතන්නේ ඒක වරදවා වටහාගැනීමක්.
කුසුම්සිරි