
සූරියවැව සිට හම්බන්තොට දක්වා ඇති අඩි 100 මාර්ගය මන්තීරු 4කට පුළුල්කිරීමේ කටයුතුවලදී පවරාගත් ඉඩම්වලට වහා වන්දි ලබාදෙන්නැයි ඉල්ලා සූරියවැව අඩි 100 මාර්ගයේ පවුල් 467ක ජනතාව ආරම්භ කළ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත්විය.
පවුල් 467ක ජනයා වන්දි ඉල්ලා පසුගිය 17 වැනි දින විරෝධතාවයක් ආරම්භ කළත් එදින කිසිදු නිලධාරියකුගෙන් ගම්මුන්ට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා 18 වැනි දින සිට නමඩගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසළ ඉදිකරන ලද අට්ටාලයක් මත ස්වාමීන් වහන්සේ නමක් ඇතුළුව 10 දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. දින 04ක් තිස්සේ සූරියවැව නමඩගස්වැව ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසයේ නිරත පස්දෙනකුගේ තත්ත්වය බරපතළ අතට පත්වීම නිසා ඔවුහු ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මාරාන්තික උපවාසයට දින 06 වනවිට මාරාන්තික උපවාසයේ නිරතව සිටි දසදෙනාම බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට සිදුවීය. ඉකුත් 23 වැනි දිනය වනවිට මාරාන්තික උපවාසයේ නිරත දසදෙනා රෝහල් ගතකිරීම නිසා ඒ වෙනුවට තවත් 08 දෙනකු මාරාන්තික උපවාසයට වාඩිවූයේ එකාපිට එකා මැරී වැටුණත් තම වන්දි මුදල් ලබාදෙන තුරු මින් නොනැඟිටින බව පවසමිනි.
තම ඉඩම් පවරාගෙන මේ වනවිට වසර 05ක් ඉක්මවා ඇතත් තවමත් වන්දි මුදල් ලබානොදීම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි මේ ජනතාව පවසති. උපවාසය පවතින ස්ථානයට දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පැමිණි අතර එහිදී ඔහු උපවාසය අත්හරින ලෙසත් විසඳුමක් ලබාදීමට සාකච්ජා කරන බවත් විරෝධතාකරුවන්ට දැන්වීය. එහිදී විරෝධතාකරුවන් සුජිත් මුතුකුමාරණ මහතාට පැවසූවේ තම ඉල්ලීම් ඉටුකරන බවට ලිඛිත පොරොන්දුවක් දිය හැකිනම් උපවාසය අත්හැරිය හැකි බවයි. නමුත් සුජිත් මුතුකුමාරණ මහතාට ඒ සඳහා ලිඛිත පොරොන්දුවක් දිය නොහැකි වීම නිසා ඔහුට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවයකි. ජනතාවගේ දැඩි හූ හඬ මධ්‍යයේ සුජිත් මුතුකුමාරණ මහතාට විරෝධතාවය පැවති භූමියෙන් පිටව යාමට සිදුවිය.
පසුව මෙම ස්ථානයට ඉතුක් 21 වැනි දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැමිණ විරෝධතාවයේ නිරත පිරිස් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විය. එහිදී අමාත්‍යවරයා විරෝධතාවයේ නිරත පිරිස් වෙත සති දෙකක් තුළ විසඳුමක් ලබාදෙන බව පැවසූවත් විරෝධතාකරුවෝ ඊට එකඟ නොවූහ. විරෝධතාවයේ නිරත පිරිස් පැවසුවේ විසඳුම ලැබෙනතෙක් විරෝධතාවය අත්නොහරින බවයි.

විරෝධතාවයේ නිරත පිරිස් වෙත ලැබිය යුතු වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් කිසිවකුගෙත් අවධානය යොමුනොවීම නිසා 21 පෙරවරුවේ විරෝධතාවයේ නිරත පිරිසෙන් කොටසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන මාර්ග සංවර්ධන අධිකාරියේ මදුනාගල කාර්යාලයේ ප්‍රධාන දොරටුවද වසා අට්ටාලයක් ගසා විරෝධතාවයේ නිරතවූහ. එනිසා එහි කටයුතුවලටද දැඩි බාධා එල්ලවිය. මේ හේතුව නිසා මාර්ග සංවර්ධන අධිකාරියේ මදුනාගල කාර්යාලයේ ඇතුළත සිටින සේවකයන් කිසිවකුටත් ඉන් පිටවීමට නොහැකිව සිටි අතර කාර්යාලයට කිසිවකුටත් ඇතුළුවීමට ද නොහැකි වීය. විරෝධතාවය නිසා නිවාස අඩස්සියේ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට ද කාර්යාලයෙන් පිටවීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්විය. සූරියවැව පොලීසිය ද එම ස්ථානයට පැමිණි සිටි අතර විරෝධතාකරුවන් පවසන්නේ වන්දි මුදල් දෙන තුරු විරෝධතාවය අත්නොහරින බවයි.
විරෝධතාවයේ නිරත පිරිස් පවසන්නේ තමන් අතට මුදල් ලබාදෙන තෙක් නැවත කිසිදු නිලධාරියෙකුගේ බොරු පොරොන්දුවලට නොරැවටෙන බවත්, මුදල් ලැබෙන තෙක් මාරාන්තික උපවාසය ද අත්නොහරින බවත්ය.
මාරාන්තික උපවාසය පවතින ස්ථානයට ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විටින් විට වැඩම කර උපවාසයේ නිරත පිරිස් වෙත පිරිත් සජ්ඣායනා කර අශිර්වාද කිරීම් ද සිදුවිය. මේ අතරේ උපවාසය පැවති ස්ථානයට අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පැමිණ විරෝධතාකරුවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා දුන්නේය. එහිදී අමාත්‍යවරයා මාරාන්තික උපවාසයේ නිරත පිරිස් වෙතට ගොස් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව සොයාබලා මාරාන්තික උපවාසයේ නිරත පිරිස් වෙත බීමට වතුර ලබාදී මාරාන්තික උපවාසය අත්හරින ලෙසත් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව මාරාන්තික උපවාසයේ නිරත පිරිස් තාවකාලිකව මාරාන්තික උපවාසය පමණක් අත්හැරීමට කටයුතු කළ අතර විරෝධතාවය එලෙසින්ම පැවතිණි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන නමඩගස්වැව ප්‍රදේශයේ එක් දොරටුවක් අවහිර කර අට්ටාලයක් ගසා විරෝධතාවයේ නිරත වීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන සමාගමට දිනකට රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් සිදුව ඇති බවද වාර්තා විය.
හැමදාම අපිව රැවැට්ටුවා
අඩි 100 පාර පදිංචි වී.ඒ. අනුෂා මහත්මිය
දැන් අවුරඅදු 05 ඉඳන් අපි මේ අපිට ලබාදිය යුතු වන්දි මුදල් ඉල්ලන්නේ. අවස්ථා පහකදී අපි උද්ඝෝෂණ හා විරෝධතා පැවැත් වූවා. බැරිම තැන තමයි අද අපි මේ විදියට පාරට බැහැලා මාරාන්තික උපවාසයක් කරන්න තීරණය කළේ. අපිට නැතත් අපේ දරුවන්ට හරි මේ භූමියේ ගෙයක් දොරක් හදාගෙන ඉන්න පහසුකම් අපි හදලා දියයුතුයි. අඩි 100 පාර හදන්න කියලා අපේ ඉඩම් පවරා ගත්තා. ඒ පවරා ගන්නකොට අපිට කිව්වා ඉඩම්වලට හා කැඩෙන නිවාසවලට වන්දි දෙනවා කියලා. අපි වචනය විශ්වාස කරලා ඉඩම් දුන්නා. අපේ සමහර ගෙවල්වලින් බාගයක් කඩලා දමලා. සමහර ගෙවල් සම්පූර්ණයෙන්ම පාරට ගියා. අද වෙනකම් අපිට ගෙයක් හදාගන්න විදියක් නැතිව දුක් විඳිනවා. බලධාරීන් ඇවිත් හැමදාම කළේ අපිට බොරු පොරොන්දු දුන් එක විතරයි. අද දෙනවා, හෙට දෙනවා. ඔන්න සල්ලි පාස්වෙලා කිය කියා හැමදාමත් අපිව රැවැට්ටුවා.
අපි ඔක්කොම අමාරුවේ
බැද්දෙවැව පදිංචි කේ. නිශාන්ත
මුළු ජීවිත කාලෙම දහදුක් විඳලා ගෙයක් දොරක් හදාගත්තේ මැරෙන මොහොත වෙනකන් දෙයියනේ කියලා වැටිල ඉන්නයි. නමුත් මේ මිනිස්සු ඔක්කොම අද අමාරුවේ වැටිලා. අද හරියට අනාථයෝ වගෙයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේවට විසඳුම් ඉල්ලුවට බලධාරීන් හැමදාමත් කළේ බෝලේ පාස් කර කර හිටිය එක විතරයි. ඡන්දෙ කාලෙට නම් හැමෝම කිසිම ලැජ්ජාවක් නැතිව ඡන්දෙ ඉල්ලගෙන එනවා. හැබැයි මේ අහිංසක මිනිස්සුන්ගේ දුක ගැන බැලුවේ නෑ. දැන් කියනවා අපිට දෙන්න සල්ලි පාස් වෙලා කියලා. අපි විශ්වාස කරනවා ඒ මුදල අපිට දේවී කියලා. එහෙම නොවුණොත් අපි හැමෝම පාරට බහින්නේ මේ විදියට නෙමේ කියන එකත් ආණ්ඩුවට කියනවා.
කතාව හා ෙස්යාරූ I දිලීප් නුවන් ජයසේකර