2017 ජුලි 29 වන සෙනසුරාදා

වැඩකළ හෝටලේදී මරු හමුවූ කෝකියා

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

සුනාමි ව්‍යසනයෙන් පවුලේ සියලු සාමාජිකයන් අතුරුදන් වෙද්දී දිවි බේරාගෙන තිබුණේ ජයබාහු පමණය. අරක්කැමියෙක් වශයෙන් විවිධ ස්ථානවල සේවය කරමින් දිවි ගැටගසා ගත් ඔහුගේ අවසාන රැකියා ස්ථානය වූයේ කුරුන්දන්කුලම නිවාඩු නිකේතනයකි. දෙසතියකට පෙර රැකියාවට ගිය ජයබාහු අබිරහස් ලෙස මියගොස් සිටියේ හෝටලයේ බිම් මහලේ ලේ විලක් මැදය. හිටපු අමාත්‍යවරයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මහතාගේ බිරියට අයත් නිවාඩු නිකේතනයේදී සිදුවූ අබිරහස් මරණය පිළිබඳව වාර්තා වන්නේ මෙසේය.

නිවාඩු නිකේතන සහ හෝටල්වල අරක්කැමියකු වශයෙන් පළපුරුදු පාහීනන්ද ජයබාහු කාලයක් තිස්සේ එම වෘත්තියේ නියැලී සිටියෙකි. එවැනි ස්ථාන කීපයක සේවය කර ඇති ඔහුගේ නව සේවාස්ථානය වූයේ අනුරාධපුර - මාතලේ මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයයි. එහි සේවයට පැමිණ ඇත්තේ මීට දෙසතියකට පමණ ඉහතදීය. අවුරුදු 52ක් තරම් වයසේ පසුවූ ජයබාහු ගාල්ල, කිරිවැල්දොළ පදිංචිකරුවෙක් වූයෙන් නව සේවාස්ථානයට  නුදුරු ස්ථානයක නැවතී සේවයේ යෙදී සිටියේය.

කාලයක් පුරා පවත්වාගෙන ගිය නිවාඩු නිකේතනය මාස ගණනක් පුරා වසා දමා තිබී නැවත මෑතකදී අලුත්වැඩියා කොට ආරම්භ කර තිබුණි. එසේ ආරම්භ කරන්නට මූලිකත්වය ගෙන තිබුණේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිය විසිනි. එම ආයතනයේ හිමිකාරීත්වය ඇය සතු වූ අතර කාර්ය මණ්ඩලය සීමිත විය. මේ නිසා වැඩි කාලවේලාවක් සේවයේ නිරත වීමට ඔවුන්ට සිදුව තිබිණි.

ඉකුත් 21 වැනිදා සිකුරාදා දිනයකි. නිවාඩු නිකේතනයට කාර්ය බහුලය. සාමාන්‍ය ලෙස ගෙවෙන දිනයට අමතරව එදින රාත්‍රියේ පිරිසක් සහභාගී වන සාදයක් පැවැත්වීමට නියමිතව තිබුණි. මේ නිසා සෙසු රාජකාරි අතර සේවකයෝ ඊට සූදානමින් පසුවූහ. රාත්‍රිය එළැඹෙත්ම ආරම්භ වූ සාදයට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටියහ. එය අවසන් වනතෙක්ම නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලයට ඉස්පාසුවක් නොවීය. මේ ආකාරයට පැවැත්වූ සාදය නිමා වී තිබුණේ පසුදින උදා වූ අලුයම් කාලයේ 2.00ට ආසන්නවය.

රාත්‍රියේ අඩකටත් වඩා ගෙවී ගොස් නිසා ජයබාහු නවාතැන් ගන්නා අනුරාධපුරය නිවන්තක චේතිය විහාරස්ථානයට යාම අවශ්‍ය නොවන්නට ඇත. මේ නිසා ජයබාහු සේවාස්ථානයේම එදින රැය පහන් කරන්නට සිතා දෙමහල් නිවාඩු නිකේතනයේ උඩුමහලට ගොස් තිබුණේය. අධික තෙහෙට්ටුවට පත්ව සිටි ඔහුට නිදාගන්නට සුදුසු යහනක් එහි නොවීය. ඉහළ මාලයේ කාමරයක් ඉදිරිපිට බිම නිදාගන්නට සිතූ ඔහු එතැනට මෙට්ටයක් ගෙනවිත් දමා මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා අසලින් මදුරු දඟරයක්ද දල්වා ගන්නට ක්‍රියා කළේය. වෙහෙස නිසා වැඩි වේලාවක් යන්නට මත්තෙන් ජයබාහුට නින්ද ගියේය. නිදා සිටි ස්ථානයත් උඩු මහලේ කෙළවරත් අතර වැඩිදුරත් නොවීය. එහි කෙළවර ආරක්ෂිත වැටක් හෝ නොවූ අතර එය තමාගේ නින්දට බාධාවක් වේ යැයි ජයබාහු සිතන්නට නැත.

අලුයම් කාලයේ කිසිදු ශබ්දයක් නැත. නිදාගත් පිරිස සුව නින්දේ සිටියහ. නින්දට බාධා කළ මදුරුවන් තලමින් අඩ නින්දේ පසු වූ ජයබාහු මෙට්ටයෙන් බිමට බැස තිබුණේ නොදැනුවත්වමය. දැන් ඔහු සිටින ඉසව්ව පිළිබඳ අවබෝධයක් නැත. ඝන අඳුර නිසා පසුබිම කිසිවක් පෙනෙන්නේද නැත. ක්‍රමයෙන් බිම ඒ මේ අත පෙරළෙමින් සිටි ජයබාහු උඩුමහල කෙළවරෙන් අඩි 12ක් පහළට ඇද වැටුණේ ඔහුටත් නොදැනීය. ඇද වැටුණු ජයබාහුට කතා කරන්නට හෝ නැගිට ගන්නට වාසනාවක් නොවීය.

සුපුරුදු ලෙසින් නිවාඩු නිකේතනයේ රාජකාරි ආරම්භ වූයේ පෙරවරු 6.15ට පමණය. එහි සේවකයෙක් බිම් මහලට පැමිණ තිබුණේ මේ මොහොතේය. ඔහු දුටු දසුන අදහාගන්නට නොහැකි තරම්ය. ජයබාහු බිම් මහලේ කෙළවරක වැටී සිටියේ ගලා යන ලේ විලක් මැදය. මේ දුටු සේවකයා වහා ක්‍රියාත්මක වී ඒ බව සෙසු පිරිසට දන්වා ඇත. අනතුරුව බියට පත් පිරිස සිදුවීම පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලීසියට දන්වා ඇත. ඒත් සමඟම පැමිණි පොලිස් නිලධාරීන් අබිරහස් ලෙස මියගොස් සිටි අරක්කැමියාගේ මරණය පිළිබඳ විමර්ශන ආරම්භ කළේය. එහිදී පෙනී ගොස් තිබුණේ හෝටල් පරිශ්‍රයේ සිට ප්‍රධාන මාර්ගය දෙසට ලේ බින්දු කීපයක් වැටී තිබෙන බවය. එය මරණය පිළිබඳව සැක උපදවන්නට හේතු වූ අතර පොලීසිය විශ්වාස කළේ සාදය අතරතුර තුවාල වූ අයකුගෙන් එම ලේ වැගිරෙන්නට ඇති බවය.

මේ අතර අබිරහස් මරණය පිළිබඳව හෝටලය අයත් වන අමාත්‍ය බිරිඳගෙන් සහ සේවකයින් පස් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නට පොලීසිය ක්‍රියා කළේය. මෙහිදී අනාවරණය වී තිබුණේ මියගිය පුද්ගලයා විවාහකයකු වුවද සුනාමි ව්‍යසනයට හසුවී ඔහුගේ බිරිය හා දරුවන් අතුරුදන් වී සිටින බවය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේ මරණයට හේතුව අධිකරණයට දන්වන ලෙසය. ඒ අනුව මරණයට හේතුව වශයෙන් නිගමනය කෙරුණේ උඩු මහලෙන් ඇද වැටී හිසට සිදුවූ තුවාල හා අධික රුධිරය වහනය වීමෙන් මරණය සිදුව ඇති බවය.

මේ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගමගේ මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර