2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

නගරෙන් ගමට ඇදෙන මත්පෙති - කාම සාද

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

හික්කඩුව, උණවටුන හා ගල්කිස්ස යන වෙරළ තීරවල හෝටල්වලත් එළිමහනේත් විවිධ රාත්‍රී සාද පැවැත්වුණේ විදේශීය සංචාරකයන් උදෙසාය. ඒ සියල්ල මධ්‍යම රාත්‍රියේ නිමා වූ ඒවාය. ඇතැම් සාද තුළ විවිධ ජාවාරම් හා අපචාර සිදුවන බවට වාර්තා වීමත් සමග ආරක්ෂක අංශ මගින් වැටලීම් සිදුකෙරිණි. එහෙත් මේ වනවිට තත්ත්වය එම ප්‍රදේශවලින් මිදී අපචාර සංස්කෘතියේ මත්ද්‍රව්‍ය හා ලිංගික ජාවාරම සහිත රාත්‍රී සාද ගම්මානවලටද ව්‍යාප්ත වෙමින් පවතී.

මෙවැනි ප්‍රවණතාවයක් පෙන්වමින් අන්තර්ජාලය හරහා හඳුනාගත් තරුණ තරුණියන් 200ක් පමණ එක්ව අවිස්සාවේල්ල පුවක්පිටිය සිරිසඳ ගම්මානය හරහා ගලාබසින දොළක් අසළ පැවැත්වූ රාත්‍රී සාදයක් වටලන්නට කොළඹ විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය පසුගියදා සමත් විය.

අන්තර්ජාල වෙබ් අඩවි දෙකක් ඔස්සේ සාදය පිළිබඳව තොරතුරැ ප්‍රසිද්ධ කොට එය පැවැත්වීමට සූදානම්ව ඇත්තේ දෙහිඕවිට ප්‍රදේශයේ හෝටලයකදීය. පිරිස 200ක් පමණ ඊට සහභාගි වීමට නියමිතව සිට ඇතිමුත් ඉකුත් 29 වැනි සෙනසුරාදා සවස ඉක්මවන තෙක්ම අදාළ ශබ්දවාහිනී බලපත්‍රය නිකුත් කර නොතිබිණි. කෙසේ හෝ සංවිධායක මණ්ඩලයට සිදුව ඇත්තේ කොතැනක හෝ එදින රාත්‍රියේ සාදය පැවැත්වීමටය. ඒ අනුව පිරිස දෙහිඕවිට සිට පුවක්පිටිය සිරිසඳ ප්‍රදේශයට ගොස් ඇත.

එම ප්‍රදේශය හරහා ගලන දොළක් අසළ පිහිටි හිස් බිමක් සාදය සඳහා තෝරාගත් පිරිස එහි රැස්වූහ. පිරිස පැමිණි මෝටර් රථ ඒ අවට තැන තැන ගාල්කර තිබිණි. අන්ධකාරයේ පැවති සාදයට ඩී.ජේ. සංගීතය යොදා ගැනීම ගම්මුන් කාටවත් බාධාවක් වූයේද නැත. රැස්වූ තරුණ තරුණියන් සැවොම පදමට මත්ව සිටි බව කියති. අධික ලෙස මත්වූවෝ සීත කළ ජලය පානයට ආශා කරති. නිරන්තරවම රංගනයේ යෙදෙන පිරිස් අවසානයේ ලිංගික ආශ්වාදය සොයා යති. සුරාබදු මෙහෙයුම් නිලධාරීන් ප්‍රදේශය වටලන විටත් මත්වූ ඇතැම් තරුණ තරුණියන් යුවළ වශයෙන් මෝටර් රථ වල නැගී තනි වී සිටිනු දැකගත හැකිවිය. සාදයට සම්බන්ධ වී සිටි සියලු තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි යහමින් මුදල් හදල් ඇති පවුල්වල පිරිස් බව හෙළිකර ගැනීමට හැකිවිය.

සාදය අතරතුර බහුල වශයෙන් මත්පෙති, වර්ග අලෙවි කළ බවට සාධක හමුවූ අතර එහි සංවිධායකවරයා විසින් ශීත ජල බෝතල් හා මත්පැන් බෝතල් අලෙවි කරමින් සිට ඇත. බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කළ වරදට සංවිධායකවරයා අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබුණි.

වෙරළ ආශ්‍රිතව පැවති රාත්‍රී සාද බොහොමයක් විදේශීය සංචාරකයන් සඳහාය. පසුකලෙක මෙරට තරුණ පිරිස් ඉලක්ක කරගෙන පැවැත්වූ සාද තුළ ගංජා ජාවාරම සුලබව සිදු කෙරිණි. එම සාද මධ්‍යම රාත්‍රිය ඉක්මවා අලුයම 2 පමණ දක්වාම පවත්වා තිබුණි. පසුව ගල්කිස්ස වෙරළ ආශ්‍රිතව පැවැත්වූ එම සාද තුළ ගංජා හැර වෙනත් මත්ද්‍රව්‍යන්ද අලෙවි කිරීම ඇරඹී තිබිණි. මෙහිදී සංවිධායකයන් විසින් ස්ථානය, ආලෝකය හා ඩීජේ සංගීතය පමණක් නොමිලේ ලබාදෙයි. මත්පැන්, මත්ද්‍රව්‍ය හා ජල බෝතල් සඳහා තරුණ තරුණියන් විසින් විශාල මුදලක් ගෙවිය යුතුය. මීට ඉහතදී පැවැත්වූ සාදවලට මත්පෙති භාවිත වී නැත. මත්පැන්වල මත් ගතිය පැය කීපයකින් නිමාවෙද්දී සාදය අලුයමට පෙර නිමාකර ඇත. නමුත් මත්පෙතිවල මත් බව පැය 12 සිට 24 වශයෙන් කාලයක් පවතින නිසාත් ආහාර හෝ නින්ද අවශ්‍ය නොවන නිසාත් ජලය පමණක් ප්‍රමාණවත්ය. මේ නිසා සංගීත රාවයට වහ වැටෙන තරුණ පිරිස් රාත්‍රිය අවසන්ව පසුදින සවස් යාමය තෙක්ම සාදයේ රැඳී සිටිති.

මත්පෙති භාවිත කළ පිරිසට හිරුඑළිය දැකීම හිසරදයකි. මේ නිසා අවු කණ්ණාඩි පැළඳීමට ප්‍රිය කරති. මේ හේතුව මත ඇතැම් ජාවාරම්කරුවන් විසින් කොළඹ නගරයේ තට්ටු නිවාස සංකීර්ණවල ඉහළ මාලයන් කුලියට ගෙන මෙවැනි සාද පවත්වන ප්‍රවණතාවයක් ඇති බව වාර්තා වේ. එවැනි ස්ථාන වැටලීම පවා අසීරු කාරණයක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. වර්තමානයේදී මෙවැනි මත්පෙති සාද තට්ටු නිවාස හා ගම්මානවල පවත්වන ප්‍රවණතාවයක් තිබෙන නිසා මහජනතාවගේ දැනුවත්වීම හා ඔවුනගේ තොරතුරු මත වැටලීම් සිදුකළ හැකි බව පොලීසිය හා සුරාබදු නිලධාරීහු කියති.

මෙවැනි වෙරළ සාද නමින් මත්පෙති ජාවාරම බහුලව සිදුකෙරුණේ ගල්කිස්ස අවටය. ප්‍රදේශයේ සුරාබදු නිලධාරීන්, පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දේශපාලන අධිකාරිය එක්ව එම ප්‍රදේශයේ එළිමහන් රාත්‍රී සාද තහනම් කිරීමත් සමග පානදුර, වාද්දුව, ජාඇල, මීගමුව, කල්පිටිය, තංගල්ල ප්‍රදේශවලට ව්‍යාප්ත වී තිබේ. මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වන කෙටමීන් සමග ස්ටෑම්ප් හා මත්පැන් බෝතල තොගයක්ද අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීහු සමත්ව සිටියහ.

මෙවැනි සාද පිළිබඳ තොරතුරු ඇත්නම් ඊට විරෝධය පාටින් පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීම ඔබගේ යුතුකමය. සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) එන්.බී. වනිගසූරිය, සුරාබදු අධිකාරි චන්න වීරක්කොඩි මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වැටලීම සිදුකළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර